2019 ශ්‍රී පාද වන්දනා වාරය අවසන් | දිනමිණ


 

2019 ශ්‍රී පාද වන්දනා වාරය අවසන්

2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය උඩ මලුවේ පැවති විශේෂ පූජා කිහිපයකින් අනතුරුව අද අවසන් කළ කෙරිණ.

ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවේ, උඩ මලුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණවලින් කොටසක් රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල දක්වා වැඩමකරවීම අද උදෑසන 08.15 ට ආරම්භ වු බවයි.

තවත් පෙරහරක් අද පෙරවරුවේ ශ්‍රී පාද උඩමලුවේ සිට නල්ලතන්නියට බෞද්ධ මධ්‍යස්ථානය දක්වා පැමිණ පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.

සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද රාත්‍රී සිට හෙට අලුයම දක්වා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර හෙට අලුයම තවත් රිය පෙරහරක් මගින් ඒවා පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩමකරවීමට නියමිතයි.

වෙසක් පොහොය දිනයේ ශීල සමාදානය ඇතුලු උඩ මලුවේ පැවැත්වු ආගමික වතාවත්වලට සහභාගී වීමට විශාල පිරිසක් පැමිණ සිටි බව ද සඳහන්.

ශ්‍රී පාදය කරුණාකිරීම

ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ.

ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ.

අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී.

ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු "කෝඩුකාරයා" ලෙස හඳුන්වන අතර ඔහු "සීත ගඟුල" යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය.

"ඉඳිකටු පහන" යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති.

රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද තරණය කීරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය.

"ඉර සේවය" නමින් ජන වහරේ මෙය හදුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.එය ඉර සේවය ලෙස හඳුන්වයි.

නව අදහස දක්වන්න