රටේ නිදහස අවභාවිත කරමින් ඇතැමුන් කරන වැරදි ප්‍රකාශවලට ඉඩ දෙන්නේ නෑ | දිනමිණ

රටේ නිදහස අවභාවිත කරමින් ඇතැමුන් කරන වැරදි ප්‍රකාශවලට ඉඩ දෙන්නේ නෑ

රට තුළ තහවුරු කර තිබෙන නිදහස අවභාවිත කරමින් හරි තොරතුරු නොදැන ඇතැමුන් කරන වැරදි ප්‍රකාශනවලට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.‍

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ පසුගියදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී එම දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පැවති හමුවකදීය.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලනඥයන් සහ පළාත් පාලන ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මීට එක්ව සිටි අතර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන යන වැඩපිළිවෙළට ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ආරක්ෂක අංශවලට ලැබිය යුතු සහාය පිළිබඳවත්, රට තුළ ගැටුම්කාරි පරිසරයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර විශ්වාසය තහවුරු කරමින් සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට ගතයුතු පියවර පිළිබඳවත් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡා මාලාව පසුගිය දිනවල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වුණු අතර එහි 12 වැනි දිස්ත්‍රික් වැඩසටහන කළුතර දි පැවැත්විණි.

අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය කරමින් මෙම සාකච්ඡා මාලාව ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

සෑම දිස්ත්‍රික්කයකටම, සෑම පළාතකටම ගොස් ඒ ප්‍රදේශවල තිබෙන ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ගෙනි යන වැඩපිළිවෙළ අනුව අද කළුතරට පැමිණියා. මේ වන විට මම දිස්ත්‍රික්ක 12 කට ගිහින් තිබෙනවා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව හැර අනකුත් රජයේ නිලධාරී මහත්වරු ඉරිදා විවේකයෙන් ඉන්න දවසක්. නමුත් ඒ විවේකය ගැන නොසලකා ඔබත් ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ අනෙකුත් සියලු කාර්ය මණ්ඩල මැතිඇමතිවරු සියලුම දෙනා මේ සාකච්ඡාව සාර්ථක කිරීමට දක්වන උනන්දුව සහයෝගය සහ කැපවීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.

