පාතදුම්බර තරුණ බෞද්ධ සංගමයෙන් අසරණ පවුලකට නව නිවෙසක් | දිනමිණ

පාතදුම්බර තරුණ බෞද්ධ සංගමයෙන් අසරණ පවුලකට නව නිවෙසක්

පාතදුම්බර සමුහ ධම්මික බණ්ඩාර

හිසට සෙවණක් නොමැතිව සිටි අසරණ පවුලකට නව නිවෙසක් ලබා දීමේ සත් කාර්යයක් පාතදුම්බර තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් සිදු කෙරිණ. නව නිවෙස ඉදිකර දෙනු ලැබුවේ පාතදුම්බර යටවරකන්දගම එස්.ඒ. කුමාරසිංහ මහතා ඇතුළු සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකටයි. වෙසක් සතිය නිමිත්තෙන් පාතදුම්බර බෞද්ධ සංගමය විසින් මේ පුණ්‍ය කටයුත්ත සිදු කරනු ලැබීය.

කුමාරසිංහ මහතාට හා ඔහුගේ බිරියට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති අතර කුඩා දරුවන් දෙදෙනාද සමඟ අසරණ ජීවිතයක් ගත කරති. නව නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වේ. නිවස බාර දීමේ අවස්ථාව පාතදුම්බර උප ප්‍රධාන සංඝ නායක මානිංගමුවේ පියරතන, පාතදුම්බර අධිකරණ සංඝනායක මැදගොඩ ආනන්ද, වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙන් විහාරාධිපති මල්ලැහැවේ ධම්මරතන හිමිවරුන් සුරතින් සිදුකරනු ලැබූහ.

මේ අවස්ථාවට හිටපු මධ්‍යම පළාත් සභා අැමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, වත්තේගම නගරාධිපති රවීන්ද්‍ර බණ්ඩාර, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් ඩී.සී.ජී. ජයතුංග, සහකාර ප්‍රාදේශීය ලේකම් මැණික්සිංහ, පාතදුම්බර තරුණ බෞද්ධ සංගමයේ සභාපති බණ්ඩාරනායක යන මහත්ම මහත්මීහු හා බෞද්ධ සංගමයේ නිලධාරීන් සහභාගී වූහ.

නව අදහස දක්වන්න