වෙසක් දින පණිවිඩ | දිනමිණ

වෙසක් දින පණිවිඩ

අදහම දහමින් පිටු දැක නිරුපද්‍රිත දේශයක් ගොඩනඟමු

ජනපති

බුදුන් වහන්සේ දේශනා කළ ‘වෛරයෙන් වෛරය නොසංසි‍‍ඳේ - අවෛරයෙන් වෛරය සංසි‍ඳේ’ යන සදාතන සත්‍ය කෙරෙහි යළි යළිත් අපේ සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබදු මොහොතක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

අදට (18) යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේ සඳහන් කරයි.

ක්‍රි. පූ. සවැනි සියවසේ, එවක භාරත දේශයේ ශාක්‍ය ජනපදයෙහි උපත ලැබ, නේරංජනා නදී තීරයේ පිහිටි බුද්ධගයාවේ බෝරුක මුලදී බුද්ධත්වයට පත්ව කුසිනාරාවේ උපවත්තන නම් සල් වනයෙහි දී පරිනිර්වාණයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එකී ත්‍රිවිධ ජීවන අවස්ථා අනුස්මරණය කරමින් පූජෝපහාර පවත්වන අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි.

සාවුරුද්දක් මුළුල්ලේ ගංගා නිම්නයෙහි සැරිසරමින්, පරසිදු ආචාර්යවරුන්ගේ ධර්ම මාර්ග ගවේෂණය කරමින්, දුෂ්කර වෘතයන්හි යෙදුණ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, අවසන වීර්යය, අධිෂ්ඨානය, ශ්‍රද්ධාව හා ප්‍රඥාව මූලික කොට මනුෂ්‍ය බුද්ධියෙන්ම බුද්ධත්වය සාක්ෂාත් කළහ.

බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ, අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැඟීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප විසින් යළි මෙනෙහි කරනු ලැබිය යුතුය.

භීතිය, අන්තරාය විරහිත අන්‍යෝන්‍ය විශ්වාසය සහිත මෛත්‍රී සහගත සමාජයක උදාව පිණිස භාග්‍යවතුන් වහන්සේ‍ දේශනා කළ ‘වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසි‍ඳේ’ යන සදාතන සත්‍යය කෙරෙහි අප යළි යළිත් අපේ සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබදු මොහොතකය.

අබෞද්ධයන් බෞද්ධ කිරීම සඳහා හෝ තම ශාස්තෘවරයාගේ නාමයෙන් හෝ එකදු ලේ බිඳක් නොසෙල් වූ, ධර්මය ධර්මය ලෙසම දක්වාලූ වසර 2500ක් ඉක්ම වන උදාර බෞද්ධ ඉතිහාසයක් පිළිබඳ අවබෝධයක් ඇති අපි, අවි ආයුධ බලය අතිශය තාවකාලික බව වටහා ගත්තෝ වෙමු.

කවර පරමාර්ථයකින් පෙනී සිටියත් පාපය නිරයට මඟ බව දැන, බුදුන් වහන්සේ වදාළ මෙත් කරුණා ගුණ පෙරදැරි, අදහම දහමින්ම පිටු දක්නා මඟට ප්‍රවේශව, මේ රට ස්ථිරසාර අභිවෘද්ධියක් හා නිරුපද්‍රිත දේශයක් බවට පත් කිරීමට මේ වෙසක් සමයේ අපි අදිටන් කර ගනිමු.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවටත්, ලොව පුරා වෙසෙන සියලු බොදුනුවන්ටත් සැනසුම්දායක වෙසක් මංගල්‍යයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.


ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරමු

අගමැති

පොදු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්, විශාල වශයෙන් ජනතාව රැස් වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුව ද, බුදු දහමේ උත්තරීතර වටිනාකම් මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මේ වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් දින පණිවිඩය මගින් පවසයි.

මෙවර වෙසක් පුන් පොහෝ දින එළඹෙන්නේ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයකින් නිසා ශ්‍රී ලංකා සමාජය කැළඹීමට, බියට සහ වේදනාවට පත්ව සිටින අවිනිශ්චිත අවස්ථාවකය. බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මය පුද්ගල අධ්‍යාත්මික විමුක්තිය මෙන්ම පොදු සමාජ විමුක්තිය ද අරමුණු කොට ගත් උතුම් ධර්ම මාර්ගයකි. බුදු දහමේ මූලික හරය කැටි වූ මෙත්තා කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ පිළිපදින්නේ නම් අප තුළ අධ්‍යාත්මික නිවීමත්, පොදුවේ සමාජය තුළ සාමය සහ සංහිඳියාවත් ගොඩනැඟීමට හැකි වනු නිසැකය.