අප්‍රේල් 21 වැනිදා සිදුවීමට මේ වන විට සති කීපයක් ගත වී තිබෙනවා. මේ සති 3 ක කාලය තුළ අපේ බුද්ධි අංශත්, යුද, නාවික, ගුවන් සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඉතාමත් විශිෂ්ට සේවාවක් ඉටු කර තිබෙනවා. අප්‍රේල් 21 වැනි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදින්, අපිට වඩා ප්‍රබල රටවලවලට පහර දුන්නා. රුසියාව, අමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දුනීසියාව, මැලේසියාවට වගේම ඉන්දියාවටත් අවස්ථා ගණනාවකදීම පහර දුන්නා. ඒ සෑම රටක්ම අධි තාක්ෂණයෙන් ශක්තිමත්, ඉහළම යුද ශක්තියක් තිබෙන රටවල්. ඒ පහරදීම්වලට පිළිතුරු දුන්නේ ත්‍රස්තවාදින්ගේ මූලස්ථාන විනාශ කිරීමෙන්. අපි පුංචි රටක් වුවත් අපේ ආරක්ෂක හමුදා ඉතාමත් ශක්තිමත්. වසර 30 ක දීර්ඝ කාලීන ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කර පුළුල් අත්දැකීම් සහ අවබෝධයක් තිබෙන පිරිසක්. අපේ ආරක්ෂක අංශවලට මේ ත්‍රස්ත මූලස්ථානය තිබෙන්නේ කොහේද කියලා හොයලා පහර දෙන්න ශක්තියක් නැහැ. ඇතැම් වේලාවට සිරියාවේ ද ලෝකයේ වෙනත් රටක ද කියලා අපේ රටේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ දන්නෙ නැහැ. එය අමෙරිකාවටත් රුසියාවටත් තවම හරියට හොයා ගන්න බැහැ. ඒ හේතුව නිසා තමයි 21 වැනි දා ප්‍රහාරයෙන් පසුව 23 වැනිදා මේ ත්‍රස්ත ව්‍යාපාරයේ ප්‍රධානීන් ලෝකයේ කොහේ හරි රටක ඉඳලා ප්‍රකාශයක් නිකුත් කෙළේ ලංකාවේ පිපිරීම් සමඟ ප්‍රහාරයේ වගකීම ඔවුන් භාර ගන්නවා කියලා. ඊළඟට අප්‍රේල් 26 වැනිදා නැඟෙනහිර සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ ගැටුම් සහ පිපිරීම්වල වගකීම් ඔවුන් භාර ගන්නවා කියලා .මේ ත්‍රස්ත ව්‍යාපාරයේ නායකයා කොහේ හෝ සිට මාධ්‍යවලට ප්‍රකාශයක් කළා. අමෙරිකාව, රුසියාව ප්‍රමුඛ යුරෝපයේ ප්‍රබල රටවල් සිතා ගෙන සිටියේ මීට වසර 4 කට පෙර මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයා මැරුණයි කියලා. නමුත් ලංකාවේ ප්‍රහාරයෙන් පසුව, මේ ව්‍යාපාරයේ නායකයා වසර 4 කට පසුව එළියට ඇවිල්ලා ප්‍රකාශයක් කළා ලංකාවේ ප්‍රහාරයේ වගකීම ඔවුන් භාර ගන්නවා කියලා. මම හිතනවා ඒ ප්‍රකාශයත් එක්ක ප්‍රබල රටවල් නැවත ඔහු සොයන්න පටන් ගන්නට ඇති. නමුත් අපිට එහේම අධි තාක්ෂණික යුද ශක්තියක් නැහැ ලෝකය පුරා හොයලා පහර දෙන්න. නමුත් අපේ ආරක්ෂක හමුදාවත් පොලිසියත් බුද්ධි අංශත් ඉතාම දක්ෂ වුණා ඉතාම කෙටි කාලයකින් ලංකාවේ ත්‍රස්තවාදින් සියලු දෙනාම අත්අඩංගුවට ගන්න. ඒවගේම පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ, යුද උපකරණ ඔවුන්ගේ මූලස්ථාන, පුහුණු මධ්‍යස්ථාන ඒ සියලු දේ සොයා ගන්න අපේ බුද්ධි අංශ සහ හමුදාව පොලිසිය ඉතාම දක්ෂ වුණා.

මේ පිළිබඳව රටේ විවිධ විවේචන කරන අය ඉන්නවා. සමහර විට දේශපාලන කුහකකම් වෙන්න පුළුවන්. සමහර විට වෙනත් වෙනත් අවස්ථාවාදය වෙන්න පුළුවන්. ආරක්ෂාව පිළිබඳව තවමත් කිසිම දෙයක් වෙලා නැහැයි කියන පිරිසක් ද ඉන්නවා. රජයට චෝදනා කරනවා මේ කටයුතු ප්‍රමාණවත් නැහැ ආරක්ෂාව මදි කියලා. අපි දරුවන්ට පාසල් එන්න කිව්වේ ආණ්ඩුව වගකීමක් අරගෙන. වගකීම ගන්නේ නැතිව ලක්ෂ 40 කට වැඩි දරුවන්ට පාසල් එන්න කියන්නේ නැහැ. නමුත් දරුවෝ එව්වේ නැහැ. දරුවෝ එව්වේ නැත්තේ ඇයි. දරුවෝ එව්වේ නැත්තේ ප්‍රබල කිහිපදෙනෙක් වගේම, සමාජ මාධ්‍ය හරහා කිව්වා ආරක්ෂාව නැහැ දරුවෝ එවන්න එපා කියලා . නමුත් ඔබ දකින්න ඇති පාසලට දරුවෝ එව්වේ නැති වුණාට ටියුෂන් පන්ති සේරම පිරිලා. ආරක්ෂක විධිවිධාන හොඳින් හදලා තිබෙන පාසල්වලට දරුවෝ එවන්නේ නැහැ. පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දෙමව්පියෝ ඇතුළු ගුරු මණ්ඩල සියලු දෙනාම පාසල්වල ආරක්‍ෂක විධිවිධාන හොඳට ශක්තිමක් කර තිබෙනවා. අපි දරුවන්ට එන්න කියලා කිව්වේ, බුද්ධි අංශ සහ විශේෂයෙන් හමුදා ප්‍රධානීන් දැන් දරුවෝ පාසල් ආවට ප්‍රශ්නයක් නැහැයි කියලා පැහැදිලි සහතිකයක් දුන්නට පස්සේ.

