සන්සුන් සිත පහන් දල්වයි! | දිනමිණ


 

සන්සුන් සිත පහන් දල්වයි!

මෙවර වෙසක් උත්සවය සමරන්නට සිදුවන්නේ අතිශය චාම් - අල්පේච්ඡ ආකාරයකට ය. විශාල තොරණ නැති වන්නට පුළුවන. මහා දන්සල් නැති වන්නට පුළුවන. ජනයා ඒකරාශී වන ස්ථාන ත්‍රස්ත ප්‍රහාරයකට ලක්විය හැකි බැවින් ය. ජාතික ආරක්ෂාව තහවුරු වී ඇතැ’යි විශ්වාස කළ හැකි වුව; අන්තරායක් පිළිබඳ උපකල්පනය කරමින් පරෙස්සම් වීම වඩා යහපත් ය. දැනට රට මුහුණ දී ඇත්තේ ආගමික ත්‍රස්තවාදයකට බව සිහි තබා ගත යුතුව තිබේ. ඒ අනුව ආගමික උත්සව ත්‍රස්තවාදියාට ලැබෙන කදිම අවස්ථාවක් විය හැකි ය. බෞද්ධයන් ආමිස පූජාවට වඩා ප්‍රත්පත්ති පූජාවට නැඹුරු විය යුතු බව දහමෙහි සඳහන් ය. මෙවර වෙසක් උත්සවයේ පසුබිම සැකැසී ඇත්තේ ප්‍රතිපත්ති පූජාවට අවශ්‍ය ඉඩහසර සලසමින් යැයි බෞද්ධයා සිත එකලස් කර ගත යුතු වේ.

ශ්‍රී ලාංකික බෞද්ධයෝ විවිධ කාලවකවානු තුළ නොයෙක් ආකාරයේ පීඩාවන්ට ලක්වූහ. සීතාවක රාජසිංහ රාජ්‍ය යුගයේ රජු ශිව ආගම වැලඳගෙන බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළේය. බෞද්ධ පොතපත විනාශ කළේ ය. භික්ෂූනට හිරිහැර කළේ ය. එහෙත් බෞද්ධ ප්‍රතිපත්ති සමාජයෙන් ගිලිහී ගියේ නැත. දහසය වන සියවස වන විට උපසපන් භික්ෂූහූ හිඟ වූහ. ආගම රැකගන්නට සිදුවූයේ ගණීන් වහන්සේටය. ගණීන් වහන්සේ කුටුම්භ සංරක්ෂණයේ යෙදෙන අතර බුදු දහම හා එහි චාරිත්‍ර ආරක්ෂා කළහ. ශ්‍රී ලංකාවත් එහි බහුතර සමාජයත් බෞද්ධ සංස්කෘතියෙන් බැඳී පවතී. එය කිසිවකුටත් වෙනස් කළ නො හැකි ය. කලින් - කලට විවිධ මතවාද - දර්ශන හා ඇදහීම් එන්නට පුළුවන. එහෙත් අදටත් - හෙටටත් රටේ ප්‍රධාන ආගම හා දර්ශනය බුදුදහම වනු ඇත.

භූතානයේ ජනගහනයෙන් 80% ක් පමණ ම බෞද්ධයෝ වෙති. තවත් ආගම් කිහිපයක් එ‍රටෙහි පවතින’මුත් ආගමික ගැටුමක් දකින්නට නැත. එරට බෞද්ධයන් බෙහෙවින් සාමකාමී වන අතර ‍රාජ්‍ය පාලනය පවා සකස් වී ඇත්තේ බෞද්ධ පිළිවෙත්වලට අනුකූල ලෙස ය. නිදසුනක් ගතහොත්; භූතානයේ රජය ඒක පුද්ගල ආදායම තක්සේරු කරන්නේ පුද්ගලයාගේ අධ්‍යාත්මික සන්තෘෂ්ටියත් ඊට එකතු කරමින් ය. පුද්ගලයා සතු මූල්‍ය ශක්තියෙන් පමණක් ජීවිතය ජයගත නො හැකි බව භූතාන ජාතිකයෝ වටහාගෙන සිටිති. පරිසර විනාශය ඉතා අඩු රටක් හැටියට ද භූතානය ප්‍රකට ය. බොහෝ දෙනකුට ඇත්තේ අල්පේච්ඡ ජීවිත යැයි කිව හැකි ය. භූතානය බාහිර අලංකාරවලට වඩා අධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකර ඇති බවක් පෙනෙයි. එය බෞද්ධ ඉගැන්වීම් සමඟ හොඳින් ගැළපෙයි.

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් බුදුදහමේ ඉගැන්වෙන අල්පේච්ඡතාව පාදකකොට බෞද්ධ ආර්ථික විද්‍යාවක් ගැන දේශන පැවැත්වීය. ඔහුගේ ප්‍රකට කෘතියක් වන ‘පුංචි දේ ලස්සනයි’ නම් සම්මානනීය ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක් වෙන්කර ඇත්තේ බෞද්ධ ආර්ථීකය ලෝකයට හඳුන්වා දීම සඳහා ය. ෂූමාකාර් මහතාගේ විග්‍රහවලට පෙර අපි බෞද්ධ ආර්ථීක විද්‍යාව ගැන දැනගෙන සිටියෙමු. එහි මූලිකත්වය හිමිවන්නේ අල්පේච්ඡතාවටය. හෙවත් පහසුවෙන් නඩත්තු කළ හැකි ගුණයටය. සරලබව එහි ඇති තවත් විශේෂ ලක්ෂණයකි. බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තියට අනුව ශෝභන හා අනර්ථකාරී විය - පැහැදම් ප්‍රතික්ෂේප වෙයි.

