මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා... | දිනමිණ

මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා...

ලොව දරුණු ම හා බලවත් ම ත්‍රස්ත සංවිධානයක් ලෙසින් ප්‍රකට ව සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කොට වසර දහයක් සම්පූර්ණ වී ඇත. එය සැමරිය යුතු අවස්ථාවක් සේ ම පසුවිපරමක් කළ යුතු අවස්ථාවක් ද වෙයි. එල්.ටී.ටී.ඊ.ය හෙවත් කොටි සංවිධානය 2005 පමණ වනවිට පසුවූයේ; ඔවුන්ගේ උපරිම ශක්තිය හා හැකියාව ප්‍රදර්ශනය කරමින් ය. සංවිධානයේ බලපෑම ශ්‍රී ලංකාව තුළ පමණක් නො ව; ඉන්දියාවේ හා යුරෝපයේ ද දක්නට ලැබිණි. කොටි නායක ප්‍රභාකරන් එදා කියා සිටියේ ශ්‍රී ලංකා හමුදාව උතුරට කඩා වැදුණහොත්; මුළු රට ම ලේ ගංඟාවක් බවට පරිවර්තනය කරන බව ය. ජාත්‍යන්තර ජනමාධ්‍ය පවා ආණ්ඩුවේ හමුදාවලට වඩා කොටි සංවිධානය බලවත් යැයි උපකල්පනය කළේ ය.

මේ වනවිට රට තුළ මතවාද කිහිපයක් පැවැතිණි. එක මතවාදයකට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කිරීම කළ නො හැකි කටයුත්තකි. තව මතවාදයකට අනුව රටට සිදුවන බලවත් විනාශය වළක්වා ගැනීම සඳහා උතුරට වෙන ම රාජ්‍යයක් ලබාදීම සුදුසු ය. තවත් මතවාදයකට අනුව සාම-සාකච්ඡා ශක්තිමත් කිරීම ගැටලුවට ඇති එක ම විසැඳුම ය. සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි. සටන් විරාම කිහිපයක් ද පැවැත්විණි. මේ අතර කොටි සංවිධානය යුදමය වශයෙන් ද උපායමාර්ගික වශයෙන් ද තවදුරටත් ශක්තිමත් විය. දෙමළ ජනතාව වෙතින් ද, විදේශීය සංවිධාන වෙතින් ද සැලැකිය යුතු සහයෝගයක් ලබාගැනීමට ද කොටි සංවිධානය සමත් විය. මේ සියල්ල ආපසු හ‍ැරෙන්නට පටන්ගත්තේ “මාවිල් ආරු” සිද්ධියත් සමඟ ය.

කොටි සංවිධානය 2006 ජූලි 20 දා “මාවිල් ආරු” සොරොව්ව වසා දමන්නේ රට තුළ විශාල විනාශයක් ද ඇති කරමින් තම ඉලක්කය ජය ගැනීමට ය. එය කොටි සංවිධානයට මෙන් ම රජයටද තීරණාත්මක අවස්ථාවක් විය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිය යුද ශක්තිය මෙහෙයවා දින දහනවයක මෙහෙයුමකින් “මාවිල් ආරු” සොරොව්ව නිදහස් කර ගත්තේය. එය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය නිමාකිරීමේ හැරවුම් ලක්ෂය ලෙස ඉතිහාසයට එකතු වී ඇත. ඉනික්බිති රජයේ හමුදා ඉදිරියට මිස ආපස්සට ගියේ නැත. තොප්පිගල මුදාගැනීම, මුලතිව් අත්පත් කරගැනීම, කිලිනොච්චිය අල්ලා ගැනීම මේ සටන් ම‍ඟෙහි සන්ධිස්ථාන ලෙස සැලකෙයි. වසර තුනක මානුෂීය මෙහෙයුමකින් පසු කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමට රජය සමත්විය. මෙහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ වීරෝදාර රණවිරුවන් වෙත ය. ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ සටනක් ලෙස එය ලෝක ඉතිහාසයට එකතු වී තිබේ.

2009 මැයි 19 වනවිට කොටි නායකයාත්, කොටි සංවිධානයත් විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත්විය. මේ මෙහෙයුම දෙස ආපසු හැරී බලනවිට පැහැදිලි වන්නේ හමුදාවල යුද ශක්තිය හා උපාය මාර්ගික ශක්තිය පමණක් ම නො වේ. විනයගරුක හමුදාවක් සතුවිය යුතු ආචාරශීලි බව හා මනුෂ්‍යත්වය ඉහත මානුෂීය මෙහෙයුමේ දී ප්‍රදර්ශනය විය. කොටි සංවිධානය සාමාන්‍ය දෙමළ ජනතාව භාවිත කළේ ආරක්ෂක පළිහක් ලෙසට ය. එලෙස භාවිත කළ සාමාන්‍ය වැසියන්ගේ ප්‍රමාණය ලක්ෂ තුනකට වැඩි විය. සියලුදෙනා කොටි ග්‍රහණයෙන් මුදාගෙන ඔවුනට නිදහස් ජීවිත ලබාදෙන්නට ආරක්ෂක අංශ සමත්විය. උක්ත මෙහෙයුම යුද විශේෂඥයන්ගේ පැසසුමට ලක්විය. කෙනෙකුගේ මතයට අනුව මෙතෙක් යුද ඉතිහාසයේ පැවැති හොඳම මානුෂීය මෙහෙයුම එය වන්නේ ය. ලෝක නායකයෝ ත්‍රස්තවාදයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාවේ ආදර්ශ උකහා ගන්නට පටන් ගත්හ.