සමහර රජයේ කාර්යාලවලට කවුරු හරි කෝල් එකක් දුන්නහම වහලා දාලා යන්න යනවා. දැන්නම් ඒක නැවතිලා. සමහර විට කාර්යාලයේම ඉන්න පියන් කෙනෙක් වෙන්න පුළුවන්, අයිනකට ගිහිල්ලා කෝල් එක දෙන්නේ ආයතන ප්‍රධානියාට මේ කාර්යාලයට ගහනවා කියලා. මේ සමාජය හැදිලා තිබෙන්නේ එහෙමයි. සමාජ මාධ්‍යයන්හි ඔබ දකින්නට ඇති භික්ෂුන් වහන්සේ නමක් කතා කළා. 13 වැනිදාට හැටදහසක් මැරෙනවයි කියලා. අපි ඊට පසුව උන්වහන්සේ ළඟට පොලිසිය යැව්වා. අපිට අත්අඩංගුවට ගන්නත් පුළුවන් හදිසි නීති බලතල යටතේ. මේ වගේ ඉතාමත් වැරදි රට නොසන්සුන් කරන ප්‍රකාශ නිකුත් කිරීම ගැන. නමුත් අපි අත්අඩංගුවට ගත්තේ නැහැ. පොලිස් නිලධාරින් ගිහින් මේ ගැන කරුණු විමසුවහම උන්වහන්සේ ඊට වැඩිය වෙනස් විදියට ප්‍රකාශ කරන්න පටන් අරන් තිබෙනවා. රටේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී ඉතාම ප්‍රමුඛ විශිෂ්ට වැඩ කොටසක් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉෂ්ට කරනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක. මිලියන 21 ක පමණ ජනතාවට ඉන්නේ ලක්ෂ 4 කටත් අඩු ආරක්ෂක අංශ පිරිසක්. නමුත් ඒ අංශය හැකි උපරිම ලෙස සෑම ආයතනයකම ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කර තිබෙනවා. මේ ආරක්ෂක කටයුතු සඳහා මොනතරම් යෙදෙව්වත් දෛනිකව පොලිසියට අනිවාර්යයෙන් කළ යුතු තවත් වෙනත් වැඩකොටස් රාශියක් තිබෙනවා. උසාවි යන එක. නඩු, වෙනත් හදිසි බරපතළ පැමිණිලි හෝ මහජනතාවගේ වෙනත් කරදර පිළිබඳව. මාර්ගවල රාජකාරි. ඒවා පොලිසිවල දෛනික අත්‍යවශ්‍ය සේවාවන්. ඒ සේවාවන් කරන ගමන් අමතර අනිවාරයෙන් කළ යුතු මේ සේවාවේ කටයුතුත් පොලිසිය ඉෂ්ට කරනවා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශවල මේ සියලු දෙනා දවල් රෑ නැතිව ඉතාම ඉහළ විශිෂ්ට සේවාවක් කරන කොට අපේ රටේ සංවර්ධනයේ ප්‍රමුඛ බළකාය වන ලක්ෂ 16 ක් වන රාජ්‍ය සේවයත් ඒ බලඇණිවලට එකතු වෙන්න ඕනෑ. මම සතුටු වෙනවා දිසා ලේකම්තුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා බොහෝ ආයතන ප්‍රධානීන් ඒ වගකීම් ඉතා හොඳින් ඉෂ්ට කිරීම ගැන.