මෑත කාලීන ඉතිහාසය විමසා බැලුවහොත් අපේ බෞද්ධයා තරගයට පින්කම් කරන තැනකට තල්ලු වී සිටි බව පිළිගැනීමට සිදු වේ. විශාලම දන්සල දීමට, විශාලම තොරණ ඉදිකිරීමට මෙන් ම විශාලම පෙරහර පැවැත්වීමට ද බෞද්ධයන් අතර තරගයක් තිබේ. පින්කම් නරක නැත. එහෙත් තරගය සුදුසු නැත. තරගය තුළ ඇත්තේ සෙසු පුද්ගලයන් අභිභවා යෑමේ පරිශ්‍රමය යි. ඒ සඳහා යොදන ඇතැම් උපාය මාර්ගවලින් මිනිස් සිත දූෂ්‍ය වෙයි. වෙසක් සමය, පොසොන් සමය, බෞද්ධයන් අතර තරගකාරී ස්වභාවය උත්සන්න වන අවස්ථා ලෙස සැලැකිය හැකි ය. මෙහි එන තරගකාරී බව ද සෝභනය ද බෞද්ධ උගතුන්ගේ විවේචනයට ලක් වී ඇත. බෞද්ධයාගේ උත්කෘෂ්ට අරමුණ විය යුත්තේ නිර්වාණය කරා ළඟා වීම ය. නිවනට අවශ්‍ය මාර්ගය පාදාගත හැක්කේ බොහෝ දේවල් අත්හැරීමෙන් ය. තරගයෙන් සිදුවන්නේ අත්හැරීම වෙනුවට තදින් අල්ලා ගැනීම ය.

වෙසක් සමයේ බොහෝ සාධක යෙදී ඇත්තේ; අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා බෞද්ධයා මෙහෙයැවන පැත්තකට ය. බෞද්ධ ප්‍රධානීන්ගේ උපදේශනය වන්නේ මේ වෙසක් සමය තුළ ප්‍රතිපත්ති රැකීමට හා භාවනා වැඩීමට කාලය යෙදවීම වැදගත් බව ය. එයින් අදහස් වන්නේ සියලු ආමිස පූජාවලින් වැළැකිය යුතු බව නො වේ. සාමාන්‍ය වෙසක් සැරැසිල්ලක් සිදුකොට, වෙසක් කූඩුවක් දල්වා බණ - දහම් ශ්‍රවණයට, ධර්ම සාකච්ඡාවලට උනන්දුවීම වඩා වැදගත් බව එහි අදහසය. මේ මඟින් අපූරු සැනසිල්ලක් ද ලැබිය හැකිය. වෙසක් නැරඹීම සඳහා මහාමාර්ගයේ ගමන් කිරීම ද බලවත් පීඩනයකි. දිනපතා විවිධ කාර්යයන් සඳහා හැල්මේ දුවන අයට වෙසක් දින දෙක ජීවිතය ගැන ආපසු හැරී බලන්නට ඉඩ හසරක් ලබා දී ඇතැ’යි කියන්නට පුළුවන.

තත්ත්වය මෙසේ වුව ආගමික සිද්ධස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඉදිරිපත් වී සිටිති. ආගමික සිද්ධස්ථානවලට, පාසල්වලට හා සංචාරක ස්ථානවලට ද විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නැ’යි රජය ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇත. එහි අර්ථය වන්නේ සුපුරුදු ලෙස ආගමික වතාවත්වල යෙදීමට අවශ්‍ය පසුබිම ද ඇති බවය. එහෙත් පාස්කු ඉරිදා ඛේදවාචකය දෙස ආපසු හැරී බලන විට ද, සිදුවිය හැකි අන්තරායක් කෙරෙහි අවධානය යොමුකරන විට ද උත්සවශ්‍රීය ඒතරම්ම සුදුසු බවක් පෙනෙන්නට නැත. මේ තත්ත්වය වටහාගත් බොහෝ සංවිධාන තොරණ ඉදිකිරීම නවත්වා ඇත. මහා දන්සල් දීම ද නවතා ඇත. එය බුද්ධිමත් තීරණයක් ලෙස අපි දකිමු.

සෑම කිතුනු නිවසක ම වෙසක් පහනක් දැල්වීමට කිතුනු සමාජය ඉදිරිපත් වී සිටී. මීට පෙර ද වෙසක් සමයන්හිදී කිතුනුවෝ වෙසක් පහන් දැල්වූහ. සැරසිලි කළහ. එහෙත් මෙවර වඩාත් හෘදයාංගම ලෙස වෙසක් සැමරීමට කිතුනුවන් ඉදිරිපත් වීම විශේෂයකි. මෙබඳු ආගමික සහජීවනයක් සෙසු ආගම් අතර ද ඇති කළ හැකි නම්; එය අප ලබන විශාල භාග්‍යයක් වන්නේ ය. මේ වෙසක් සමයේ පහන් දල්වා සිත සුවපත් කර ගනිමු.

 

නව අදහස දක්වන්න