බහලුම් ප්‍රවාහන ගැල් 10ක් දුම්රියට | දිනමිණ

බහලුම් ප්‍රවාහන ගැල් 10ක් දුම්රියට

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ පෙරළියක් ඇතිකරමින් වසර තිහකට පසු බහලුම් ප්‍රවාහන ගැල් දහයක් මෙරටට ගෙන්වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

එසේ මෙරටට ආනයනය කළ බහලුම් කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තයෙහි මේ වනවිට ගොඩබා ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මෙතෙක් බහලුම් ප්‍රවාහනය සඳහා තිබුණේ ගැල් සංඛ්‍යාව 25කි. එම ඇණිය වැඩිකර ගැනීමට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බහලුම් ප්‍රවාහන ගැල් 20ක් මෙරටට ආනයනය කිරීමට අපේක්ෂා කෙරේ.

එහි පළමු අදියර යටතේ බහලුම් ප්‍රවාහන ගැල් දහයක් ඉකුත් දා මෙරටට ගෙන්විනි. අඩි 40 බහළුම් ගැලක වටිනාකම ඩොලර් 84, 200කි. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 15ක් වෙයි. බහලුම් ප්‍රවාහන දුම්රිය ගැල් ලංකාවට ගෙන ආවේ MIIKE PANAMA නෞකාවෙනි.

ඉන්ධන ප්‍රවාහන ගැල් 5ක් ද ආනනයන කළේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේය. ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට අපේක්ෂිත මුළු ඉන්ධන ප්‍රවාහන ගැල් සංඛ්‍යාව 30කි. එහි එක් ඉන්ධන ප්‍රවාහන ගැලක වටිනාකම ඩොලර් 85500කි. ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 15.2ක් වේ. ඉන්ධන ලීටර් 45000ක් (ගැලුම් 10000ක්) එක් ගැලකින් ප්‍රවාහනය කළ හැකිය. මීට පෙර එවැනි ඉන්ධන ගැල් ආනනයක කර ඇත්තේ 2008 වසරේ දී පාකිස්තානයෙනි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමැති අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසීය. ඉංග්‍රීසි පාලකයන් මෙරට වගා කළ ඔවුන්ගේ වැවිලි භෝග කොළඹ නැව් තොට වෙතගෙන ඒම සඳහා දුම්රිය ගමනා ගමනය අරම්භ කළ ද පසුකාලීනව විශේෂ අවධානයක් යොමු වූයේ මගී ප්‍රවාහනය සඳහායි. මගී ප්‍රවාහනය අද වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්ය භාරය වී තිබේ. කෙසේ නමුත් මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ සහ ඉන්ධන ප්‍රවාහනය කෙරෙහි ද මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඉදරි මාස කිහිපයේ දී දුම්රිය දෙපාර්තුමේන්තුව එහි සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරනවා.

දුම්රිය කියන්නේ ලාභ ලබන ව්‍යාපාරයක් නෙමෙයි. එය මහ‍ජන සේවාවක්. නමුත් රටට බරක් නොවී දුම්රිය සේවාව පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා දුම්රිය සේවාවට ලැබෙන ආදයම නිසි ලෙස එකතු කිරීමත් ආදායම් මාර්ගවල වර්ධනයකුත් කළ යුතු වෙනවා. ඒ අනුව දියත් කරන සැලැස්මේ එක් පියවරක් ලෙසට දුම්රිය ඇණිය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා.

මේ වන විට ඉන්ධන අතුළු භාණ්ඩ ප්‍රවාහනයෙන් වාර්ෂිකව දුම්රිය දෙපාර්තමේන්තුව උපයන අදායමේ ප්‍රතිශතය 2% කි. ඉන්ධන දහනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව උපයන ආදායම දැනට 22%කි. කටුනායක ගුවන්තොටුපළට ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය අතුළුව අනෙකුත් ප්‍රදේශවලට කරන ඉන්ධන ප්‍රවාහනය එයට ඇතුළත්.


නව අදහස දක්වන්න