අපි තව තවත් ශක්තිමත් විය යුතුයි. ලක්ෂ 16 ක රාජ්‍ය සේවය කියලා කියන්නේ විශාල බල ඇණියක්. මම ඉල්ලනවා මේ තත්ත්වය ස්ථීරව යහපත් තැනට ඇවිත් ජනතාවගේ විශ්වාසය ඇතිවන තෙක්, සතියකට සැරයක් සියලුම ආයතන ප්‍රධානීන් තමන්ගේ කාර්යාලවල අඩුම වශයෙන් විනාඩි 35-40 ක පමණ සාකච්ඡාවක් ගන්න. කාර්යාලයීය ප්‍රශ්න කතා කරන්න, කාර්යාලයට යන එන අය ගැන නිරීක්ෂණය කරන්න, විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමන්ලාටයි ක්ෂේත්‍ර නිලධාරීන් විශාල පිරිසක් අයත් වන්නේ. ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ගම්වල තොරතුරු, ආරක්ෂක තත්ත්වය ගැන සොයා බලා මේ වැඩපිළිවෙළ හදන්න පුළුවන්. ඔබ දන්නවා දිසා ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කියන්නේ පොලිස් බලතල තිබෙන ආයතන දෙකක්. ඒ ප්‍රදේශයේ යම් යම් අඩුපාඩු තිබෙනවා නම් ආරක්ෂක අංශයට දන්වන්න අපේ ප්‍රදේශයේ මෙවැනි අඩුපාඩු තිබෙනවා කියලා. එවිට ඒවාට අවශ්‍ය විසඳුම් හා පිළියම් ලබා දෙනවා.

අපි වසර 30 ක් බෝම්බත් සමඟ ජීවත්වුණ ජනතාවක්. ඔබ දන්නවා මම 6 වැනි ජනාධිපතිවරයා. ඉතිහාසයේත් මීට වඩා බෝම්බ පිපුරුවා. ආරක්ෂක ලේකම්ලා, යුද හමුදාපතිවරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපුරුවා. මමත් ඒ කාලයේ ත්‍රස්ත ප්‍රහාර 5කට මුහුණ දුන්න කෙනෙක්. ඒ නිසා ඒ අත්දැකීමත් සමඟ අපි හිතන්න ඕනෑ. මේක මේ කවදාවත් නැතිව හදිසියේ පත්වුණ ප්‍රශ්නයක් නොවේ.අමෙරිකාවේ ලෝක වෙළෙඳ කුලුණු කඩා වැටෙන්න පහර දුන්න වෙලාවේ 2700 ‍කට වඩා මියගියා. අදත් අමෙරිකාවට කියන්න බැහැ කොයිතරම් මැරුණ ද කියලා. ලෝකයේ ප්‍රබලම රටක් වන අමෙරිකාවට බෝම්බ දානතුරු එයාලා දන්නේ නැහැ. යුරෝපයේ සියලුම රටවල්වලට පාහේ ගැහුවා. එතකොට අපි යුද්ධයේ අත්දැකීම් තිබෙන පිරිසක් විදියට අපි කොහොමද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ.

