දස්කම් මුවහත් කිරීමට ශ්‍රී ලංකා පිල අද ස්කොට්ලන්තය සමඟ තරග බිමේ | දිනමිණ

දස්කම් මුවහත් කිරීමට ශ්‍රී ලංකා පිල අද ස්කොට්ලන්තය සමඟ තරග බිමේ

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරග 2කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (18) ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී පැවැත්වෙයි. ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස පැවැත්වෙන මේ තරගාවලිය ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටත් සිය දස්කම් මුවහත් කරගැනීමට ලැබී ඇති කදිම අවස්ථාවකි.

එමෙන්ම වසර 2016න් පසුව මෙතෙක් දෙරටක් අතර පැවැති එක්දින තරගාවලියක් ජයගැනීමට අසමත්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ ළාබාල කණ්ඩායමක් වන ස්කොට්ලන්තය පරාජය කිරීමෙන් කණ්ඩායමේ මානසිකත්වය ද ඉහළ මට්ටමක රඳවා තබා ගනිමින් ලෝක කුසලාන තරගාවලියට එක්විය හැකි වනු ඇත. මීට පෙර දෙපිල අතර පැවැති තරග 2ම ජයගත්තේ ශ්‍රී ලංකා පිලය.

සිම්බාබ්වේ සහ කොදෙව් කණ්ඩායම් සමග 2016-2017 කාලයේ සිම්බාබ්වේ හී පැවැති තුන්කොන් එක්දින තරගාවලියත්, 2017-2018 කාලයේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග බංග්ලාදේශයේ පැවැති තුන්කොන් තරගාවලියත් ජයගැනීමට සමත්වූවත් ශ්‍රී ලංකා පිල පසුගිය වසර කිහිපය පුරා එක්දින තරග බිමේ දැඩි පසුබෑමකට ලක්වී සිටියේය.

වසර 2016දී අයර්ලන්තයේ පැවති එක්දින තරගාවලිය 2-0කින් ජයගැනීමෙන් පසුව මෙතෙක් පැවැති එක්දින තරගාවලි 12න් 11ක්ම ශ්‍රී ලංකාවට ගෙන දුන්නේ පරාජයකි. වසර 2016-2017 තරග වාරයේදී බංග්ලාදේශ පිල සමග පැවැති එක්දින තරගාවලිය නිමාවට පත්වූයේ 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරවය. එමෙන්ම එංගලන්තයේ කාලගුණයට හුරුවීමටත්, වේගවත් තණතීරුවලට හුරුවීමටත් අවස්ථාවක් ලැබෙන බැවින් මේ තරගාවලිය ශ්‍රී ලංකා පිලට අතිශය වැදගත් වනු ඇත.

අනිත් අතට වසර දෙකකට ආසන්න කාලයක් කණ්ඩායමට එක්නොවූ ජීවන් මෙන්ඩිස්ට, ළහිරු තිරිමාන්නට සහ ජෙෆ්රි වැන්ඩසේට සිය දස්කම් ඔප් නංවාගැනීමටත් ලැබී ඇති කදිම අවස්ථාවකි. අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි පිලට ශූරතාව දිනාගැනීමට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් ලසිත් මාලිංගට ස්කොට්ලන්ත තරගාවලියෙන් විවේකයක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසය තරග 836කින් පෝෂණය වූවක් වන අතර ස්කොට්ලන්තය මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 107කට පමණි.

ස්කොට්ලන්තයට මේ තරගාවලිය වැදගත් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබාගැනීම සඳහා අයි.සී.සී.යට බල කිරීමේ තරගාවලිය නිසාය. පසුගියදා ඇෆ්ගනිස්තානය සමග පැවැති එක්දින තරගාවලියේ දෙවැනි තරගයට වර්ෂාව ඇද හැලීම නිසා තරගාවලියම අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට ස්කොට්ලන්තයට සිදුවිය. එබැවින් අයි.සී.සී.යෙන් ටෙස්ට් තත්ත්වය ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ටත්වයක් පෙන්නුම් කිරීමට ස්කොට්ලන්තයට සිදුවී තිබේ.

අද තරගය සහ ලබන 21 වැනිදා පැවැත්වෙන දෙවැනි තරගයත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජෙලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඉසුරු උදාන, මිලින්ද සිරිවර්ධන, අවිශ්ක ප්‍රනාන්දු, ජීවන් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩේසේ, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්.

ස්කොට්ලන්ත කණ්ඩායම - කයිල් කෝට්සර් (නායක), ඩයිලන් බච්, ස්කොට් කැමරොන්, මැතිව් කෘස්, ඇලස්ඩෙයාර් එවන්ස්, මයිකල් ජෝන්ස්, මයිකල් ලීස්ක්, කැලම් මැක්ලෝඩ්, ගැවින් මේන්, ජෝර්ජ් මුන්සි, සෆියාන් ශෙරිෆ්, ටොම් සෝල්, ක්‍රෙග් වොලස්, මාක් වොට්, බ්‍රැඩ් වීල්.

 


නව අදහස දක්වන්න