සති දෙකකදී ත්‍රස්තවාදය මෙල්ල කිරීමට අපේ හමුදාවලට හැකිවුණා | දිනමිණ


 

සති දෙකකදී ත්‍රස්තවාදය මෙල්ල කිරීමට අපේ හමුදාවලට හැකිවුණා

ක්‍රිසන්ති විතාරණ

රට හමුවේ ඇති ගෝලීය ත්‍රස්තවාදයේ අභියෝගයට වත්මන් රජය සාර්ථකව මුහුණ දී තිබෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

සති දෙකකදී එම ත්‍රස්තවාදය මෙල්ල කිරීමත් කළමනාකරණය කිරීමටත් අපගේ හමුදාවන්ට හැකි වූ බවත් ඉදිරි දින කිහිපයේ එම ත්‍රස්තවාදය සුද්ද කර දැමීමට රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මෙසේ ප්‍රකාශ කළේ රන් මාවත් ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර මුද්දුව - දෙමුවාවත පාලම විවෘත කිරීම හා මල්වල හන්දියේදී මල්වල - ශ්‍රී පලාබද්දල මාර්ගයේ වැඩ ආරම්භ කිරීම සිදුවිය.

මෙහිදී තවදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

2015 අගමැතිතුමා මේ රට බාරගත්තේ ප්‍රශ්න වැලක් එක්ක. කෝටි ගාණක ණය කන්දක් තිබුණා. අපි ඒ සඳහා පසුබෑවේ නැහැ. අපි ඒ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දුන්නා. රටේ විවිධ ප්‍රදේශවල නියඟය, ගංවතුර ඇතුළු ස්වභාවික විපත් රාශියක් ඇති වුණා. ඒවාටත් සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම විවිධ දේශපාලන අර්බුද රැසකට පසුගිය කෙටි කාලයේ මුහුණදීමට සිදු වුණා. පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ හැකියාව ලැබුණා. රජයේ ශක්තිය මුළු ලෝකයටම පෙන්වීමට එදා අවස්ථාව ලැබුණා. බිඳ වැටී තිබුණු ආර්ථීකය දිනෙන් දිනම යථා තත්ත්වයට පත්කර ගැනීමට රජයක් ලෙස කටයුතු කළා.

අදත් අපට අලුත් අභියෝග තිබෙනවා. ඒ ගෝලීය ත්‍රස්තවාදයයි. එම ගෝලීය ත්‍රස්තවාදයට රජයක් ලෙස සාර්ථකව මුහුණ දී තිබෙනවා. සති දෙකක් තුළ එම ත්‍රස්තවාදය මෙල්ල කිරීම, කළමනාකරණය කිරීමට අපේ හමුදාවලට හැකි වුණා. ඉදිරි දින කිහිපය තුළ එම ත්‍රස්තවාදය සුද්ද කර දැමීමට රජය පියවර ගන්නවා. මේ රජයට ඒ සඳහා ශක්තිය තිබෙනවා. අගමැතිතුමා මේ සියලු අභියෝග සමඟ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා. සමහරු අහනවා මොකක්ද රජය කර තියෙන්නේ කියලා. ඔබලාගේ හදවතට තට්ටු කර බලන්න මේ රජය පසුගිය කාලේ සිදු කළ සේවය පිළිබඳව. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මහාමාර්ග අමාත්‍යාංශයට ලබාදී ඇති ඉහළ ප්‍රතිපාදන යොදා ගනිමින් ජනතාවට වඩාත් කඩිනම් සේවයක් ලබාදීමට කටයුතු කරනවා.

2015 නව රජය මෙරට නව වෙනස්කම් රැසක් සිදුකළා. මහාමාර්ග අමාත්‍යාංශයේ කාර්යයන් වඩාත් කාර්යක්ෂම කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒ වගේම සියලු දෙනාගේ මානුෂීක අංශය දෙස බලා කටයුතු කළා. පසුගිය රජය සමයේ මාර්ග පුළුල් කරන විට බලෙන් ජනතාව ඇදල දාලා, පැය 24න් ජනතාව පාරට ඇදල දාල මාර්ග පළල් කළා. එම ජනතාවය තඹ සතයක් වත් ගෙව්වේ නැහැ. ජනතාවගේ ඉඩම් බලෙන් පවරා ගත්තා. වන්දි ගෙව්වේ නැහැ. ඒක තමයි යථාර්ථය. නමුත් වත්මන් රජය එම වැඩපිළිවෙළ නතර කළා. මේ රජය හැමවිටම ජනතාවගේ අයිතිය සුරක්ෂිත කරනවා. අගමැති අපට උපදෙස් දුන්නේ කිසිවෙකුගේ ඉඩමක් බලෙන් ගන්න එපා කියලා. පසුගිය වසර 4 ඇතුළතදී වත්මන් ආණ්ඩුව විසින් රු.කෝටි 5500ක මුදලක් වන්දි වශයෙන් ජනතාවට ගෙවා තිබෙනවා. එම වන්දිවලින් රු.කෝටි 3500ක්ම ගෙවා තියෙන්නේ පසුගිය රජය බලෙන් පවරා ගත් ඉඩම් හිමියන්ගේ වන්දි ගෙවීමට. මේ රජය එම සියලු මුදල් ඉඩම් හිමි ජනතාවට ගෙව්වා. පසුගිය රජයේ පරණ පව්වලට සල්ලි හොයලා දෙන්නත් රනිල් වික්‍රමසිංහ මහතාට සිදු වුණා. අඩු තරමින් හම්බන්තොට සූරියවැව අඩි සීය මාර්ගය පුළුල් කිරීමේදී බලෙන් පවරාගත් ඉඩම්වලටත් වන්දි ගෙවන්න සිද්ධ වුණේ වත්මන් රජයටයි. එම වන්දිත් මීට මාස 3කට කලින් ගෙවීමට ක්‍රියා කළා. ප්‍රථමයෙන්ම අපට සොයා බලන්න සිදුව තිබුණේ පසුගිය රජයේ අසාධාරණකම් ගැනයි. ඉන්පසු මේ රටේ පවතින අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ක්‍රියාත්මක වුණා.

ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම මේ වන විට රු. ලක්ෂ 800 බැගින් ලබාදී තිබෙනවා. මේ මොහොත වන විට දිවයින පුරාම මාර්ග ඉදිකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. මේ ව්‍යාපෘතියට අමතරව දිවයිනේ ආගමික ස්ථානවලට ගමන් කරන ප්‍රවේශ මාර්ග සියල්ලම වැඩි දියුණු කිරීම සඳහා වෙනම ප්‍රතිපාදන වෙන්කර තිබෙනවායැයි පැවසීය.

අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග ඇතුළු මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න