දියණියන් සිවු දෙනෙකු ජීවත් කරවන්න වෙර දරන දිරිය පියෙක් | දිනමිණ


 

දියණියන් සිවු දෙනෙකු ජීවත් කරවන්න වෙර දරන දිරිය පියෙක්

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී.ගුණතිලක

තම බිරිය මියයාමත් සමඟ මාස 06ක් වයසැති සිඟිති දියණිය ඇතුළු දියණියන් සිවුදෙනෙකු සමඟ දිවි කතරේ අතරමංව ජීවිතය ජය ගැනීමට වෙර දරන පියෙකු පිළිබඳ අනුවේදනීය පුවතක් මකුල්ගස්වැව ගල්බොක්ක යාය ගමෙන් වාර්තා වේ. ඔහු නමින් එස්.ඒ. ධම්මික මංජුල සුබසිංහ(38)ය. හෙතෙම වෘත්තීයෙන් පෙදරේරුවෙකි.ඔහු සිය දුක්බර ජීවිතය ගැන මෙසේ පැවැසීය.

මම මීට වසර 16කට පමණ පෙර තිරප්පනේ පදිංචි වසන්තා කුමාරි ප්‍රේමචන්ද්‍ර යන අය සමඟ විවාහ වී ගල්බොක්කයාය ගමේ ජීවත් වුණා.වැඩිමහල් දියණියන් දෙදෙනා ඉපදුණු පසු අපේ ගේදොර ඉඩකඩම් විකුණා බිරියගේ ගමේ ගියා. එහිදී තවත් දියණියන් දෙදෙනෙක් අපට ලැබුණා. එහිදී මගේ බිරිය හදිසියේ මියගිය නිසා යළි දරුවන් සමඟ ආපසු පැමිණ ගමේ තාවකාලිකව නිවෙසක පදිංචි වුණා. පසුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි කිරින්ද මහතා මැදිහත් වී ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂයක් ලබා දී ප්‍රදේශවාසීන්ගේද උදවුවෙන් නිවෙසක් ඉදිකර දුන්නා. මගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 14යි. අනිත් තිදෙනා අවුරුදු 12 , 06, සහ 01 යන වයස්වල පසුවෙනවා.වැඩිමහල් තිදෙනාම පාසල් යනවා. වේලක් හැර වේලක් කලා හරි මගේ එකම බලාපොරොත්තුව ඔවුන්ගේ ඇස් දෙක පාදා යහපත් පුරවැසියන් කරන්නයි.

ඒත් ඊට අපේ දුප්පත්කම ඊට හරස් වෙලා. ලැබෙන ආදාායම ප්‍රමාණවත් නෑ. බාල දියණියට වසරක් ගතවී තිබුණත් මවුකිරි වෙනුවට පිටිකිරි දෙන්න වෙලා. මට සමෘද්ධි සහනාධාරය රුපියල් 3,500/= ක් ලැබෙනවා. වෙන ආදායමක් නෑ. පෙදරේරු වෘත්තියෙන් දිනකට ලැබෙන රුපියල් 2,000/=න් හැමදේම කරන්නට සිදුවෙලා. හැමදාම රැකියාව ලැබෙන්නෙත් නෑ.මම ලෙඩ වුණොත් ඒකත් නැ. මුදල් නැති නිසා ළමයි උපකාරක පන්තිවලට යවන්නට හැකියාවක් නෑ. නිවෙසට විදුලිය නෑ. දරුවන් පාඩම් කරන්නේ භූමිතෙල් ලාම්පුවෙන්. වැසිකිළියක් නෑ. බීමට ජලය ගෙන ඒමට කිලෝමීටර් එකක් පමණ යන්න ඔනේ. මාසයකට රුපියල් 10,000/= ක මුදලක් අපට වැයවෙනවා. වැඩිමහල් දියණියන් පාසල් ගියවිට පුංචි දියණිය අක්කලාගේ ගෙදර තියලා මම වැඩට යනවා. වැඩිමහල් දුව පාසල් ගොස් ඇවිත් නංගිලාට කවලා පොවලා අම්මා කෙනෙක් වගේ වැඩ කරනවා. වනරොදක් හා ගල් කොරි කිහිපයකට මැදිව පිහිටි හුදකලා නිවෙසක අනාරක්ෂිතව දිවි ගෙවන මේ අසරණයන්ට පිහිටක් වීමට හැකිනම් එය උතුම් පිංකමකි.

නව අදහස දක්වන්න