කළු ජූලියේ අත්දැකීම් විඳි කිසිවෙක් යළි එවැන්නකට දායක වෙන්නේ නෑ | දිනමිණ

කළු ජූලියේ අත්දැකීම් විඳි කිසිවෙක් යළි එවැන්නකට දායක වෙන්නේ නෑ

ඉන්දික පොල්කොටුව

අසූ තුනේ කළු ජූලිය මෙරට කුරිරු ම්ලේච්ඡ ත්‍රස්තවාදයට පාර කැපුණු බවත් එම ත්‍රස්තවාදයේ බිහිසුණු අත්දැකීම විදි කිසිවෙකුත් යළි එවැන්නකට වචනයකින් හෝ දායක නොවනු ඇති බවත් කඳුරට ජනතා පෙරමුණේ නායක ප්‍රාදේශීය සංවර්ධන ඇමැති වී.රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.

කළාපයේ ඉදිරියෙන්ම තිබූ රටක් බිහිසුණු ත්‍රස්තවාදය නිසා එදා මුළුමනින්ම ආපස්සට ඇදී ගිය බවද ඉන් වසර ගණනක් ගෙවී ගියද තවමත් රට නිසිලෙස ගොඩගැනීමට නොහැකි වූ බවද ඇමැතිවරයා කීය.

මේ නිසා අතීත අමිහිරි අත්දැකීම් සැලකිල්ලට ගනිමින් රටට එවැන්නක් යළි ඇති නොවීමට සියලු ජනකොටස් මේ මොහොතේ එක්ව කටයුතු කළ යුතුව ඇතැයිද හෙතෙම පැවසීය.

ත්‍රස්තවාදය කුමන අයුරකින් හො පරාජය කර ත්‍රස්තවාදීන්ට යළි කිසිවිටෙක හිස එසවීමට ඉඩ නොදිය යුතු යැයිද එහෙත් රටේ අහිංසක සියලු ජනතාව ආරක්ෂා කිරීමට සියලු දෙනා කටුයුතු කර යුතුව ඇතැයිද රාධක්‍රිෂ්ණන් මහතා කීය.

මේ මොහොතේ රටේ ඇතිව තිබෙන තත්ත්වය කඩිනමින් සමනය කිරීමට ජනපති හා අගමැති එක්ව කටයුතු කළ යුතුව ඇති බවත් එසේ නොමැතිනම් වෙනත් පාර්ශ්වයක් ඉන් අනවශ්‍ය ප්‍රයෝජන ගනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

මේ ප්‍රශ්නයෙන් අනවශ්‍ය දේශපාලන වාසි ලබා ගනිමින් ආණ්ඩුව රිදවීමට හෝ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා නොකරන බවත් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරනු ලබන බවත් හෙතෙම කීය.

මෙරට සිංහල බෞද්ධ ජනතාව රටේ ප්‍රධාන ජනතාව බවත් ජනතාව සමඟ අනෙකුත් ජනතාව සහයෝගයෙන් වැඩකළයුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

බදුර්දීන් මහතා ජනතා ඡන්දයෙන් පත් වූ අයෙකු බවත් ඔහු යම් වරදක් කර ඇත්නම් ඒ සඳහා නීත්‍යානුකූල පියවර ගතයුතුව ඇති බවත් එසේ නොමැතිව යම් දේශපාලන අරමුණු වෙනුවෙන් සහාය ලබා නොදෙන බවත් ඇමැති රාධක්‍රිෂ්ණන් මහතා කීය.

නව අදහස දක්වන්න