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව පැවැසූ බුදුන් වහන්සේ නිර්වාණ මාර්ගය විහි දී ඇත්තේ සකල සත්වයන් කෙරෙහි වන මෛත්‍රිය ඔස්සේ බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. එබැවින් ජාති, ආගම් වශයෙන් බෙදී වෙන් වී විනාශය වැළඳ ගැනීම වෙනුවට, එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මිනිසුන් ලෙස සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි.

මේ අර්බුදකාරී අවස්ථාව පිළිබඳ මනා වැටහීමෙන් ඉවසිලිවන්තව, සංයමශීලීව කටයුතු කරමින්, ජාතික ආරක්ෂාව ඇති කිරීම සඳහා සහාය ලබා දුන් සමස්ත ජනතාවට මාගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරමි. අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද, වෛරය අවෛරයෙන් ද, අධර්මය ධර්මයෙන් ද, අසත්‍ය සත්‍යයෙන් ද දින වීමට පෙරමුණ ගන්නා අර්ථවත් සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනය කරමි.


වෛරයේ ගිනි නිවා සියලු දෙනා සුවපත් කිරීමට පියවර ගනිමු

කොළඹ අගරදගුරු හිමි

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන්පෑම යන තෙමඟුල සමරණ අති පූජනීය වෙසක් පුර පසළොස්වක පොහෝ දින සමස්ත සැදැහැවත් බොදුණු ජනතාව වෙත මගේ ශුභාශිංසන පළ කරන්නේ ඉමහත් සෙනෙහසින් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියති.

උන්වහන්සේගේ එම පණිවිඩයෙන් මෙසේද පවසයි. තවද මා එසේ කරන්නේ මානව වාර්ගයා කෙරෙහි පමණක් නොව සියලු සත්වයා කෙරෙහි ද මෛත්‍රිය පෑමට මනුෂ්‍යයාට කියාදෙන උතුම් බෞද්ධ ජීවන දර්ශනය කෙරේ පෞද්ගලිකවම මා තුළ ඇති විශේෂ ගෞරවය පෙ‍රදැරිවය.

වසර 2500කටත් වැඩි කාලයක් තිස්සේ මෙරට ජන විඥානයත් ආගමික සභ්‍යත්වයත් පෝෂණය වූයේ බෞද්ධ චින්තනයෙන් බව නොරහසකි. තවද එය මේ රටේ උපන් බොදුණු සහෝදර සහෝදරියන්ගේ පමණක් නොව අප සැමගේ ද පොදු උරුමය අප අදහන ආගම කුමක් වුවත් ඒ හැම ආගමකටම බොදු දහම සරු පසකි. එය එසේ වන්නේ කිතු දහම ඇතුළු ලොව ප්‍රධාන ආගම් සියල්ලේම පදනම ප්‍රේමය හෙවත් මෛත්‍රිය වන නිසාය. ක්‍රිස්තුන් වහන්සේ අපට උගන්වන්නේ දෙවියන් වහන්සේ යනු ප්‍රේමයය (1 ජුවාම් 4.8) කියාය.

විශේෂයෙන් ම මේ වසරේ අපට වෙසක් උත්සවය සමරන්නට සිදුවී ඇත්තේ වෙනදාටත් වඩා අපේ ආගමික පැවැත්ම පරීක්ෂාවට ලක්වන සමයකය. වෛරය ආගම කරගත් ත්‍රස්තවාදය අද ප්‍රේමයේ ආගම් සියල්ලටම බලවත් අභියෝගයක්ව ඇත. එහෙත් බද්ධ වෛරය සහ ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට හැක්කේ මෛත්‍රියට පමණි. එය අප අදහන සෑම ආගමක් ම අපට උගන්වන පරම සත්‍යයි. එබැවින් එය අප අධ්‍යාත්මික පැවැත්මේ කේන්ද්‍රය කර ගැනීමට වෙර දරමු. වෛරයේ ගිනි නිවා සියල්ලන් සුවපත් කර උතුම් වූ දැහැමියාවකට පියවර නගමු. ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවායි ඉත සිතින් පතමු.


