ලෝක කුසලානයට කොදෙව්වන්ගෙන් අතිරේක සංචිතයක් | දිනමිණ

ලෝක කුසලානයට කොදෙව්වන්ගෙන් අතිරේක සංචිතයක්

මේ මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ක්‍රීඩකයන්ට අමතරව තවත් ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් යුත් අතිරේක සංචිතයක් කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් සමන්විත සංචිතය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නම් කළේය.

ඊට අමතරව මේ 10 දෙනාගේ සංචිතය ප්‍රකාශයට පත්කළ කොදෙව් ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන කොදෙව් පිල ශක්තිමත් කිරීමේ අරමුණින් මේ අතිරේක ලැයිස්තුව නිවේදනය කළ බවයි.

මේ අතිරේක සංචිතයට පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමේ නිවේදනය කළ ඩ්වේන් බ්‍රාවෝද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

එමෙන්ම මෙවර අයි.පී.එල්. ශූරයන් බවට පත්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කිරන් පොලාඩ්, අයර්ලන්තයේ පැවැති තුන්කොන් තරගාවලියේදී දස්කම් දැක්වූ කොදෙව් ආරම්භක පිතිකරු සුනිල් ඇම්බ්‍රිස් සහ එම තරගාවලියේදී ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් රේමන් රෙයිෆර්ද් ද මේ අතිරේක සංචිතයට ඇතුළත්ව සිටිති.

මේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබුණ හොත් සිය රට වෙනුවෙන් උපරිමය ඉටු කරනු ඇතැයිද අපේක්ෂා කරන බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරීම් නිලධාරියා වන රොබට් හෙන්ස් පවසා ඇත.

මේ අතර ලෝක කුසලාන තරගාවලියට එක්වන කොදෙව් ක්‍රිකට් පිල එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදී ඊයේ සිට සිවුදින පුහුණු කඳවුරකට එක්ව ඇති අතර මේ අතිරේක සංචිතයේ ක්‍රීඩකයන්ටද එම කඳවුරට එක්වීම අනිවාර්යය කර තිබේ.

අතිරේක සංචිතය - සුනිල් ඇම්බ්‍රිස්, ඩ්වේන් බ්‍රාවෝ, ජෝන් කැම්ප්බෙල්, ජොනතන් කාටර්, රොස්ටන් චේස්, ශේන් ඩොර්විච්, කීමෝ පෝල්, කාරි පිරර්, රේමන් රෙයිෆර්, කිරන් පොලාඩ්

නව අදහස දක්වන්න