ලෝකයේ ආරක්ෂක අංශ 2009 න් පසු ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නට පටන් ගත්තේ ය. ජගත් ආරක්ෂක සමුළුවලට මෙන් ම ත්‍රස්තවාදය වැළැක්වීමේ උපාය මාර්ග සාකච්ඡා කරන සම්මන්ත්‍රණවලටද ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන්ට ආරාධනා ලැබිණි. ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට කලාපීය හා ලෝක මට්ටමේ ආරක්ෂක සමුළු කිහිපයක් ද පැවැත්විණි. එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවට ශ්‍රී ලංකාවේ භට පිරිස් එකතු කර ගැනිණි. අපේ ආරක්ෂක හමුදාවලට ලෝකයේ ගෞරවනීය ස්ථානයක් හිමිවූයේ 2006 දී ආරම්භ කොට 2009 දී අවසන් කළ මානුෂීය මෙහෙයුම නිසා බව ඉතා පැහැදිලි ය. ත්‍රස්තවාදය පරාජය කිරීම විශේෂ ජයග්‍රහණයක් වන්නා සේ ම ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට ලෝකයේ සුවිශේෂ පිළිගැනීමක් හිමිවීම ද ජයග්‍රහණයකි.

රටේ ඉතිහාසය විමසන විට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව විවිධ ආක්‍රමණවලට, තර්ජනවලට මෙන් ම අරගලවලට ද මුහුණ දුන් රාජ්‍යයක් බව ය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ඒ අතර පැවැති සුවිශේෂී තර්ජනයක් විය. කොටි ත්‍රස්තවාදයේ අරමුණු හා ඉලක්ක ජයග්‍රහණය කළේ නම් ශ්‍රී ලංකාව මේ වනවිටත් දෙකඩ වූ රාජ්‍යයෙකි. රට දෙකඩ වූයේ නම්; සදාකාලික ගැටුම්වලට මුහුණ දෙන්නට අපට සිදුවනු ඇත. ආක්‍රමණ, තර්ජන හා අරගල පරදවා රට යථා තත්ත්වයට ගැනීමට අපේ පාලකයෝ හැමවිටම සමත්වූහ. ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ඉතිහාසය දෙස ආපසු හැරී බලනවිට එම තත්ත්වය පැහැදිලි වෙයි. එහෙත් ගැටුම් කළමනාකරණය සඳහා උපායමාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී අප සාර්ථක වී තිබේ ද යන්න නැවත විමසා බලන තැනකට අද අපි තල්ලු වී සිටිමු. පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා දෙන්නේ එම තත්ත්වයයි.

ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කිරීම සඳහා ගත යුතු සමාජ විද්‍යාත්මක සාධක කෙරෙහි අපේ පාලකයන්ගේ අවධානය යොමුවී තිබේ ද යන්න නැවත විමසා බැලිය යුතු ව තිබේ. එක් ත්‍රස්තවාදයක් පරාජය කරනවිට තවත් ත්‍රස්තවාදයක් හිස ඔසවයි නම්; එතැන ගැටලුවක් තිබේ. ජාතික සංහිඳියාව, ආගමික සංහිඳියාව කෙරෙහි නැවත අවධානය යොමු කරන්නට කාලය පැමිණ ඇති බව වර්තමානය අපට පැහැදිලි කරයි. නෙල්සන් මැන්ඩෙලා වරක් කියා සිටියේ සාමය දීර්ඝ හා දුෂ්කර ගමනක් බව ය. ත්‍රස්තවාදය මුළුමනින් ම පිටුදැකීම සඳහා ඒ ගමනත් අවශ්‍ය වෙයි.

කොටි සංවිධානයේ පරාජය මෙන් ම රණවිරුවන්ගේ ජයග්‍රහණයත් අභිමානයෙන් සැමරිය යුතු ය. එහිලා අපගේ ඉමහත් ගෞරවයට ලක්විය යුත්තේ රණවිරුවා ය. තුවක්කුවට පිටුපසින් මානුෂීය හදවතක් ඇති මිනිසෙක් සිටී. නියම රණවිරුවා යනු ඔහු ය.

 

නව අදහස දක්වන්න