සත්‍යයේ ආලෝකයෙන් මිත්‍යාවන්වල අඳුර දුරලීමට

බුද්ධ දේශනාව මඟපෙන්වනු ඇති කතානායක

සමස්ත ලෝක සත්වයා කෙරෙහිම දයාව, කරුණාව, මෛත්‍රීය පෙරටුකරගත් විශ්ව සාධාරණ සදාකාලික දර්ශනයක් ජනිත කළ තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන වෙසක් පුර පසළොස්වක පුන් පොහෝය දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටත් විශේෂයෙන්ම පිරිසුදු ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වන අප මාතෘ භූමියටත් අතිශයින් වැදගත් ආගමික පූජෝත්සවයක් බව කතානායක කරු ජයසූරිය මහතාගේ වෙසක් දින පණිවිඩයෙන් කියා සිටී. එම වෙසක් දින පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද කියා සිටී.

සමස්ත ලෝක සත්වයා කෙරෙහිම දයාව, කරුණාව, මෛත්‍රීය පෙරටු කරගත් විශ්ව සාධාරණ සදාකාලික දර්ශනයක් ජනිත කළ, තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන වෙසක් පුර ප‍සළොස්වක පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටත් විශේෂයෙන්ම පිරිසිදු ථෙරවාදී බුදුදහමෙහි කේන්ද්‍රස්ථානය වන අප මාතෘ භූමියටත් අතිශයින් වැදගත් ආගමික පූජෝත්සවයකි.

වර්තමානයේදී ලෝකයේ විවිධ ප්‍රදේශවල මිනිසුන් දැවෙන වෛරයේ ගිනි දැල්ලෙන් ලෝක සත්වයා මුදවාලිය හැකි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිවු බඹ විහරණය උන්වහන්සේ ක්‍රි. පූ. හයවන සියවසෙහිදී සමාජගත කරන්නට සමත් වූහ.

Òවෛරයෙන් වෛරය නොසන්සි‍ඳේයÓ යන බුදු වදන හැර සමස්ත ලෝකයටම ශාන්තිය උදාකරන අන් මඟක් නොමැති බව පැහැදිලිය. එවන් දර්ශනයකින් දුරස් වූ අන්තවාදය විසින් පෝෂණය කළ ත්‍රස්තවාදයේ කුරිරු අත්දැකීමක අමිහිරි මතකය සමඟින් මෙවර වෙසක් සැමරුමට සූදානම් වුවද ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව සතු විශ්වාසය, අවබෝධය සහ භක්තිවන්ත භාවයෙහි කිසිදු පසුබෑමක් නොමැති බව ඉඳුරාම පැවසිය හැක.

මෙය තව තවත් ධර්මයට සමීප වෙමින්, ප්‍රතිපත්ති පූජාවේ නිරතවෙමින් බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයෙහිම ගමන් කිරීමට ‍ධෛර්යය ලැබිය යුතු මොහොතකි.

එබැවින් සියලු මිත්‍යාවන්ගේ අඳුර, සත්‍යයේ ආලෝකයෙන් දුරලීමට උතුම් බුද්ධ දේශනාවම මඟපෙන්වනු ඇති බව අවබෝධ කරගනිමින් අරුත්බර වෛශාක්‍ය සැමරුමක් සමඟ නොපැකිලිව එක්වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට බැතිබර වෙසක් මංගල්‍යයකට ආසිරි පතමි.


වෛරයේ අන්ධකාරය දුරුවී සමඟිය, ප්‍රබෝධය පිරි නවයුගයක් බිහිවේවා

විපක්ෂ නායක

සාමය සහ අවිහිංසාව මූලික කොට ගත් බුදු දහම වඩාත් ගැළපෙන්නේ වර්තමාන යුගයට බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අදට (18) යෙදෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමිනි. එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

වෙසක් යනු බෞද්ධයාගේ දින දර්ශනයේ එන අතිශයින්ම වැදගත් පූජනීයම දිනයයි. ලොව පුරා බෞද්ධයෝ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම මෙදින මහත් බැතිබර හදවතකින් යුතුව මෙනෙහි කරති.

මේ පණිවිඩය ලියන මේ අවස්ථාවේදී පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවී මසක්වත් ගෙවී අවසන්වී නොමැත. මෙයට මුහුණපෑ සියල්ලන්ගේ කඳුළු තවමත් සිඳීගොස් නැත. තුවාල තවමත් සුව වී නැත. මුළුමහත් ජාතියක් හැඬවූ මේ ප්‍රහාරය ශ්‍රී ලාංකීය ජන ජීවිතය අඩපණ කොට ඇත. ශ්‍රී ලාංකිකයෝ තමන්ට අහිමිවූ ජීවිත සහ එයින් ඇතිවූ හානි විඳදරා ගැනීමට ඉමහත් වෙහෙසක් දරති.

