සේද මාවතේ ශිෂ්ටාචාර සංවාදය | දිනමිණ

සේද මාවතේ ශිෂ්ටාචාර සංවාදය

 චීනය සහ අමෙරිකාව අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වී තිබියදී සහ නව සේද මාවතේ තෝරාගත් ඉලක්කවලට ඉස්ලාමීය අන්තවාදී මුහුණුවර සහිත ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙමින් තිබියදී “ආසියානු ශිෂ්ටාචාර සංවාදය” නම් සමුළුව චීනයේ බෙයිජිං නුවරදී ආරම්භවිය. 2008 බෙයිජිං ඔලිම්පික් උළෙල පැවැති “කුරුළු කූඩුව” නමින් ප්‍රකට ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්වෙන මේ සමුළුවට ආසියානු රටවල් 40 කට වැඩි සංඛ්‍යාවක දහස් සංඛ්‍යාත නියෝජිත පිරිසක් සහභාගිවී සිටිති. ඒ අතර එම රටවල රාජ්‍ය නායකයන් මෙන්ම ඉහළ පෙළේ නියෝජිතයන්ද වේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාද ඊට සහභාගි වෙමින් මීට දින කිහිපයකට පෙර සමුළුව ඇමතීය.

චීන ජනාධිපති ෂී ජිංග් පිංග් “ආසියානු ශිෂ්ටාචාර සංවාදය” අරඹමින් කියා සිටියේ, ශිෂ්ටාචාර අතර ගැටුමක් නොමැති බවය. මේ ප්‍රකාශය සිහිපත් කරන්නේ සැමුවෙල් හන්ටින්ටන් ගේ “ශිෂ්ටාචාර ගැටුම” කෘතියයි. කෙසේ වුවද ජනාධිපති ෂීගේ මෙම ප්‍රකාශය අමෙරිකාවට ප්‍රතිචාර දැක්වීමක් බව පෙනෙන්නට තිබේ. දෙරට අතර ඇතිවී තිබෙන තරඟකාරී උණුසුම දෙසට අවධානය යොමු කරමින් පසුගියදා අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කිරන් ස්කීනර් කියාසිටියේ; මෙය අතිශයින් වෙනස් ශිෂ්ටාචාර අතර සටනක් බවය. අමෙරිකාව නම් නොකළද ජනාධිපති ෂී කළ ප්‍රකාශය මීට පිළිතුරු දීමක් ලෙස සැලකිය හැකිය.

‘ආසියානු ශිෂ්ටාචාර සංවාදය” ට එක්වූ ජනාධිපති ෂී තම ශිෂ්ටාචාරය අන්‍ය ශිෂ්ටාචාර මත බලහත්කාරයෙන් පැටවීමට මානබලන අධිපතිවාදී රටවලට අනතුරු ඇඟවීමක් ද කළේය. ඒ; එසේ නොකරන ලෙසට අවවාද කරමිනි.

ශක්තිමත් වන සබඳතා

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇ. ඩොලර් බිලියන 200ක චීන ආනයනික භාණ්ඩ මත තීරුබදු ඉහළ දැමීමට පියවර ගැනීමෙන් පසු චීන ජනාධිපතිවරයා ‍කළ පළමු ප්‍රසිද්ධ කතාව මෙයය. චීනයද ඇ.ඩො. බිලියන 60ක ආනයනික භාණ්ඩ මත තීරුබදු ඉහළ දමමින් අමෙරිකාවට ප්‍රතිචාර දැක්වූයේ ඉකුත් සඳුදාය.

සමුළුව ආරම්භ වූයේ බදාදා ය.

ශිෂ්ටාචාර අතර ගැටුමක් ඇතිකරගැනීම අනවශ්‍ය බව අවධාරණය කරන චීන ජනාධිපතිවරයා දොරවල් වසාගෙන ඒවාට මුවාවී සැඟවී නොසිට පිටතට එන්නැයි ආසියානු රටවලට සහෝදරාත්මක ආරාධනාවක්ද කළේය.