80 දශකයේ මුල් භාගයේ තමයි එල්.ටී.ටී.ඊ ය ශක්තිමත් වුණේ. අපි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ 83 කළු ජූලිය. ඊට කලින් එල්.ටී.ටී.ඊ සංවිධානය ශක්තිමත් වෙලා තිබුණේ නැහැ. නමුත් දමිළ කෝටිපති ව්‍යාපාරිකයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට, තරුණයන්ට, එල්.ටී.ටී.ඊ සංවිධානයට කිසිදු සම්බන්ධයක් නැති අයට ගැහුවා, ගිනි තිබ්බා. රාජිත සේනාරත්න මහතා දන්නවා අද සිංගප්පූරුවේ සිටින හෘද රෝග විශේෂඥ වෛද්‍ය සිවදාසන්. අපේ රෝගීන් බොහෝ අය යනවා එතුමා ගාවට. එතුමා හොඳට සිංහලෙන් කතා කරනවා. ඔහු සිංගප්පූරුවට ආවේ 83 කලබල කාලේ .අපේ අයට ගහලා හිරිහැර කළ නිසා. දෙහිවල ඉඳලා තමයි ඒ කාලයේ මහ රෝහලේ වැඩට ආවේ. අද සිංගප්පූරුවේ රෝහලේ සිටින ප්‍රධාන හෘද රෝග විශේෂඥයෙක්. එත කොට ඒ අපේ සම්පත්. එදා එල්.ටී.ටී.ඊ එක ශක්තිමත් වුණේ හැම දමිළ ජාතිකයෙක්ම කොටියෙක් කියලා හිතාගෙන ජනතාව කොන් කරපු නිසා. අද මේ ප්‍රශ්නයේ දී ආරක්ෂක අංශ බොහෝම පැහැදිලිවම හොයා ගෙන තිබෙනවා මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස ඉන්නේ 130-140 ක් පමණ කියලා. එතකොට අද එතැනින් කොටසක් මියගිහින් තිබෙනවා. ප්‍රබල හැම කෙනෙක්ම අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නායකයෝ අත්අඩංගුවේ සිටිනවා. මේ ඔක්කොම බලලා තමයි බුද්ධි අංශ කිව්වේ දැන් ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න කියලා. අපි කාර්යාල වැහුවොත්, පාසල් වැහුවොත්, මේක ත්‍රස්තයින්ගේ රට බවට පත්වෙනවා. අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕනෑ.

වසර තිහක යුද්ධය කාලයේ මීට වඩා ප්‍රබල අවස්ථා තිබුණා. මේක කොහෙත්ම අඩු තක්සේරු කරනවා නොවේ. මේක ම්ලේච්ඡ ප්‍රහාරයක්. මේ සිදුවීම් සමඟ සමාජය නොසන්සුන් කරන්න කටයුතු කරන්නේ දේශපාලන සංවිධාන නොවේ. නමුත් මේ නිකම් ඉන්න අය දුරකථනය ගන්නවා, ලැප්ටොප් එක ගන්නවා, මොකක් හරි එකක් හදලා මේක බෙදා හරිනවා. එතකොට විශාල විනාශයක් වෙනවා. දැන් මේ හෙට ගහනවා කියලා යන කතන්දරය කොයිතරම් ප්‍රබලයි ද කියනවා නම් ඒක පාර්ලිමේන්තුවේත් කතා වුණා. මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා බුද්ධි අංශ ලබා දී ඇති තොරතුරුත් සමඟ. මේකට මොකක්ද මුල. ප්‍රංශයේ ලංකා පැරිස් තානාපති කාර්යාලයට සිංහලෙන් ලිපියක් එවලා ගහනවා කියලා. ප්‍රංශයේ තානාපති මේක පොටෝ කොපියක් මට එව්වා. එකක් විදේශ කටයුතු එකට ලබාදීලා. මට එවපු එක මම බුද්ධි අංශයට දුන්නා. මම හිතන්නේ ඒක කවුරු හරි නොසන්සුන් කරන්න කරපු වැඩක්. විශේෂයෙන් සිංහලෙන් ලියලා තිබුණ නිසා. මම හිතන්නේ නැහැ ත්‍රස්තයෝ සිංහල භාෂවෙන් එවයි කියලා. කොහොම හරි මේ ලියුම සමාජ මාධ්‍යවලට ගියා. ඊට පස්සේ තමයි කතාකරන්න ගත්තේ 13 වැනිදා විශාල විනාශයක් සිදුවෙනවා කියලා.

