හදිසි නීතියෙන් ප්‍රජාතන්ත්‍රවාදය සීමා වෙනවා | දිනමිණ

හදිසි නීතියෙන් ප්‍රජාතන්ත්‍රවාදය සීමා වෙනවා

නීතීඥ සංජය විල්සන්

සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික නීතිඥ සංජය විල්සන්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේද ලේඛකයෙකි. මූලික අයිතිවාසිකම් හා සිවිල් නඩු සම්බන්ධව කටයුතු කරන්නකු වශයෙන් ප්‍රකට ඔහු ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන්නෙකි. එසේම Neoliberal Constitutionalism and the Austerity State කෘතියේ කර්තෘවරයාද ඔහුය.

2011 වසරේ ඉවත් කළ හදිසි නීතිය වත්මනේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වයත් එක්ක නැවත ගේනවා. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන මූලික නීතියක් වන මහජන ආරක්ෂන ආඥා පනත යටතේ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ ආයෙත් හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. හදිසි නීතිය අනෙකුත් නීති යටපත් කරන නීතියක් විදිහටයි සැලකෙන්නේ. සෑම අණ පනතක් ම යටපත් කරන සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන නීති යටපත් කරමින් මහජන සාමය ආරක්ෂා කිරීමට පොලිසියට තියෙන සියලු බලතල හමුදාවට බාරදීමකුයි මෙහිදී කෙරෙන්නේ. එහෙම වුණාම සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික මිනිස් අයිතිවාසිකම්වලට පහර එල්ල වෙනවා. මේ යටතේ ඕනෑම ප්‍රකාශනයක් වාරණය වීමට පුළුවන්. ජනතාවට රැස්වීමට තිබෙන අවස්ථා සීමා කිරීම් වෙන්න පුළුවන්.

ත්‍රස්තවාදය වැළැක්වීමට හදිසි නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍ය බව පේනවා. එය නොමැති වීම 21 ප්‍රහාරයට හේතු වුණා වෙන්න බැරි ද?

21 ප්‍රහාරය එල්ල වෙනවා කියන තොරතුරු කලින්ම ලැබී තිබුණා කියලා දැන් පැහැදිලිව ම පේනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන නොසැලකිලිමත්ව සිටියා කියන එක තමයි දකින්න තියෙන්නේ. එහෙම සාපරාධි ක්‍රියාවක් වෙනතුරු බලාන හිටියේ ඇයි කියන එක දැන් ජනතාවට තියෙන ප්‍රශ්නයක්. මහජනතාව ආරක්ෂා කරන්න ඉන්නවා ය කියන ආණ්ඩු මේ ආකාරයට වැඩ කරන්නෙ ඇයි? ඒ වෙලාවේ ආණ්ඩුව තුළ ම අර්බුදයක් හටගෙන තිබුණා.

පහුගිය කාලයේ ආර්ථිකය දිගින් දිගටම අර්බුදයකට යමින් තිබුණා. මේ තත්ත්වය යටතේ වැඩ කරන ජනතාව දිගින් දිගටම පාරට බැහැලා උද්ඝෝෂණය කරන තත්ත්වයට පත් වුණා. ආණ්ඩුවට ඊට මුහුණ දෙන්න විදිහක් නැහැ. ඒ නිසා ඉස්සරහට එන්න තියෙන මහජන කැලඹිලි මර්දනය කරන්න නම් අලුත් නීති ගේන්න ඕන. ඒකට අවශ්‍ය මාවත තනා ගැනීම තමයි මේ කරගෙන යන්නෙ.

30 වසරක යුද්ධය අවසන් කරන්නෙත් රටේ හදිසි නීතිය පනවලා. එහෙම නීතියක් අවශ්‍ය නැහැයි කියන්නෙ කොහොම ද?

1971, 88 - 89, 30 වසරක යුද්ධය, මේ කාලය තුළ හදිසි නීතිය පනවගෙන තමයි පැවැති ආණ්ඩු රට පාලනය කළේ. 2009 සිවිල් යුද්ධය අවසන් වුණාට පස්සේ මේ රටේ මහජනතාව හදිසි නීතිය නොමැතිව ජීවත් වුණා. කොහොම නමුත් ඉතිහාසයේ ඉඳලා හදිසි නීතිය යටතේ ජීවත් වුණ සමාජයක් තමයි අපිට ඉන්නේ. හදිසි නීතිය යටතේ වර්ධනය කළ, පෝෂණය කළ සහ ඒ යටතේ වර්ධනය වූ පොලිසියක් සහ හමුදාවක් අපට ඉන්නවා. අවුරුදු 30ක් තිස්සේ ජාතීන් වෙන් කරලා ඒ මිනිසුන්ට එරෙහිව තවත් ජනකොටසක් කුපිත කරලා ගොඩනඟපු යුද්ධයක් මර්දනය කළ හමුදාවක් තමන්ගේ ආරක්ෂාවට ඉන්නවා ය කියන එක මේ පාලක පන්තිය දන්නවා.

