ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් පිල අද බොට්ස්වානා බලා පිටත්වෙයි | දිනමිණ

ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් පිල අද බොට්ස්වානා බලා පිටත්වෙයි

ප්‍රින්ස් ගුණසේකර

වෛද්‍ය ලාල් නෑ: සහය කළමණාකාරිනියක් අලුතින්

එළැබෙන ජූලි මාසයේ පැවැත්වෙන ලෝක නෙට්බෝල් තරගාවලියට පෙරහුරු සංචාරයක් ලෙස ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් පිල අද බොට්ස්වානා බලා පිටත්වෙයි. බොට්ස්වානා ජාතික පිල සමග හා යොවුන් පිල සමග පුහුණු තරග කිහිපයකට සහභාගීවන ශ්‍රී ලංකා පිල ජූනි 1දා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඩුබායි හරහා බොට්ස්වානා වෙත ගමන්කරන ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ 22වැනිදා පළමු තරගයට සහභාගී වේ.

මේ පුහුණු සංචාරය සඳහා ක්‍රීඩිකාවන් දොළොස් දෙනෙකු සහ නිලධාරිනියන් තිදෙනෙකු සහභාගි වීමට නියමිත අතර වැයවන මුදල රුපියල් තිස්පන් ලක්ෂ හැට අටදහස් පන්සියකි. එම සියලු මුදල් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ අනුග්‍රාහකත්වයෙන් පසුගියදා පිරිනැමුණි.

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීනිය ලෙස ට්‍රික්සි නානායක්කාර මහත්මිය පත්කොට ඇති අතර ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට මඟ පෙන්වූ පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනවිය බොට්ස්වානා බලා පිටත්වේ. මෙතෙක් ජාතික නෙට්බෝල් පිල සමග සෑම විදෙස් සංචාරයකටම එක්වූ වෛද්‍ය ලාල් ඒකනායක මහතා මේ සංචාරයට එක්කර නොමැති අතර සහය කළමණාකාරිනිය ලෙස පුෂ්පා එලුවාවල මහත්මිය සහභාගී වේ.

ආසියාවේ උසම නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් ඔස්ට්‍රේලියාවේ සිට බොට්ස්වානා බලා පැමිණෙන බව කලින් සඳහන්කර තිබුණද, එම තත්ත්වය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි පැවැසේ.

ඇය දැනට ඔස්ට්‍රේලියාවේ වෘත්තීය මට්ටමේ ලීග් තරගාවලයකට සහභාගී වෙමින් සිටින බැවින් බොට්ස්වානා වෙත පැමිණීම අපහසුවීම හේතුවී තිබේ. කෙසේ වුවද ඇය ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩායම සමග පුහුණු කටයුතු ආරම්භ කරනු ඇතැයි ට්‍රික්සි නානායක්කාර මහත්මිය පැවැසූවාය. ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියට තවත් සති 7ක් පමණ ඇති හෙයින් ශ්‍රී ලංකාවේ පුහුණු කටයුතු වේගවත් කළ යුතුව ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ලෝක නෙට්බෝල් තරගාවලියට තෝරාගත් කණ්ඩායමට ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් කණ්ඩායමේ සිටි සුරේඛා කුමාරි ඇතුළත් නොවන අතර ඒ වෙනුවට නාවික හමුදාවේ දීපිකා දර්ශනී ඇතුළත් වේ. බොට්ස්වානා යන ශ්‍රී ලංකා නෙට්බෝල් පිල මෙසේය:

චතුරාංගනී ජයසූරිය (නායිකා), දර්ශිකා අබේවික්‍රම, තර්ජනී සිවලිංගම්, ගයනී දිසානායක, දීපිකා දර්ශනී, තිළිණි වත්තේගෙදර, ගයාංජලී අමරවංශ, නවුජලී රාජපක්ෂ, දුලාංගී වන්නිතිලක, දුලාංගී ධනංජී, හසිතා මෙන්ඩිස්, ඒලියන්තිනී සේතුකාවලන්


නව අදහස දක්වන්න