ඒ, මැති ඇමැතිවරු කැඳවලා ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න පළාතේ තිබෙන ආරක්ෂක තත්ත්වය සහ අඩුපාඩු මොනවද කියලා. ඒ අයටත් වගකීම් ටිකක් බෙදලා දෙන්න. ඒවගේම නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිතුමාලා කැඳවන්න. කැඳවලා තමන්ගේ බල ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය ගැන පොලිසියේ ප්‍රධානීන්, යුද හමුදා ප්‍රධානීන් සමඟ කතාබහ කරන්න. දැන් වෙනත් අයුරකින් මේ සමාජය නොසන්සුන් කරන්න පටන් අරගෙන, අවුරුදු 2 ට කලින් මහනුවර සිද්ධිය වගේ. මේ බව අපිට පේනවා සමාජ වෙබ් අඩවි දිහා බලපුවම. අද උදේ බුද්ධි අංශ මට වාර්තා කළා රටේ සිංහල, මුස්ලිම් ගැටුමක් හදන්න ලොකු උත්සාහයක් ගන්නවා කියලා. තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කයේ අලුත්ගම ප්‍රදේශයේ කාලයකට පෙර සිදු වූ සිද්ධිය පිළිබඳ අත්දැකීම් තිබෙනවා. දවස් 4ට කලින් මීගමුවේ වෙච්ච සිද්ධිය . අපිට මීගමුවේ පොලිස් ඇදිරි නීතියත් දාන්න සිදු වුණා . නමුත් වුණේ මොකක්ද. දහවල් ඉඳලා, සිංහල දෙන්නෙක් කසිප්පු බීල, මුස්ලිම් ජනතාවට බැණ බැණ එහෙට මෙහෙට ගියා. හවස් වෙන කොට වැඩිවෙන්න මේ දෙන්නා කසිප්පු බීලා මුස්ලිම් මනුස්සයකුට ගැහුවා. ඒක අන්තිමට වාහනයක් දෙකක් පුච්චලා ලොකු ආරවුලක් බවට පත්වුණේ.

මේ ගැටුම්වලට මුල ප්‍රධාන වශයෙන්ම ගත්තම කසිප්පු බීම. කසිප්පු බීලා කාටහරි ගහනවා. අන්තිමට ඒක රට ගිනිගන්න ලොකු ගැටුමක් . ඉතින් මම පොලිසියටත් කියන්නේ බීල දඟලනවනම්, වහාම ගෙනල්ලා කූඩු කරන්න වෙරි හිඳෙනකන්. මැති ඇමැති, ආණ්ඩුකාරතුමාල, නගරාධිපතිතුමාලා, ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාලා, මහජන නියෝජිතයින් වශයෙන් සිංහල , දමිළ ,මුස්ලිම් ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල, ප්‍රධානින් සමඟ සාකච්ඡා කරල ඒ ගම්වල ගැටුම් ඇති නොවෙන ආකාරයට කටයුතු කරන්න. ප්‍රාදේශීය ලේකම්, දිසාපතිතුමාල, මැති ඇමතිතුමාලා වැඩසටහනක් හදල තියෙනවා දිස්ත්‍රික් මට්ටමෙන්. ඒක ඉතාමත් හොඳයි. මම අගේ කරනවා. ප්‍රාදේශීය මට්ටමෙන් තව මෙය ශක්තිමත් කරන්න. ආරක්ෂක හමුදා කෙරෙහි විශ්වාසය තියන්න. හමුදා ප්‍රධානීන්, පොලිසියෙන් දෙන උපදෙස් කෙරෙහි විශ්වාසය තියන්න. මේ පිළිබඳව යම් වගකීමක් ඇතිව තිබෙන තත්ත්වය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.

මේ ත්‍රස්ත ව්‍යාපාරයත් විනාශ කරනවා. ඒ නිසා අපි අපේ රට රැක ගන්න මේ අනවශ්‍ය කතා, නොමඟ යැවීම්, බොරු ප්‍රචාර පිළිබඳව ඔබ ප්‍රාදේශීය නායකයින් විදියට,ආයතන ප්‍රධානීන් විදියට,රැවටෙන්න එපා. ඔබ මෙතෙක් ඉටුකර තිබෙන, වගකීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ස්තුතිවන්ත වෙනවා. නමුත් ඉදිරි කාල සීමාව තුළත් ස්ථිරවම රට සාමකාමී වන තෙක් වගකීමෙන් ක්‍රියා කරන්න.


නව අදහස දක්වන්න