අවුරුදු 2500කට පමණ පෙර දේශනා කළ අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැඩිවශයෙන් ගැළපෙන්නේ අද සමාජයටයි. බුද්ධ ධර්මයෙහි මූලික හරය වන්නේ සාමය සහ අවිහිංසාවයි. ඉවසීම සහ එකිනෙකා තේරුම් ගැනීමේ ගුණය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ජන සමාජයක මූලික පරමාදර්ශය වේ.

බුද්ධ ධර්මයෙහි එන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන්නා වූ සතර බ්‍රහ්ම විහරණය අද සමාජයේ ඇතිවන සියලුම සමාජීය ගැටලුවලට හොඳම විසඳුමයි. එමගින් සමාජයේ ඇතිවන අවිශ්වාසය සහ නොසන්සුන්තා මඟහැර ජාතිවාදී සහ ආගම්වාදී ඝට්ටනයන්ගෙන් ඇතිවූ තුවාල සුවපත් කර සාමකාමී පරිසරයක් නිර්මාණය කළ හැකිය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ගුණයන් ලොව ජීවත්වන සියලුදෙනා කෙරෙහි අදාළ වන අතර උන්වහන්සේ දේශනා කළ අයුරින් ඔබ මේ ගුණයන් සැමට එකසේ, අපක්ෂපාතී ලෙස, සර්ව සාධාරණව අනෙකා කෙරෙහි දැක්විය යුතුය. මෙය නිර්මල ලෙස ක්‍රියාවට නංවන්නේ නම්, සියලු සමාජ මතිමතාන්තර සහ බාධක බිඳවැටී, සාමකාමී එකමුතු සමාජයක් බිහිවී, අප අතරින් තුරන්වී ගිය සතුට සහ මහත්මා ගුණයන් නැවතත් අප වෙත ඇදී එනු ඇත.

අද අප ජිවත්වන සමාජය ගැටුම්වලින් පිරී ඇත. එම ගැටුම් ඇති කරන්නේ අධර්මයෙහි හැසිරෙන හිතුවක්කාර වෛරී පුද්ගලයන් විසිනි. ඔවුන්ට බුද්ධ වචනය එදාට වඩා අද මනාව ගැලපේ. බෞද්ධ ධර්මයෙහි සැබෑ ශ්‍රාවකයන් ලෙස අප සියලුදෙනා එකමුතුව, සාමය සහ මිත්‍රත්වය අගයන, ආදරය සහ කරුණාව දක්වන, සමාජයක් බිහිකළ යුතුය. ඔබගේ වචනයකින් පවා තවත් අයෙකුට සිත් රිදවීමක් සිදුනොවිය යුතුය.

මේ වෙසක් දිනයේ වෛරයේ අන්ධකාරය දුරුවී, සමඟිය, සන්තුෂ්ඨිය සහ ප්‍රබෝධය පිරි නවයුගයක් බිහිවේවා යැයි ප්‍රාර්ථනා කරමි. එය හුදෙක් ගැටුම් සහ කෝලාහල නොමැති සමඟියකට සීමා නොවී, එකිනෙකා කෙරෙහි ගෞරව කරන, සාමය පිළිබඳ සංවාදයකට විවෘත, සියලු ජාතින් අතර විවිධත්වයන් අගයන, මනුෂ්‍යත්වයට මුල්තැන දෙන සමඟියක් විය යුතුය. ධර්මාලෝකයෙන් සිත්සතන් ආලෝකමත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!


සාමය සහ අභිමානය ගොඩනැඟීමට අදිටන් කරගනිමු

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්

නොඉවසිලිමත්කම් සහ භේදය වර්ධනය වන කාලයක ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම සහ අන්‍යයන්ට සේවය කිරීම පිළිබඳ බුදු පණිවිඩය කවරදාටත් වඩා අදට අදාළ වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කරයි.

වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරයි.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට පූජනීය අවස්ථාවක් වන වෙසක් මංගල්‍යය සමරන සැමට මම සුබ ප්‍රාර්ථනා කරමි.

බුදුන් වහන්සේගේ උපත, බුදුවීම සහ පරිනිර්වාණය සමරණ මේ දිනයේ, අප සියලු දෙනා, බෞද්ධ හා බෞද්ධ නොවන එකසේ, බුදුන් වහන්සේගේ ජීවිත ආවර්ජනයෙන් සහ දෙසූ දහම තුළින් අනුප්‍රාණයක් ලබාගත යුතුය.

