සංගක්කාර ලෝක කුසලාන තරගාවලියට | දිනමිණ

සංගක්කාර ලෝක කුසලාන තරගාවලියට

මේ මස 30 වැනිදා එංගලන්තයේ සහ වේල්සයේදී රටවල් 10කගේ සහභාගිත්වයෙන් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරටද හිමිව තිබේ.

ඒ ලෝක කුසලානයේදී තරග විස්තර විචාරකයකු ලෙසිනි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර තරගාවලියට එක්වන තරග විස්තර විචාරකයන්ගේ නාම ලේඛනය පසුගියදා නිවේදනය කළ අතර ඊට ශ්‍රී ඇතුළත්ව ඇති එකම ශ්‍රී ලාංකිකයා වන්නේ සංගක්කාරය.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ජනප්‍රිය විස්තර විචාරකයකු වන හිටපු ක්‍රීඩක රසල් ආනෝල්ඩ් මෙවර තරගාවලියේදී තරග විස්තර විචාරකයකු ලෙස නම් කර නැත. අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව කරා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවූ මයිකල් ක්ලාක් විස්තර විචාරකයකු ලෙස පළමු වරට මේ තරගාවලියට එක්වනු ඇත. අයි.සී.සී ය නම් කළ 24 දෙනකුගෙන් යුත් විස්තර විචාරකයන්ගේ ලැයිස්තුවට නසීර් හුසේන්, ඉයන් බිෂොප්, සව්රොව් ගංගුලි, මෙලනි ජෝන්ස්, මයිකල් ඇතර්ටන්, ඇලිසන් මිචෙල්, බ්‍රෙන්ඩන් මැකලම්, ග්‍රැහැම් ස්මිත්, වසීම් අක්‍රම්, ෂෝන් පොලොක්, මයිකල් ස්ලැටර්, මාර්ක් නිකොල්ස්, මයිකල් හෝල්ඩිං, ඉසා ගුහා, පොමී මොබැන්වා, සංජය මන්ජේකාර්, හර්ෂා බෝග්ලේ, සයිමන් ඩූල්, ඉයන් ස්මිත්, රමීස් රාජා, අතාර් අලී ඛාන්, ඉයන් වෝර්ඩ් ඇතුළත් වෙති.

නව අදහස දක්වන්න