එස්ටෝනියාවට පත් වූ තානාපති ගනේගමආරච්චි අක්තපතු බාර දෙයි | දිනමිණ

එස්ටෝනියාවට පත් වූ තානාපති ගනේගමආරච්චි අක්තපතු බාර දෙයි

මහින්ද අලුත්ගෙදර

එස්ටෝනියා ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කළ සුදන්ත ගනේගමආරච්චි මහතා එරට ජනාධිපතිනී කර්ස්ටි කාල්ජුලේඩ් මහත්මිය හමුවේ අක්තපත්‍ර ප්‍රදානය කර තිබේ.

ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද කටයුතු කරන සුදන්ත ගනේගමආරච්චි මහතා ඊට අමතරව එස්ටෝනියා ජනරජයේ ද ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අක්ත පත්‍ර බාරදීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තානාපතිවරයා සහ එස්ටෝනියා ජනරජයේ ජනාධිපතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, දෙරට අතර පවතින ද්වීපාර්ශවික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇති හැකියාව සහ ඒ වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මෙන්ම ඊ රාජ්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පවතින අවස්ථාවන් සහ එහිදී ක්‍රියාකළ හැකි අංශයන් සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවකට පැමිණ තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ එස්ටෝනියා ජනරජය එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

මෙහිදී එස්ටෝනියා ජනරජ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද සාකච්ඡා කර තිබෙන අතර දෙරට අතර සහයෝඟීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා කරුණු දක්වා තිබෙන අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම, දේශපාලන උපදේශනය, ඉහළ පෙළේ සංචාරයන් හුවමාරු කරගැනීම ආදිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.

මේ අතර එස්ටෝනියා ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සුදන්ත ගනේගමආරච්චි මහතා එරට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිලධාරීන් ද හමුවී සාකච්ඡා කර තිබෙන අතර දෙරටේ ජනතාව අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර තිබේ.

එස්ටෝනියා ජනරජයේ ශ්‍රී ලංකා කොන්සල් වැලෝ පාල්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇමැති හර්ෂ විතානාරච්චි මහත්වරු ද මේ අවස්ථාවට එක්ව ඇත.

 

නව අදහස දක්වන්න