සරසවි පනතට අනුව උපාධි පිරිනමන ආයතන සැමට විවෘත විය යුතුයි | දිනමිණ

සරසවි පනතට අනුව උපාධි පිරිනමන ආයතන සැමට විවෘත විය යුතුයි

මද්‍රසා ඇතුලු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳ තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලු දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ ඊයේ(17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මද්‍රසා ඇතුලු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා, එතුමාගේ අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ අපි ඊයේ(17) සාකච්ඡා කළා. විශේෂයෙන් මද්‍රසා ඇතුලු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ එම කෙටුම්පතට එකතු විය යුතු සංශෝධන පිළිබඳ ද සාකච්ඡා කළා.

තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවත්, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡා කොට සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බව මම මෙහිදී අවධාරණය කළා.

එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන සියලු දෙනාටම විවෘත විය යුතුයි. සියලු දෙනාටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව සෑම ආගමකම, සෑම ජාතියකටම විවෘත කර නිසි පාලනයක් ඇතිව පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයක් ඇති කරනවා.

මෙම සාකච්ඡාවට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ නීති උපදේශක බිම්බා තිලකරත්න මහත්මිය, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරුන් වන මෙරින් පුල්ලේ, අසාත් නවාවි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න