කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ කප් සිටුවයි | දිනමිණ

කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ කප් සිටුවයි

ඓතිහාසික රුහුණු - කතරගම මහා දේවාලයේ 2019 ඇසළ මංගල්‍යයේ කප් සිටුවීම අද උදෑසන යෙදී තිබුණු සුබ නැකතින් සිදු කෙරිණ.

දේවාල පරිශ්‍රය තුළදී එය සිදු කෙරුණු අතර ඒ සඳහා බැතිමතුන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටි බව ද සඳහන්.

මෙවර ඓතිහාසික රුහුණු - කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර ජූලි මස 03 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඓතිහාසික රුහුණු - කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය

කතරගම ඇසළ මංගල්‍ය යනුවෙන් අදහස් කරන්නේ කතරගම කඳ කුමරුවන් හා වල්ලී දෙවඟනගේ විවාහ උත්සවය සනිටුවහන් කරන චාරිත‍්‍ර පෙරහරකි.

මේ අනුව අතීතයේ දී විවාහයක් වන විට දී මගුල් මඩුවක් සෑදීමට සුභ මොහොතින් කණු සිටුවීම සිදු කර ඇති  බැවින් එම චාරිත‍්‍රය අනුව දුටුගැමුණු මහා රජතුමා විසින් නියම කළ රජ නියෝගයන්ට අනුව කතරගම දෙවියන්ගේ ඇසළ මංගල්‍ය සිදු කිරීමට පෙර මෙම කප් සිටවීම සිදු කරයි.

කප් සිටවීමේ අවස්ථාව සඳහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාගේ අධික්ෂණයෙන් සිදු කෙරෙන අතර  කප් සිටුවීම කතරගම දේවාලයේ පරම්පරික කපු මහතුන් විසින් සිදු කරනු ඇති.

මහා වනයෙන් රැගෙන එනු ලබන කප් කණූ වල්ලි අම්මා දේවාලයේ රහසිගතව තැම්පත් කර පසු දින උදෑසන අඩ අඳුරෙන්  කපු මහතුන් හා ආලාත්ති අම්මලා විසින් පෙරහැර මගින් කප්රුක් දේවාලය වෙත රැගෙන විත් කප් සිටවීම සිදු කරනු ලබයි.

කප් සිටුවීමේ  අවස්ථාව දැක බලා ගැනීම පිණිස  හින්දු, බෞද්ධ බැතිමත්හු රැසක් කතරගම පුදබිම වෙත පැමිණෙයි.


නව අදහස දක්වන්න