නොඉවසිලිමත්කම් සහ භේදය වර්ධනය වන කාලයක ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම සහ අන්‍යයන්ට සේවය කිරීම පිළිබඳ බුදු පණිවිඩය කවරදාටත් වඩා අදට අදාළය.

වෙසක් දිනයේ අපි සැමට සාමය සහ අභිමානය ගොඩනැඟීම උදෙසා අපගේ කැපවීම ප්‍රාණවත් කරගනිමු.


යහගුණයෙන් පිරි සමාජයක් බිහිකර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු

බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා

බුදුරජාණන් වහන්සේ ලොව අසමසම ශාස්තෘවරය‍ාණන් වහන්සේ වන්නේද බුදුදහම සර්වකාලීන මෙන්ම සෑම කෙනෙකුටම ජීවිතයට සමීප කරගත හැකි දර්ශනයක් වන්නේද එවන් අසහාය ජීවිත පරිඥානයකින් බුදු දහම ලද අප්‍රමාණ ආභාෂය හේතුවෙන් බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙසක් දින පණිවිඩයෙන් කියා සිටී. එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

ලෝක බෞද්ධයන් සෑම වසරකම වෙසක් පොහෝ දින ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සමරන්නේ ලොව්තුරු බුදුන්ගේ උපත, සම්මා සම්බුද්ධත්වය සහ මහා පරිනිර්වාණය යන අති ‍ශ්‍රේෂ්ඨ සිදුවීම් තුන මෙදින සිදුවූ බැවිනි.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීම පිළිබඳ සංසිද්ධිය තුළින් පැවැසෙන්නේ, තමන් එල්බ ගත් අධිෂ්ඨානය මත නොසැළී සිඳිමින් නොපසුබටව, සංසාරගතව පිරූ පාරමිතාවන් සඵල කරගැනීමට උදාර මනුෂ්‍යත්වය සතුව පවත්නා විරල ශක්‍යතාවය වේ.

නූතන සංකීර්ණ ලෝකයේ අපමණ තැවුලින් විඩාවට පත්ව පෙළෙන මිනිසාට, මානසික සහනය මෙන්ම ජීවන විමුක්තිය සලසා දීමටද මනා පිටිවහලක් සපයන දැක්මක් බව බටහිර දියුණු ජාතීන් බුදුදහම කෙරෙහි දක්වන විමසිලිමත් උනන්දුව මගින් අවධාරණය වේ.

සමස්ත සොබාදහම අසිරිමත් නවෝදයකින් ඇළලෙන උත්කර්ශයෙන් පිරි වෙසක් සමය, බුදුන්වහන්සේ දේශනා කළ අයුරින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්මවිහරණයන්ගෙන් පන්නරය ලබන යහගුණයෙන් පිරි සමාජයක් ගොඩනැංවීමේ මහා ආධ්‍යාත්මික ප්‍රවේශයක් බවට පත්කරගැනීමට අධිෂ්ඨාන කරගමු.


බියෙන් සැකෙන් තොරව සාමකාමී ජන ජීවිතයක් ගත කිරීමට හැකිවේවා

ඇමැති රවි කරුණානායක

බියෙන් සැකෙන් තොර සාමකාමී ජන ජීවිතයක් ගත කිරීමට හැකි උතුම් තෙමඟුලක් වේවායයි විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සිය වෙසක් පණිවිඩයෙන් කියා සිටී.

එහි මෙසේද සඳහන් වේ.

රටක් සතු වියයුතු වැදගත්ම සාධකය වන්නේ සාමය, සමඟිය, සහෝදරත්වය යන ගුණාංගයන්ගෙන් පෝෂණය වූ මානව සම්පතකි. එවන් මානව සම්පතක් බිහිකිරීමේ මූලික අඩිතාලම වන්නේ මිනිසාගේ අධ්‍යාත්මික ස්වභාවය වර්ධනය කිරීම වේ. එවැනි කාර්යයක් කිරීමට හැකි එක් ප්‍රධාන ක්‍රමයක් වන්නේ මිනිසා ආගම දහම කෙරෙහි යොමු කිරීමයි. මෙකී කර්තව්‍යය වෙනුවෙන් බුදුදහම තුළින් සිදුවන්නේ අනූපමේය වූ මෙහෙයකි. ධනාත්මක මානව සම්පතක් බිහිකිරීමට හැකි උතුම් ධර්මයක නිර්මාතෘවරයාණන්ගේ තෙමඟුල සමරණ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය වර්ධනය වන්නාවූ අති උතුම්වූ වෙසක් පුන් පොහොය සැමරීමට හැකිවීම අප ලද භාග්‍යයකි.

