‘සම්බුදු වන්දනා’ හෙට අරලියගහ මැදුරේ දී | දිනමිණ

‘සම්බුදු වන්දනා’ හෙට අරලියගහ මැදුරේ දී

ක්‍රිසන්ති විතාරණ

සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසක් උත්සවය වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ‘සම්බුදු වන්දනා’ වෙසක් උත්සවය මෙවරත් හෙට (19) පස්වරු 5.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ. අරලියගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධීන් වහන්සේ අබියස දී ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා සිය නමකගේ ප්‍රධානත්වයෙන් මෙහි දී බෝධි පූජා පින්කමක් පවත්වා රටට, ජාතියට සෙත් ප්‍රාර්ථනා කිරීමට නියමිතය.

තිස් අවුරුදු යුද්ධය අවසන් කර රටට සාමය උදා කිරීමේ දස වැනි සංවත්සරය සැමරීමත් රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහෝදර ජනතාවට පින් පැමිණවීම සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සෙත් පැතීමත් සම්බුදු වන්දනා පින්කමේ දී සිදු කෙරේ. මේ අවස්ථාව සඳහා සහභාගි වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැදැහැවතුන්ට ආරාධනා කර සිටී. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ දී ඊයේ (17) මාධ්‍ය හමුවක් පැවැත්විණි. එහි දී අදහස් දැක් වූ එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ සම්බුදු තෙමඟුල සිහි කරමින් දිවයිනේ සෑම විහාරස්ථානයකම සුපුරුදු පරිදි දාන ශීල භාවනා වැඩසටහන් ඇතුළු ආගමික වතාවත් මෙවරත් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවයි. මේ අවස්ථාව සඳහා සහභාගි වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැදැහැවතුන්ට ආරාධනා කර සිටින බව ද සුදුවතින් සැරසී එදිනට පැමිණ මේ මහා පින්කමට සහභාගි වන ලෙස ද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

මෙහි දී අදහස් දැක් වූ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා,

‘අරලියගහ මන්දිරය සෑම වසරකම සාම්ප්‍රදායික ලෙස වෙසක් උත්සවය පවත්වනවා. කෙසේ වුවත් පසුගිය දා අපේ රටේ ඇති වූ අනපේක්ෂිත ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය නිසා අපේ සමාජය විශාල කම්පනයකට ලක් වී තිබෙනවා. මේ අවස්ථාවේ දී අගමැතිවරයා ඇතුළු රජය මේ අධර්මය ධර්මයෙන් පැරදවිය යුතුය කියන මතයේ සිටිනවා.

අසත්පුරුෂයා සත්පුර්ෂභාවයෙන් පැරදවිය යුතුයි. බෞද්ධ සම්ප්‍රදායේ පිහිටා කටයුතු කළ යුතුයි.

මහානායක ස්වාමීන් වහන්සේලා වගේම කාදිනල්තුමා ඇතුළු අනෙකුත් පූජකතුමන්ලාගේ උපදෙස් අනුව සාමකාමී ලෙස මේ තත්ත්වයට මුහුණ දීමට හැකියාව ලැබුණා. මේ අනතුර සිදු වූ දින හවස වන විට මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඊට සම්බන්ධ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ වගේම මේ ත්‍රස්ත තර්ජනය මර්දනය කිරීමට හැකි වුණා. මේ හේතුවෙන් මහජනයාගේ සිත් තුළ ඇති වී තිබෙන බිය සැක නිසා වෙසක් උත්සවය සැමරීමට හැකිවේද කියන සැකය මහජනතාව තුළ ඇති වී තිබෙනවා. මෙහි දී අගමැතිවරයා සඳහන් කළේ මහනායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර, උන්වහන්සේලාගේ උපදෙස් පරිදි සෑම විහාරස්ථානයකම අපි ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පවත්වමින් මහඟු වෙසක් සම්ප්‍රදාය රැගෙන යා යුතු බවයි. කිසිදු තර්ජනයක් හමුවේ අපි අපේ උතුම් ආගමික සම්ප්‍රදාය බිඳ වැටෙන්නට දෙන්නේ නැති බවත් ඒ සඳහා උපරිම ආරක්ෂාව සපයන බවත් අගමැතිවරයා පැවැසුවා.

ඒ අනුව අගමැතිවරයා රාජ්‍ය වෙසක් උත්සවය ඇතුළු අනෙක් වෙසක් වැඩසටහන් සඳහා සහභාගි වන අතර, එතුමාගේ නිල නිවෙස පරිශ්‍රයේ සාම්ප්‍රදායිකව කරගෙන ආ වැඩසටහන් ඒ ආකාරයෙන්ම කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පැවැත්වෙන මේ පින්කම කරුණු තුනක් මුල්කරගෙන පැවැත්වෙනවා. සම්බුදු තෙමඟුල සිහි කිරීම මූලික කර ගනිමින්, යුද්ධය අවසන් වී සාමය උදා වී වසර 10ක් ගතවෙද්දී ඒ වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කර ඔවුන්ට පින් අනුමෝදන් කිරීම, පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ අයට පින් පැමිණවීමත්, තුවාල ලැබූවන් ඇතුළු රටට ජාතියට සෙත් පැතීමත් මෙහි අරමුණයි. මේ සඳහා ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා සහභාගි වෙනවා. සියලුම ජනතාවට ඊට සහභාගි වන ලෙස විවෘත ආරාධනාවක් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මේ කමිටුවට ප්‍රකාශ කළා. උත්සවය නිල වශයෙන් පස්වරු 5.30ට ආරම්භවීමට නියමිතයි. නමුත් ආරක්ෂක කටයුතුවලට පහසුවක් වශයෙන් පස්වරු 4.00ට පමණ වන විට පැමිණෙන්න කියලා ඉල්ලා සිටිනවා. මෙමගින් අප සම්බුදු තෙමඟුල සමරනවා පමණක් නෙවෙයි, රට නැවත යථා තත්ත්වයට පත් කර ගෙන ඉදිරියට යෑමට සූදානම් කියන විශ්වාසය ජනතාවට සපයනවා.

මේ සඳහා රජයේ මුදල් වියදම් කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළා. සැදැහැවතුන්ගේ ආධාර උපකාර මත ඉතා විනිවිද භාවයකින් යුතුව ඒ කටයුතු සිදු වෙනු ඇති.

පෘතුගීසින්ගේ ආක්‍රමණ හමුවේ පවා රැක ගත් අපගේ සම්ප්‍රදාය මෙවන් ම්ලේච්ඡ ප්‍රහාරයක් හමුවේ නැවැත්විය යුතු නොවන බවත් අවධාරණය කරනවා’ යැයි පැවැසීය.

මේ මාධ්‍ය හමුව සඳහා සුජිත් අක්කරවත්ත මහතා ද සහභාගි විය.

නව අදහස දක්වන්න