රණවිරු ‘දසවර්ෂාභිෂේක’ උළෙල අද බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී | දිනමිණ

රණවිරු ‘දසවර්ෂාභිෂේක’ උළෙල අද බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී

ත්‍රස්තවාදය වු කලි මෙරටට අලුත් දෙයක් නොවේ. එහෙත් එවැනි ත්‍රස්තවාදයක් යම් රටකින් සම්පුර්ණයෙන් තුරන් කරන ලද රටක් වේ නම් ඒ කිර්තිමත් අභිමානය උරුම කර ගත්තේද ශ්‍රී ලංකාවයි.

එම කිර්තිමත් ගෞරවය හිමි කර ගත් මෙරට ආරක්ෂක හමුදාවන් විසින් දශක තුනකට අධික කාලයක් මේ රටේ තිබු ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය බව කියන කොටි ත්‍රස්තවාදය සහමුලින්ම මෙරටින් තුරන් කර අදට (18 ) වසර දහයක් සපිරෙයි. එම අභිමානවත් දිනය සිහිපත් කරමින් අපේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කැපවු අපේ අභිමානවත් රණවිරුවන් සිහිපත් කිරීම හෙට (19) සිදුවෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී මේ අභිමානවත් උත්සවය පැවැත්වෙන්නේ රජයේ මැති ඇමැතිවරු , තානාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක ප්‍රධානීන්, පොලිස්පතිවරයා සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සෙසු ආරක්ෂක නිලධාරින්, රණවිරුවන් , මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරු ඥාතීන් ඇතුළු හයදහසකට වැඩි පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙති.

යුද හමුදාව සහ සෙසු ආරක්ෂක හමුදාවද ජාතික රණවිරු අධිකාරියද මේ රණවිරු සැමරුම සංවිධාන කර ඇත.

මීට වසර දහයකට පෙර මේ රටේ ජනතාව බියෙන් සැකයෙන් යුතුව ජිවිතයේ කිසිදු දෙයක් ස්ථිරවම කර ගැනීමට දෙගිඩියාවෙන් යුතුව කටයුතු කරද්දි 2007 මාවිල්ආරු සොරොව්ව වසා දමා එය අත් පත් කර ගෙන කොටි ත්‍රස්තවාදින් විසින් ගොවියන් දහස් ගණනක් අනාථ කරමින් කරගෙන යාමට උත්සාහ කළ කොටි අරමුණ එතැනම විනාශ කරමින් ආරක්ෂක අංශ එකම අධිෂ්ඨානයෙන් යුතුව කොටි මෙරටින් පළවා හැරීම පිණිස නැඟෙනහිරින් ආරම්භ කළ අවසන් මානුෂීය මෙහෙයුම නොනවත්වාම උතුරු ප්‍රදේශය දක්වා පතුරුවා හරිමින් එකිනෙකා දැඩි අධිෂ්ඨානයකින් යුක්තව කොටි බළමුළු සිඳ බිඳ දමමින් නොනවත්වාම පැති කිහිපයක් ඔස්සේ ආරම්භ කරන ලද අවසන් මෙහෙයුම අවසන් කොටි ත්‍රස්තවාදියාද අැතුළුව සියලු කොටි ශක්තිය බිඳ දමා ජයග්‍රහණය කරනු ලැබුවේ මීට වසර දහයකට පෙර අද වැනි දිනකය.එම දිනය අභිමානයෙන් සිහිපත් කිරීම අප රටේ ජනතාව රණවිරුවන් වෙනුවෙන් දක්වන උතුම්ම උපහාරයයි.

මේ දශකයක කාලසීමාව තුළ ශ්‍රි ලංකා යුද හමුදාව ජාතික සංහිඳියාව සහ සාමය සඳහා වු රාජ්‍ය යාන්ත්‍රණයට අද්විතිය වු මෙහෙවරක් ඉටු කර ඇත. මෙවන් වු වාතාවරණයක් තුළ අභිමානවත් විජයග්‍රාහි යුද හමුදාවක ගෞරවනීය සාමාජිකයන් ලෙස උදාකර ගත්තාවු සාම මාවතේ ගමන් කළ අප තවදුරටත් එකී භාරධුර කර්තව්‍යයෙහි නිරත වෙමින් සාමයේ “දසවර්ෂාභිෂේක “ සැමරුම ඉතා කාලෝචිත වුත් අර්ථාන්විත වුත් ආකාරයෙන් සැමරීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

මේ රණවිරු සැමරුමට සමගාමීව 2019 මැයි මස 19 වැනි දින සිට 2019 මැයි 22 වැනි දින දක්වා විවිධ ක්‍රියාකාරකම් සහ සැමරුම් වැඩසටහන් ශ්‍රි ලංකා යුද හමුදාව විසින්ද සංවිධාන කර ඇත.