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන උතුම් තෙමඟුල සිහිකරන වෙසක් ‍පොහොය බෞද්ධ ජනතාව සමරන්නේ හදපිරි භක්තියෙනි. ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන් වෙනුවෙන් බෞද්ධ ජනතාව කටයුතු කරනුයේ විශාල කැපවීමකිනි. වර්තමාන ජන සමාජයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය හමුවේ, බෞද්ධ ජනතාවට වෙසක් පොහොය දින ආමිස සහ ප්‍රතිපත්ති පුද පූජා පැවැත්වීමට ද අවහිරතා මතුවී ඇත්තේ මහත් අභාග්‍යසම්පන්න ආකාරයෙනි. මිනිසා ආගම දහමෙන් බැහැරවීමේ ප්‍රථිඵලයක් ලෙස මෙම ගැටුම්කාරී තත්ත්වයන් හඳුන්වාදිය හැකිය.

සුවහසක් වූ බෞද්ධ ජනතාවගේ සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් සනහාලමින් උදාවන වෙසක් මංගල්‍යය, ජනතාවගේ සිත්තුළ කරුණාව, දයාව, සහෝදරත්වය මෙන්ම සමානාත්මතාවය වර්ධනය කර, ශ්‍රී ලංකාවාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාවට බියෙන් සැකෙන් තොර සාමකාමී ජන ජීවිතයක් ගතකිරීමට හැකි වාතාවරණයක් ඇති කිරීමේ මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි.


දහම් මඟට පිවිස විමුක්තිය ළඟාකර ගැනීමට එක් වෙමු

දිනේෂ් ගුණවර්ධන

අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරන අද දිනයේදී අපි සියලුදෙනා වෙනදාටත් වඩා දහම් මඟට එළඹ ක්‍රමානුකූල අභ්‍යාසය ශික්ෂණය මඟින් විමුක්තිය ළඟාකර ගැනීමට අධිෂ්ඨාන කරගමු යැයි මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වෙසක් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

බුදුරජාණන් වහන්සේ සමස්ත ලෝක ජනතාවට ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ප්‍රයෝජනවත් වන පරිදි ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. කවදත් මිනිස් සමාජය විවිධය, විෂමය, භින්න රුචිකය. එවන් සමාජයක් සමාජය තුළින්ම ‍මතුවන ගැටුම් හා අර්බුද හමුවේ යහමඟට යොමුකිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හා ආදර්ශය වඩාත් ගැඹුරින් මෙනෙහි කිරීමේ කාලය එළඹ පවතී.

සදාචාරය, සාමය සහ සෞභාග්‍යය ළඟාකර ගැනීමට වෙසෙසි මාර්ගය බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. ඕනෑම ජනසමාජයක් සදාචාරසම්පන්න බවට පත්කර ගත නොහැකි වුවහොත් ඒ රට දවසින් දවස වැටෙන්නේ අගාධයට ය.

එදවස රජවරුන්ට බුදුන්වහන්සේ දුන් මුඛ්‍ය පණිවිඩය වූයේ රටේ මහරජුට අයත් ප්‍රධාන වගකීම රට සදාචාරසම්පන්න කරගන්නා ලෙසය. පංචශීල ප්‍රතිපදාව ජනතාවට බුදුන්වහන්සේ ඉදිරිපත් කළ සේක. රජුන් හා මහජනයා මෙම ප්‍රතිපදාවන්ට අනුගතව කටයුතු කරයි නම් එවන් සමාජයක ඇනකොටා ගැනීම් පිළිබඳව අසන්නට නොලැබේ.

සදාචාරය නිසා සාමයත්, සාමය නිසා සෞභාග්‍යත් ගොඩනැංවීමෙන් යහපත් සමාජයක් උදාකර ගැනීමට මෙම වෙසක් දිනයේ අපි අදිටන් කර ගනිමු. අර්ථාන්විතව මඟපෙන්වන ගරුතර මහසඟරුවනට මෙන්ම ආගමික අනුශාසකයින්ටද සවන් දිය යුතු කාලය මෙය යැයි සිතමි.

නව අදහස දක්වන්න