21දා ප්‍රහාරයේ ප්‍රධානියෙක් ළඟදීම දිවයිනට | දිනමිණ

21දා ප්‍රහාරයේ ප්‍රධානියෙක් ළඟදීම දිවයිනට

සෞදි අත්අඩංගුවේ සිටින පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවකු වන මොහොමඩ් මිල්හාන් නැමැත්තා මෙරටට භාරදෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසය පළකරයි.

සෞදි බලධාරීන් මෙරටට දන්වා ඇත්තේ සෞදි ආරක්ෂක අංශ ද ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇති බවය. ඒ අනුව ඔහුව මෙරටට භාර දීම සැකයට තුඩුදී තිබේ. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔහුව මෙරටට භාර ගැනීමට මෙහෙයුමක් දියත්කර ඇත. ඊට සෞදියෙන් යහපත් ප්‍රතිචරයක් ලැබෙතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා බව ද සඳහන් මිල්හාන් මරාගෙන දෙවැනි ප්‍රහාරයන්ට සූදානමින් සිටියෙකි. 2018 වසරේ නොවැම්බර් 30 වෙනිදා රාත්‍රියේ සිදුවුණු වව්නතිව් පොලිස් මුරපොලේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ඝාතනයේ වෙඩිකරු බවට හඳුනාගෙන සිටින්නේද ඔහුවය. කබීර් හසීම් ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් නස්ලිම් මහතාට පසුගිය මාර්තු 09 වෙනිදා මාවනැල්ලේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහයක නිරත වූයේ ද මිල්හාන් නැමැති අන්තවාදියාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන විට මක්කම වන්දනාවේ ගොස් සිටි මිල්හාන් නැවත මෙරටට පැමිණීමට නියමිතව සිටියේ ඉකුත් අප්‍රේල් 30 වෙනිදාය. මෙරටට පැමිණිමට සෞදි ගුවන් තොටුපොලට පැමිණි ඔහු ගුවන් යානාවට ගොඩවීමටද සූදානමින් සිට ඇතත් අවසාන මොහොතේ ගුවන්යානාවට ගොඩ නොවී සෞදි ගුවන්තොටුපොලේ සැඟවී ඇත.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය සහ ඔත්තු අංශ මගින් සෞදි ආරක්ෂක බලධාරීන් දැනුවත් කර තිබේ. ඒ අනුව සෞදි පොලිසිය කළ මෙහෙයුමකදී එරට ගුවන්තොටුපොලේ සැඟවී සිටි මිල්හාන්ව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන දින 20 ක් ගතවී ඇතත් ඔහුව මෙරටට භාරදී නැත. ඔහුව මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන්ගෙන් සැදුම් ලත් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙයට සති දෙකකට පෙර සෞදියට ගිය ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොවූ තැන එම කණ්ඩායමෙන් කොටසක් මෙරටට ඉකුත් සතියේ පැමිණි බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ


නව අදහස දක්වන්න