චීන ආනයනික භාණ්ඩ මත තීරුබදු ඉහළ දැමීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණය අමෙරිකාවේම ඇතැම් අංශවල විවේචනයට හේතුවී තිබේ. HUAWEI සමාගමට පැනවූ තහංචිවලට අභියෝග කරන එම සමාගම එය අමෙරිකා ආර්ථිකයට දැනෙන තීරණයක් වනු ඇතැයි දැනටමත් පවසා තිබේ. අමෙරිකාවේ රැකියා වෙළෙඳපොළට පවා එය ඉදිරියේදී බලපානු ඇතැයි ඔවුහු කියා සිටිති.

ආසියානු ශිෂ්ටාචාර සංවාදයේදී, චීනය සහ සෙසු ආසියාතික රටවල් අතර ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පැවැති සබඳතා ශක්තිමත් කරගැනීම දෙසට අවධානය යොමුව තිබේ. ඒ ඒ ශිෂ්ටාචාරයන්ට එකිනෙකාගෙන් ඉගෙනගැනීමට ඇති බව මෙහිදී පෙන්වා දෙනු ලැබිණි. ජනාධිපති ෂී, පවසන පරිදි, කිසිවකුගේ ශිෂ්ටාචාරයන් තවකකුගේ ශිෂ්ටාචාරයට වඩා උසස් හෝ පහත් නොවේ.

චීනයේ මුළුදෙන මෙම සමුළුව කලාපීය රටවල් මත චීන ආධිපත්‍ය රැඳවීමක් ගැන අමෙරිකාව සහ බටහිර පළකරන මතයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසද සැලකිය හැකිය. කලාපයට නායකත්වය දෙමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට නැතත් කලාපය මත ආධිපත්‍ය රැඳවීමක් ගැන ජනාධිපති ෂී අදහස් කරන බවක් නොපෙනේ. චීනය ක්‍රියා කරන්නේ මෘදු බලවතකු විලසිනි. පසුගියදා ඔහු ප්‍රකාශ කර තිබුණේ “නව ලෝක රටාවන්” බිහිකර ගැනීමට සිදුව ඇති බවයි. වත්මන් අධිපතිවාදී ලෝක රටාව වෙනුවට නව ලෝක රටාවක් බිහිකර ගත යුතු බව කලක පටන් සංවාදයට ලක්ව ඇති මාතෘකාවකි. ඊට වැඩි විභවයක් ඇත්තේ ආසියාවට බව ද පෙනෙන්නට තිබේ.

ලොව ඇති ඓතිහාසික ශිෂ්ටාචාර 4න් 3ක් ම ඇත්තේද ආසියාවේ ය. “ආසියානු ශිෂ්ටාචාරවල විවිධත්වය රැකගැනීම” මෙම සමුළුවේ තේමාව විය. සමුළුවට සමගාමීව දැවැන්ත මෙන්ම විචිත්‍ර සංස්කෘතික උළෙලක්ද පවැත්විණි. ආහාර සැණකෙළියක් ඇතුළු තවත් අංග ගණනාවක්ම මීට අයත්ය. යුනෙස්කෝව සමඟ එක්ව, සමුළුවට සමගාමීව සංවාද මණ්ඩප කිහිපයක් ද සංවිධානය කර තිබුණි.

දිළිඳු බව ජය ගැනීම

එහිදී, ආසියානු ශිෂ්ටාචාරවල විවිධත්වය දෙස ඓතිහාසික බැල්මක්, සේදමාවතේ පොදු උරුමය මෙන්ම ආසියානු ජනයා අතර අන්‍යෝන්‍ය සංස්කෘතික සබඳතා, සමානකම් වර්ධනය කරන අතර ආසියානු ශිෂ්ටාචාරයන්ගේ විවිධත්වය රැකගැනීම හා එහිදී එල්ලවන අභියෝග වැනි මාතෘකා අවධානයට ලක්ව ඇත.

