වෙසක් පොහොයට විශේෂ ආරක්ෂාවක් | දිනමිණ

වෙසක් පොහොයට විශේෂ ආරක්ෂාවක්

විජයානි එදිරිසිංහ

වෙසක් පෝය දින අද සහ හෙට අනිද්දාත් බැතිමතුන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු ආරක්ෂක අංශ මගින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබේ. ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගනිමින් සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පසුගිය සති කිහිපයක සිට ක්‍රියාත්මක වූ ආරක්ෂක වැඩපිළිවෙළට අමතරව උපක්‍රමිකව රට පුරා ඇති වෙහෙර විහාරස්ථාන සහ බැතිමතුන් ගැවසෙන සියලුම පූජනීය ස්ථානවල ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

මෙහි දී නිල ඇඳුම්වලින් සැරසුන ආරක්ෂක නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුම්වලින් සැරසුන ආරක්ෂක සාමාජිකයන් බුද්ධි අංශ නිලධාරීන් සහ ඔත්තු සේවාවන් ද මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නොකඩවා ආරක්ෂක කටයුතුවල යෙදී සිටියි. මීට අමතරව සිවිල් සංවිධාන සහ වෙනත් බෞද්ධ සමිති සමාගම් සහ ආයතනවලින් ද ස්වේච්ඡාවෙන්ම ආරක්ෂක කටයුතුවලට සහායවීමට ඉදිරිපත්වී සිටියි.

මහජනතාව වැඩියෙන් ගැවසෙන පූජනීය ස්ථානවලට ඇතුළුවීමේ දී මල් පහන් ආදී පූජනීය ද්‍රව්‍යවලට අමතරව ගමන් මලු, බර පසුම්බි ආදිය ගෙන යෑමෙන් වළකින ලෙස ආරක්ෂක අංශ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අතර සැක කටයුතු යමක් හෝ පුද්ගලයන් වෙතොත් වහාම ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට දැනුම් දෙන ලෙසත් ආරක්ෂක වැඩවලට සහාය දෙන ලෙසත් මහජනතාවට දැනුම් දී සිටියි.

බීමත්ව රිය පදවන පුද්ගලයන් පමණක් නොව බීමත්ව පූජනිය ස්ථානවල ගැවසෙන පුද්ගලයන් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සිදුවෙයි. මේ දින කිහිපය තුළ වන්දනා බස් රථ, කාර්, වෑන්, ත්‍රිරෝද ආදියේ වන්දනා කිරීමට සහ වන්දනා ගමන් සඳහා බැතිමතුන් ද මහජනතාව ද විවිධ ගමන් බිමන් යන බැවින් මාර්ග අනතුරු සිදුවීම බහුලව සිදුවන බැවින් මාර්ග නීති රීති අනුගමනය කිරීමත් බීමත්ව රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද වැඩි පිරිසක් සිටින බස් රථ ආදියේ ගමන් කිරීමේ දී සැක සහිත පාර්සල් පුද්ගලයන් සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කරන ලෙසත් වැව් ගංගා ආදියට බැසීමේදී අනතුරු සිදුවීම් නිරතුරුවම වන බැවින් එවැනි අනතුරුදායක ස්ථානවල ගැවසීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් ආදිය ගැන අවධානය යොමු කරන ලෙසත් මහජනතාවට දැනුම් දෙයි.

මේ අතර රථ වාහන පොලිසියේ පන්දහසක පමණ පිරිසක් රාජකාරියේ යොදවා ඇති බව ද සඳහන්.

මීට අමතරව මහජනයා වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල කඩිනමින් වැද පුදා ගැනීම් සිදු කර එම ස්ථානවල නිකරුනේ ගැවසීම් නොකර කඩිනමින් එම ස්ථානවලින් ඉවත්වීමට කල්පනාකාරී වන ලෙස ද බැතිමතුන්ට ආරක්ෂක අංශ දැනුම දෙයි.


නව අදහස දක්වන්න