වෙසක් පුන් පොහෝ දිනය අදයි | දිනමිණ


 

වෙසක් පුන් පොහෝ දිනය අදයි

වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය පරිවේණාධිපති ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඥාන ස්ථවිර

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ....
‘බුද්ධොහං බෝධයිස්සාමි මුත්තොහං මොචයේ පරේ
කිණ්ණෝහං කාරයිස්සාමි සංසාරොඝා මහබ්භයා

සැදැහැවත් පින්වතුනි,

අද ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2563 වන වෙසක් පුරපසළොස්වක් පොහෝ දිනයයි. සමස්ත ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවට අති ශ්‍රේෂ්ඨතම පරම පූජනීය දිනය වෙසක් පොහෝ දිනයයි. මෙදින ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇත. ඒ අතර අප භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝසත් උපත, සය අවුරුදු දුෂ්කරක්‍රියාවෙන් පසු බෝසතාණන් වහන්සේ සකළක්කෙලේෂයන් ප්‍රහීන කොට ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්වීම හා පන්සාළිස්වසක් බුදුකිස නිමවා පරිනිර්වාණයට පත්වීම යන මේ වැදගත් කාරණා තුන ඇතුළුව තවත් සුවිශේෂ සිද්ධි ගණනාවක් සිදු වී ඇත. එම සිදුවීම් අතර දීපංකර පාද මූලයේදී සුමේධ තාපසව උපන් අප බෝසතාණන් වහන්සේ බුදුබව ලැබීම සඳහා පළමු නියත විවරණ ලබාගැනීම, කාළුදායි තෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන පිය මහරජු දැකීමට විසි දහසක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩම කිරීම ශාක්‍යයන්ගේ මානය දුරුකිරීම සඳහා යමාමහ පෙළහර පෑම, බුදුරජාණන් වහන්සේ මණි අක්ඛිත නාරජුගේ ආරාධනාවෙන් බුද්ධත්වයෙන් අටවන වස කැලණියට වැඩම කිරීම හා එම ගමනේදී සමනළ ගිරි මුදුනේ සිරිපා සටහන තැබීමත් අනුරපුර ආදී ස්ථාන දහසයක් කරා වැඩමකර එම ස්ථානයන්හි සුළු මොහොතක් සමාධි සුවයෙන් වැඩ සිට එම ස්ථාන පූජනීය බවට පත්කිරීම, ධර්ම භාණ්ඩාගාරික හා අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම, විජය කුමරු ඇතුළු හත්සියක් පිරිස මෙරටට ගොඩ බැසීම සමඟ සිංහල ජාතියේ ආරම්භය සිදුවීම, දඹදිව ධර්මාශෝක මහරජුගේ අනුග්‍රහය ඇතිව ලක්දිව දෙවනපෑතිස් මහරජතෙම දෙවන වරටත් බොදු පිළිවෙතට රාජාභිෂේකය සිදු කිරීම, බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වූ රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බිම සකස් කිරීම, ශ්‍රී පාද වන්දනා සමයේ අවසන් දිනය වශයෙන් මෙම දින කටයුතු කිරීම ආදී වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇත්තේ මෙම වෙසක් පොහෝදින වීම ඓතිහාසික වශයෙන් මෙම දිනය වැදගත් වීමට හේතු වී ඇත.

පින්වතුනි,

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වීමත්, මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගැනීමත් ධර්ම ශ්‍රවණයත් ආදී කරුණු දුර්ලබ කරුණු වේ. මේ දුර්ලබ කාරණා සම්පූර්ණව ඇති අවස්ථාවක උපත ලබාගැනීමට හැකිවීම ජීවිතයේ ලොකුම භාග්‍යයකි. සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා අප බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් කල් මුළුල්ලෙහි සුමේධ තාපසව උපන්දා සිට දාන සීල නෙක්ඛම්ම ප්‍රඥා ආදී දස පෙරැම්දම් පාරමී උප පාරමී පරමත්ථ පාරමී වශයෙන් සමත්‍රින්සත් බුද්ධකාරක ධර්ම පුරමින් ඇස් ඉස් මස් ලේ අඹු දරුවන් ආදී පංච මහා පරිත්‍යාගයන් කොට සසරේ අප්‍රමාණ කාලයක් පිං දහම් රැස්කර ඒ පුණ්‍ය බලයෙන් ලබාගන්නා ලද පදවිය ලොව්තුරා බුද්ධරාජ්‍ය නම් වේ. ලෝකයේ මනුෂ්‍යයෙකුට ලැබිය හැකි උත්තරීතර පදවිය වන්නේ සම්මා සම්බුදු පදවියයි. මෙය පුණ්‍යමහිමයෙන්ම ලබාගත යුතු වේ. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සුවිශේෂීතාවය නම් තුන්ලොව සියලු ධර්මයන් සෑම ආකාරයෙන්ම අවබෝධ කරගැනීමයි එය සර්වඥතාවය නමින් හැඳින්වේ. දහමට අනුගතව ජීවත් වන්නෝ දහමින් ආරක්ෂාව ලබා මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සැපවත් කරගෙන කෙළවර සසර සියලු දුක් නසා නිවනටද පත්වෙති. එම තත්ත්වය ලබාගැනීමට අපි සැමද මෙම උතුම් වෙසක් පොහෝ දින අදිටන් කරගනිමු.

සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා.

සැමට සුබ වෙසක් මංගල්ලයක්ම වේවා.

නව අදහස දක්වන්න