චීනය මත වැඩි ප්‍රතිරෝධයක් එල්ලවීම යනු සිය ක්‍රියාන්විත වඩාත් පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට චීනය පෙළඹවීමක් වනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස ය. විශේෂයෙන් අමෙරිකාවෙන් එල්ලවන එවැනි බලපෑම් ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් හානිකරය.

චීන ජනාධිපතිවරයා මෙහිදී නව සේදමාවත ව්‍යාපෘතිය ගැනද පැහැදිලි කර තිබිණි. එමඟින් ජාතීන් අතර සහයෝගිතාව වර්ධන කරනු ඇති බව ඔහුගේ අදහසය. එමෙන්ම සංස්කෘතික හුවමාරුව සඳහාද එය වැදගත්වනු ඇත. ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසිය සාමය පවත්වා‍ගැනීම බව ජනාධිපති ෂී මෙහිදී ද පෙන්වා දී තිබේ. ආසියාව ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. එමෙන්ම එය ශිෂ්ටාචාර අතර පරතරය පියවන පාලම බඳු යැයි ද ඔහු සඳහන් කරයි. සාමකාමී බව රත්රන්වලටත් වඩා වටිනා බව සිහි තබාගත යුතු යැයි ජනාධිපති ෂී කියා තිබිණි.

ආසියාවේ දිළිඳු බවෙන් පෙළෙන ජනකොටස් ගැන මෙන්ම දිළිඳුබවේ අභියෝග ජයගැනීම, කුසගින්න පරාජය කිරීම වැනි කාරණා ද මෙහිදී අවධානයට ලක්ව ඇත. ඒවා බොහොමයක් ආසියානු රටවල් මුහුණදෙන පොදු අභියෝගය. සංචාරක ව්‍යාපාරය ආසියාකරයේ ආර්ථික වර්ධනය ඇතිකිරී‍මට මෙන්ම මිත්‍රත්වය ගොඩනැගීමටද ඉවහල්වී ඇති බව මෙ‍හිදී පෙන්වාදී තිබේ. 2018 වසරේදී චීනයට විදෙස් සංචාරකයන් මිලියන 140ක් පැමිණ ඇති අතර චීන සංචාරකයන් මිලියන 160ක් ලෝකයේ සංචාරයේ යෙදී ඇත.

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සිංගප්පූරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු වන ඕ. ඊ. සන් පෙන්වා දෙන පරිදි, ෂී ගේ පණිවුඩයෙන් පැහැදිලි වන‍්නේ ආසියාවට සිය ජයග්‍රහණය හා සාර්ථකත්වය ගැන විශ්වාසයක් තිබිය යුතු බවය. ජනාධිපති ෂීගේ බී ඇන්ඩ් ආර් (Belt and Road) සංකල්පය යටතේ මිනිසුන් අතර හුවමාරුව ගැනද ගැඹුරින් අවධානය යොමුවනු ඇත.

ග්‍රීසියේ සහභාගීත්වය

ආසියානු ශිෂ්ටාචාර සංවාදයට සමගාමීව ඊට සහභාගිවූ රාජ්‍ය නායකයන් හා ජනාධිපති ෂී අතර ද්විපාර්ශවික සාකච්ඡා හා හමුවීම්ද සිදුවිය. මේ අතරින් ග්‍රීසියේ ජනාධිපතිවරයාට චීනයේ සංචාරය සඳහා කළ විශේෂ ඇරියුම මාධ්‍ය ඇතුළු බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගෙංග් ෂවුංග්ගෙන් මාධ්‍යවේදීහු විමසා සිටියහ. ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ චීනය සහ ග්‍රීසිය අතර ශිෂ්ටාචාරමය, සංස්කෘතිකමය හා දාර්ශනික වශයෙන්ද විශාල පොදු බවක් ඇති බව පෙන්වා දෙමිනි. එකී සබඳතාව සාමකාමී සහජීවනය සඳහා හොඳ නිදසුනක් බවද කියා සිටි ඔහු ක්‍රම හා සංස්කෘතික වශයෙන් ඇති විවිධත්වය රැකගනිමින්ම දෙපාර්ශ්වයම ජයග්‍රහණය කරන පරිදි (Win-Win Stituation) සබඳතා පවත්වාගෙන යාමට හැකිවී ඇති බවය. මෑත වසර කිහිපයේදී දෙරට අතර සබඳතා විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට නව සේද මාවත ව්‍යාපෘතිය ඉවහල් වූ බවද මෙහිදී පෙන්වාදී තිබිණි.

