ත්‍රස්ත ප්‍රහාරය හමුවේ නැඟී සිටීමට ඉන්දියාවේ උපරිම සහයෝගය දෙනවා | දිනමිණ


 

ත්‍රස්ත ප්‍රහාරය හමුවේ නැඟී සිටීමට ඉන්දියාවේ උපරිම සහයෝගය දෙනවා

ඉන්දික පොල්කොටුව

ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් පසු ඇති වු තත්ත්වයන් හමුවේ නැඟී සිටීම සඳහා රටක් ලෙස ඉන්දියාව උරෙන් උර ගැටී ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා පවසයි.

දෙරට අතර ඉතා දිර්ඝ මිත්‍රත්වයක් පවතින බවත් එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අසල්වැසියකුගේ යුතුකමක් බවත් ඒ මහතා පැවසීය.

මහකොමසාරිස්වරයා ඊයේ (17) මහනුවරට පැමිණි අවස්ථාවේ මේ බැව් කීය.

ඒ මහතා මහනුවරට පැමිණ දළදා සමිඳු වැඳපුදාගත් අතර එහිදී ශ්‍රී දළදා මාළිගවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑළ මහතා විසින් මහකොමසාරිස්වරයා පිලිගනු ලැබීය. අනතුරුව ඒ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැ දැකීය.

ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාව ඇතුළු රාජ්‍යයන් හට ත්‍රස්ත තර්ජනය එල්ල වී ඇති බවත් ඒ තර්ජන හමුවේ නැඟී සිටීම ශ්‍රී ලංකාව මේ මොහොතේ කළ යුතු ප්‍රධාන කාර්ය බවත් ඒ මහතා කීය.

මේ සඳහා ඉන්දියාව උපරිම සහාය ලබා දෙන බවද ඉන්දියාව හා ශ්‍රී ලංකාව සහෝදර රාජ්‍යයන් බවද හෙතෙම කීය.

පසුගියදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය ම්ලේච්ඡ ප්‍රහාරයක් බවත් එය පිළකුළෙන් හෙළා දකින බවත් ඒ මහතා පැවසීය.

මෙසේ මියගිය අහිංසක ජනතාව අතර ඉන්දියානුවන් එකොළහක් සිටින බවත් තවත් විදේශිකයන් විශාල පිරිසක් සිටි බවත් සන්දු මහතා පැවසීය.

ජිහාඩ් සංවිධානය හා එම ත්‍රස්තවාදය තුරන් කිරීමේදී ශ්‍රි ලංකාවට තර්ජනයක් පැමිණයහොත් ඉන්දියාව උරෙන් උර ගැටී ශක්තිය තබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් ධිරේන්ද්‍ර සිං මහතාද සහභාගි විය.

ඡායාරූප -රුවන් මීගම්මන 

නව අදහස දක්වන්න