ජාතීන් වශයෙන් බෙදී ත්‍රස්තවාදී අරමුණුවලට ඉඩ තබන්න එපා | දිනමිණ

ජාතීන් වශයෙන් බෙදී ත්‍රස්තවාදී අරමුණුවලට ඉඩ තබන්න එපා

රක්ෂණ ශ්‍රියන්ත
2019 රාජ්‍ය වෙසක් මහෝත්සවය අධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ ගාල්ල, හික්කඩුව, තොටගමුව පුරාණ රත්පත් රජමහා විහාරය කේන්ද්‍රකර ගිනිමින් පැවැත්විණි. තොටුගමුව පුරාණ රත්පත් රජමහා විහාරය පූජා නගරයක් බවට පත් කිරීමට අදාළ ඔප්පුව සහ සන්නස් පත්‍රය ජනාධිපතිවරයා අතින් විහාරාධිපති හිමිවරුන් තිදෙනා වෙත පිළිගැන්විණි. ඡායාරූපය : සුදත් සිල්වා

ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇති කර ගැනීමෙන් බව ජනාධිපතිවරයා පවසයි. රට කැඩීමේ ත්‍රස්ත අරමුණු ඉටු කර ගැනීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඊයේ (17) පස්වරුවේ ගාල්ල, හික්කඩුව, තොටගමුව පුරාණ රත්පත් රාජමහා විහාරස්ථානයේ පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවය අමතමිනි. මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ 21 වැනි දා ප්‍රහාරය අපේ රටේ ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තරයේ ප්‍රශ්නයක් බවයි.

එය අපේ රටේ ප්‍රශ්නයක් බවට පත් කර ගනිමින් කටයුතු කිරීමට ජනතාව පෙළඹුණහොත් ඒ තුළින් රටක් වශයෙන් මුහුණ දීමට සිදුවන අසීරුතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ තමාට කුමන ආකාරයේ චෝදනා එල්ල කළ ද 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙනුත්, එම ත්‍රස්ත ප්‍රහාරය හමුවේ නැඟී සිටිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහාත් ගත හැකි සෑම පියවරක්ම තමා ගත් බවයි.

සත්‍ය ගමන් කරන්නේ ඉතා සෙමෙන් වන අතර, අසත්‍ය ඉතා වේගයෙන් ගමන් කරන බව කියා සිටි ජනාධිපතිවරයා කුමන අභියෝග හමුවේ වුව ද ත්‍රස්තවාදය රටෙන් තුරන් කර දැමීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අවධාරණය කළේය.

සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය සහ සියලු සත්වයන්ට ආදරය, සෙනෙහස දැක්වීම පිළිබඳ බෞද්ධ දර්ශනය තුළින් මනා මඟපෙන්වීමක් සිදුකරන අතර, කිසිදු අධ්‍යාත්මික දර්ශනයක් තුළ මිනිසුන් මැරීමට උගන්වා නොමැති බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

මෙරට විසූ අසමසම කවීන්ද්‍රයාණන් වහන්සේ ලෙස සැලකෙන ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැඩ විසූ පුණ්‍ය භූමිය වන තොටුගමුව පුරාණ රත්පත් රජමහා විහාරය කේන්ද්‍ර කර ගෙන අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් රාජ්‍ය වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණී.

අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

තොටුගමුව පුරාණ රත්පත් රජමහා විහාරය පූජා නගරයක් බවට පත් කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.

අනතුරුව පැවැති උත්සව සභාවේ දී ඊට අදාළ ඔප්පුව සහ සන්නස් පත්‍රය ජනාධිපතිවරයා අතින් විහාරාධිපති හිමිවරුන් තිදෙනා වෙත පිළිගැන්විණි.

විහාරස්ථාන සහ දහම් පාසල් සඳහා මූල්‍යාධාර ලබාදීම, සාමණේර උපසම්පදා සහතිකපත් ප්‍රාදේශීය කාර්යාල මගින් නිදහස් කිරීම සංකේතවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, ඇමැතිවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, අර්ජුන රණතුංග, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන්, හිටපු ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාල පරිශ්‍රයේ ඉදි කෙරුණු අභිනව ධාතු මන්දිරය ඊයේ (17) පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

අභිනව ධාතු මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පළමු පුෂ්පෝපහාරය සිදු කළේය.

අනතුරුව අභිනව ධාතු මන්දිරයේ සර්වඥ ධාතුන් වහන්සේ සහිත කරඬුව තැන්පත් කළ ජනාධිපතිවරයා එම ධාතුන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සනිටුහන් කරමින් දේවාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඇමැතිවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා, වජිර අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, හිටපු ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ද සීනිගම, දෙවොල් මහා දේවාලයේ භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න