ශිෂ්ටාචාර හුවමාරුව මඟින් ප්‍රතිලාභ ලබන්නේ චීනය පමණක් නොවන බව ජනාධිපති ෂී අවධාරණය කරයි. ඒ වෙනුවෙන් ශක්තිමත්ව මැදිහත්වන බවද ඊට අවශ්‍ය පිටුබලය හෝ විසැඳුම් දැක්වීමෙන් නොනැවතී දැඩි ලෙස ශක්තිමත් පියවර ගැනීමට චීනය කැපවන බවද ඔහු කියා සිටී.

පැරැණි සේදමාවත චීනය සහ ඈත පෙරදිග මැදපෙරදිග සහ යුරෝපය සමඟ යා කළේය. මේ වනවිට B and R සංකල්පය යටතේ නව සේද මාවත අතීත සබඳකම් යළි මතු කරමින් පවතී. චීනය ඉල්ලා සිටින්නේ අතීත ශ්‍රී විභූතිය යළි කැඳවිය යුතු බවය. ඒ වඩා යහපත් ආසියාවක් උදෙසා පමණක්ම නොවේ. වඩා යහපත් ලෝකයක් අනාගතයේදී නිර්මාණය කරගැනීමට ද අවැසි බැවිනි.

ආසියාව සතුව එකී විභවය තිබේ. ලෝකයේ වැඩිම විවිධත්වයක් සහිත කලාපය එයය. භූමියෙන් 1/3 ක් නියෝජනය කරන්නේ ද එයය. ලෝක ජනගහනයෙන් 2/3 ක් ම සිටින්නේ එහිය. රටවල් 47 ක් මෙන්ම විවිධ ජනවර්ග 1000 කට වඩා එකතුවක් ඇත්තේද එතැනය. එසේ වුවද සමස්ත ආසියාව සාමකාමී හා ස්ථාවර නැත. සෑම ආසියානු රටක්ම සමෘද්ධිමත් නැත. තවමත් අවට දියුණු රටවල් (LDCS) 9ක් මෙන්ම අන්ත දුගී ජනයා මිලියන සිය ගණනක් ආසියාවේ සිටිති. මේ සියල්ලට අමතරව ආසියාව තවමත් පූර්ණවශයෙන් විවෘතවී නැත. ඒ ඒ රටවල් අතර මනා අනුකලනයක්ද නැත. බරපතළ ලෙස යටිතල පහසුකම් හිඟයෙන් පෙළෙන අතර සම්බන්ධතා පවත්වා ගැනීමේදී පරතරයක් ද ඇත. B and R ක්‍රියාන්විතය මඟින් චීනය මේ සෑම ප්‍රශ්නයක් පාහේ ආමන්ත්‍රණය කරනු ඇති බව පැහැදිලිය. ඊට අවැසි සෑම විභවයක්ම, ශක්‍යතාවක්ම චීනය සතුය. මෙහිදී ආසියාව දරන ප්‍රයත්නය සාර්ථක වුවහොත් මේ සියවස නිසැකවම ආසියාවේ සියවස වනු ඇත.

ධම්මික සෙ‍ෙනවිරත්න


නව අදහස දක්වන්න