කිලිනොච්චි ජනතාව - යුද හමුදාව අතර සහජීවනය වර්ධනය කෙරෙන විශේෂ වෙසක් කලාපයක් | දිනමිණ


 

කිලිනොච්චි ජනතාව - යුද හමුදාව අතර සහජීවනය වර්ධනය කෙරෙන විශේෂ වෙසක් කලාපයක්

රත්නසිරි පතිරණ

කිලිනොච්චි ජනතාව හා යුද හමුදාව අතර පවතින සහජීවනය හා සහෝදරත්වය තවදුරටත් සමීප කර ගැනීමට මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ වෙසක් ප්‍රදර්ශන කලාපයක් පවත්වන බව කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජී.වී රවිප්‍රිය මහතා සඳහන් කළේය.

රටේ මේ වනවිට පවතින දැඩි ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර වෙසක් උළෙල පැවැත්වීමටත් ජනතාවගේ ආරක්ෂාවට මුල්තැන දෙමින් කිලිනොච්චිය විශ්ව මඩු මහජන ක්‍රීඩාංගණයේ දී මේ 19 සහ 20 දිනවල තෙමඟුල සමරන බවද ඒ මහතා පැවසීය.

තොරණ ප්‍රදර්ශනය නොකර පහන් කූඩු, බැති ගී සහ දන්සල් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්පැවැත්වීමට අප තීරණය කළා. විශේෂයෙන්ම කිලිනොච්චිය දමිළ ජාතිකයන් නිර්මාණය කළ පහන් කූඩු මෙන්ම යුද හමුදාවේ රණවිරුවන් නිර්මාණය කළ පහන් කූඩු රැසක් මෙහිදී ප්‍රදර්ශනය කරන බවද මේජර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

කිලිනොච්චිය ජනතාව වෙසක් උත්සවය සැමරීම සඳහා විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ වගේම හින්දු භක්තිකයන්ගේ ආගමික උත්සවවලටත් යුද හමුදාව හැම සහයෝගයක්ම ලබා දෙනවා. මේ හරහා යුද හමුදාව හා මෙහි සාමාන්‍ය ජනතාව අතර හොඳ සුහඳත්වයක් ගොඩනැඟීම තමන් ඉතා ඉහළින් අගය කරන බවද රවිප්‍රිය මහතා සදහන් කළේය.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම වෙසක් සැමරුම් උත්සවය පවත්වන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

නව අදහස දක්වන්න