එසේම සාමයේ “ දසවර්ෂාභිෂේක ‘ සැමරුම වෙනුවෙන් සාමයේ පහන් දැල්වීමද මෙවර රණවිරු සැමරුම වෙනුවෙන් සංවිධාන කර ඇති තවත් සුවිශේෂී අංගයක් වෙයි. මෙහිදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ ජිවිත පුජා කළ විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීම වස් හෙට(19) පස්වරු 7ට දිප ව්‍යාප්ත ආගමික ස්ථානයන්හි රජයේ සහ පෞද්ගලික ආයතනවල , සියලු නිවෙස්වල, ත්‍රිවිධ හමුදා කඳවුරු පොලිස් ස්ථාන තුළ ‘සාමයේ පහනක් ‘ දල්වා ඔවුන් අනුස්මරණය කිරීමටද සැළසුම් කර ඇත.

එමෙන්ම සාමයේ “දසවර්ෂාභිෂේක ‘‘ සැමරුමෙහි තවත් සුවිශේෂි අංගයක් ලෙස යුද ගිනි නිවා දැමු වෙල්ලි මුල්ලි වයික්කාල් රණබිම මුර්තිමත් කරමින් විශේෂ සැමරුම් කාසියක්ද නිකුත් කිරීමට කටයුතු කර ඇත.

මෙවර රණවිරු සැමරුමේ තවත් විශේෂිත වු අංගයක් වන්නේ රණවිරු මතකය වෙනුවෙන් වු මුල්දින කවරය සහ සමරු මුද්දරය එළිදැක්වීමයි. මේ සිහිවටන සංකේතයන්ද සාමයේ ‘දසවර්ෂාභිෂේක‘ සැමරුම සනිටුහන් කිරීම සඳහා වෙල්ලි මුල්ලි වයික්කාල් ස්මාරකය පිළිඹිබු වන පරිදි සකසා ඇති අතර මේ මස 22 වැනි දිනදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි නිකුත් කිරීමට සැළසුම් කර ඇත.

ශ්‍රි ලංකා යුද හමුදාවේ “පරම විර විභුෂණ ‘පදක්කම්වලින් පුදනු ලැබු රණවිරුවන් ඉතිහාසයට එක්කර ජාතික විරවරයන් බවට පත් කරමින් ඔවුන්ට නිසි ගෞරව දැක්වීම වස් එම පදක්කම් ලාභින්ගේ රණ වික්‍රමයන් සහ ජිවිත කතා ඇතුළත් “ උත්තමාචාර “ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයද ජනාධිපතිවරයා අතින් සහ විශේෂ ප්‍රභුවරුන්ගේ ප්‍රධානත්වයෙන් 22 දින සවස 3.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි සිදු වෙනු ඇත.මෙහිදී මෑත යුගයේ ජාතික විරවරයන් වු “පරම විර විභුෂණ‘‘පිදුම් ලත් පදක්කම් ලාභින් 29 දෙනකුට ගෞරව සම්මාන දැක්වීම හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ට ජනාධිපතිවරයා අතින් ‘‘ උත්තමාචාර “ග්‍රන්ථය පිළිගැන්වීම සිදු කිරීමද මෙදින සිදු කිරීමට නියමිතව ඇත.

ඒ හා සමානව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් “ විශිෂ්ට සේවා විභුෂණ ‘‘ පදක්කම් ප්‍රදානෝත්සවයක්ද මෙවර සාමයේ දසවර්ෂාභිෂේක ‘ සැමරුම් උළෙල වෙනුවෙන් පෙළ ගස්වා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේදි මේ මස 22 වැනි දින මේ පදක්කම් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 65 දෙනකු සඳහා පිරි නැමේ . සන්නද්ධ සේවාවාන්හි නිත්‍ය නිලධාරින්ට ‘ විශිෂ්ට සේවා විභුෂණය“ ප්‍රදානය කිරීම 1981 සැප්තැම්බර් 1වැනි දිනැති අංක 156 /5 දරණ අතිවිශේෂ ගැසට පත්‍රය මගින් පනවා ඇති රෙගුලාසිවලට යටත්ව සිදු කෙරේ.

මෙහිදී මේ රෙගුලාසි අනුව විසිපස් වර්ෂයකට නොඅඩු සේවයේ නිරත වුද, සුවිශේෂ වුද උදාර වුද, අවනතවුද, ගණන් කළ හැකි සේවා කාලයක් ඇත්තාවුද, නිර්මල පෞද්ගලික හා නොකැළැල් අැත්තාවුද ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය බළ සේනාවේ නියුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් මේ පළඳනාව පිරිනැමීම සඳහා සුදුසුකම් ලබති.

“දසවර්ෂාභිෂේක‘‘ සැමරුමේ තවත් කැපී පෙනෙන අංගයක් වනුයේ මේ මස 22 දින පෙරවරුවේ දිවයින පුරා ඇති ආරක්ෂක සේනා මුලස්ථාන බළ ප්‍රදේශයන්හි ප්‍රධාන නගරයක් වන කොළඹ, නුවර , යාපනය, වවුනියා, පොළොන්නරුව කිලිනොච්චිය පළාත් කේන්ද්‍ර කොට ගනිමින් සේනාංක මුලස්ථාන බළසේනා මුලස්ථාන සියලු හමුදා කඳවුරු සහභාගිත්වයෙන් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපතින්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ “ දස වර්ෂාභිෂේක“ සාම පාගමනේ ව්‍යාපෘතිය පෙරවරුවේ එදින ඇරැඹෙයි.

විජයානි එදිරිසිංහ

නව අදහස දක්වන්න