රට වටා සම්බුදු තෙමඟුල සැමරේ | දිනමිණ

රට වටා සම්බුදු තෙමඟුල සැමරේ

රත්නසිරි පතිරණ, සමන්මලී ප්‍රියශාන්ති

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව දෙදහස් පන්සිය හැට තුන් වැනි සම්බුදු තෙමඟුල මහත් හරසරින් සමරන වෙසක් පුන් පොහෝ දිනය අද (18) යි. අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනයා ද සම්බුදු තෙමඟුල සැමරීමට පිළිවෙතින් පෙළ ගැසී සිටිති.

අද (18) උදෑසන සිට දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන, ශීල, භාවනා, බුද්ධ පූජා, ධර්මදේශනා වැනි ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මෙවර වෙසක් උත්සවය සමරනු ලැබේ.

පස්කු ඉරිදා (අප්‍රේල් 21) දිනයේ සිදු වූ අවාසනාවන්ත තත්ත්වය සහ ඉන් පසු රටේ උත්ගත වූ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් මෙවර වෙසක් සැමරුම ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සමරන ලෙස රජය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය.

සෑම නිවෙසකම බෞද්ධ කොඩියක් එසවීමටත් විහාරස්ථානවල ප්‍රසිද්ධ ස්ථානවල මාර්ග දෙපස වෙසක් සැරසිලිවලින් වර්ණවත් කරන ලෙසත් ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් තෙමඟුල සමරන ලෙසත් බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද විශේෂ ඉල්ලීමක් කළේය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, කතරගම, කිරිවෙහෙර, පොළොන්නරුව, ගල්විහාරය, කැලණිය රජමහා විහාරය, කොළඹ ගංගාරාමය, බෙල්ලන්විල රජමහා විහාරය, තිස්සමහාරාම රජ මහා විහාරය ඇතුළු වෙහෙර විහාරස්ථාන රැසක අද දවස පුරා විශේෂ ආගමික වැඩසටහන් පවත්වන අතර, දිවයින පුරා පිහිටි සෑම ආගමික ස්ථානයක්ම ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සිවිල් ආරක්ෂක බළකාය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය වෙසක් උත්සවය ද ඊයේ (17) සහ අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස හික්කඩුව, තෙල්වත්ත තොටගමුව රන්පත් රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ඇතුළු මහා සඟරුවනගේ සහභාගීත්වයෙන් මේ ජාතික වෙසක් උළෙලේ දී රන්පත් විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කිරීම ද ඊයේ (17) සිදු කෙරිණි.

පසුගිය දා සිදු වූ කනගාටුදායක සිදුවීම් හේතුවෙන් දිවයින පුරා තොරණ හා දන්සල් පැවැත්වීම බොහෝසේ අවම මට්ටමක පැවැතීම මෙවර වෙසක් උළෙලේ විශේෂ සිදුවීමකි.

පාස්කු ඉරු දින ප්‍රහා‍රයෙන් මිය ගිය සහෝදර ජනතාවට පින් අනුමෝදන් කරමින්, ප්‍රහාරයෙන් තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවායි, සම්බුදු තෙමඟුල සමරමින් මෙරට සුවහසක් බෞද්ධ ජනතාව අද දිනයේ දී ප්‍රාර්ථනා කර සිටිති.

නව අදහස දක්වන්න