ඒ ආරක්ෂක හමුදාවන් මහජනතාවට එරෙහිව පවත්වා ගැනීම සඳහා හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් දශක ගණනක ඉතිහාසයක් තියෙනවා. අද වෙනකොට අපේ රටේ සමාජ මාධ්‍ය ජාල අවහිර කරලා, ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගියදා ස්ථාන කිහිපයක සිදු වූ සිදුවීම් මහජනතාවට පෙන්නුවේ නැහැ. මේ කාරණාවලින් පෙන්නුම් කරන්නේ මූලික වශයෙන් මහජනතාව අඳුරේ තැබීමක්. මෙතැන දී මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අහිමි වෙලා තියෙනවා. එහෙම තිබියදී ප්‍රමුඛ පෙළේ මාධ්‍ය නාලිකා කිහිපයක් පාලක පන්තියක් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා කියලත් පේනවා. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ මර්දන යාන්ත්‍රණය ක්‍රියාත්මකයි කියන එකයි.

රජය පවසන විදිහට සමාජ මාධ්‍ය ජාතිවාදය අවුලවන්නක්. අද පවතින තත්ත්වය 83 කලබලය, හා යම් සමාන තත්ත්වයක් ගෙන තිබෙනවා ය කියන මතයක් නිර්මාණය වෙනවා?

භීෂණය කෙසේ වෙතත් රාජ්‍ය මර්දනය කියන කාරණය පැහැදිලිව ම දක්නට තිබෙනවා. මේ රාජ්‍යයන් ධනපති ආර්ථිකයක පැවැතගෙන යන පන්ති සමාජයක් පෝෂණය කරන ක්‍රමයක යි අපි ඉන්නේ. මේ ආර්ථික ක්‍රමය යටතේ මෙහෙයවන පන්ති දෙකක් ඉන්නවා. එකක් වැඩ කරන ජනතාව, අනෙක් පන්තිය මෙය මෙහෙයවන පන්තිය. ඒ නිසා වැඩ කරන පන්තිය තමන්ට ඕනෑ ආකාරයට පවත්වා ගැනීමට අවශ්‍ය නීති සකසා ගැනීම සහ ඊට අවශ්‍ය පොලිසිය සහ හමුදා යාන්ත්‍රණය සකසා ගැනීම, අධිකරණය පවා මේ සඳහා භාවිතා කිරීම ට යි රාජ්‍ය මැදිහත් වී තිබෙන්නේ.

ඒ නිසා මේ රාජ්‍යයන් මහජනතාවගේ රාජ්‍යයන් විදිහට පවතින්නේ නැහැ. රාජ්‍ය මර්දනය කියන කාරණය පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන්, කම්කරු නායකයන්, ශිෂ්‍යයන්, ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සඳහා අවශ්‍ය මර්දන නීති ගේන්න යනකොට මහජනතාවට තොරතුරු ලැබීම් වාරණය වෙනවා. මිනුවන්ගොඩ, ගම්පහ වැනි සිද්ධි වෙන්න ඉඩ දීලා බලාන හිටියා කියලයි පේන්න තියෙන්නේ. ඇයි මෙහෙම කරන්නෙ කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ සිංහල මහජනතාව සහ මුස්ලිම් මහජනතාව අතර විරසකයක් වර්ධනය වෙන්න දීලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න ඔවුන් බලාන ඉන්නවා ය කියන එකයි.

ප්‍රති ත්‍රස්ත පනත ගැන ඔබේ අදහස මොකක් ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එහා ගිය පනතක් විදිහට තමයි ප්‍රතිත්‍රස්ත පනත සැලකිය හරක්කේ. ප්‍රති ත්‍රස්ත පනතේ 3 වන වගන්තියෙන් කියවෙන ආකාරයට ජනගහනයක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව; යම් ක්‍රියාවක් සිදු කිරීම හෝ සිදු කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව; එවැනි යම් ආණ්ඩුවක කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් කරන්නෙකු ත්‍රස්තවාදී වරදකට වරදකරු වෙයි. මේ අනුමාන වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, භෞමික අඛන්ඩතාවයට හා එහි කටයුතුවලට හානිකර යයි පාලක පන්තිය විසින් සලකන ලංකාව තුළ හෝ ඉන් පිටත ක්‍රියාත්මක වන (ලංකාවේ) කවර හෝ දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් තහනම් කළ හැකිය යන්නයි එහි මූලික අරමුණ.

ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගත යුතුයි කියලා විරෝධතාවක් තියෙනවා ?

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දක අනපනත් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු යි.

කිසිදු රාජ්‍යයක් තම මර්ධක නීති අන පනත් ආපස්සට ගන්නේ නැහැ. සෑම රටක ම පාලක පන්ති වඩ වඩාත් දකුණට රූටා යමින් මර්ධක නීති දැඩි කරමින්, වර්ගවාදය, ෆැසිස්ට්වාදය ආදී ප්‍රතිගාමීත්වයන් ශක්තිමත් කරමින් සිටිනවා. ලංකාව,ඉන්දියාව වගේ ම ජර්මනිය, ප්‍රංශය වැනි රටවලෙත් තත්ත්වය එසේමයි.

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමට නීති ප්‍රමාණවත් නැත් ද?

මේ කාරණය දිහා අපි බලන්න ඕනේ පීඩිත කම්කරු ජනතාවගේ පැත්තෙන්. ජවිපෙ කියලා තිබුණා අලුත් පනතක් අවශ්‍ය නැහැ, ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ඒක කරන්න පුළුවන් කියලා. ඒක එහෙම තියෙනවා. නමුත්, මේතැන තියෙන ප්‍රශ්නය මේ පනත ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන්නේ කවුද. මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන දේශපාලන කණ්ඩායම් ම තමයි ඒ ඉල්ලීම කරන්නේ.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 වන වගන්තියට අනුව ආරක්ෂක ඇමැතිගේ නියෝගය යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් උසාවියකට ඉදිරිපත් නොකර මාස තුනේ සිට අවුරුදු එක හමාරක් දක්වා රඳවා තබාගන්න පුළුවන්. මේ නීතිය මහජනතාවට එරෙහිව පාවිච්චි කරන්න කියන්නේ ධනපති දේශපාලන පක්ෂ. මේ කැඳවුමෙන් ඉල්ලා සිටින්නේ; විකල්ප අදහස්, කම්කරු නායකයන්, මාධ්‍යවේදීන් මර්දනය කරන්න මේ ධනපති ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති භාවිතා කරන ලෙසයි. අපි කියන්නේ මේ මර්දක නීති සෑම එකක් ම අහෝසි කරන්න ඕනෑ කියලා යි.

ලේඛකයන්ගේ ප්‍රකාශන වාරණ කිරීමක් ද මේ වන විට දක්නට ලැබෙනවා. නිර්මාණ වලට නිර්මාණ කරුවන්ට අද තිබෙන අභියෝගය ගැන ඔබ හිතන්නේ කුමක් ද?

මෑතකදී ශක්තික සත්කුමාර ලේඛකයාගේ කෙටි කතාවක් නිසා ඔහු දිගටම සිරගතකර සිටීම භයානක තත්ත්වයක්. සත්කුමාර කියන්නෙ රාජ්‍ය මර්දනයට අහුවුණු එක ලේඛකයෙක් විතරයි. මීට කලින් මාලක දේවප්‍රිය කලාකරුවාගේ කණට පහරක් කියන රේඩියෝ කතා මාලාවට එරෙහිව භික්ෂුන් වහන්සේලා අවි එසෙව්වා . බෞද්ධ අන්තවාදී සංවිධාන මේ කලාකරුවන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කරනවා.

ශක්තික අත්අඩංගුවට පත් වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) යටතේ පොලීසිය විසින් සත්කුමාරට එරෙහිව අභූත චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව යි. මේ වගන්තිය යොදා ගැනීම පිණිස අඩු තරමින් අදාල ක්‍රියාවන් ජාතික, වාර්ගික හෝ ආගමික කොටස් දෙකක් අතර අසමානතාවයකට, සතුරුකම් හෝ ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි වෛරය පතුරුවන ක්‍රියාවන් විය යුතුයි. දැන් වර්ගවාදී ප්‍රහාර එල්ල කළ අයට එරෙහිව භාවිතා කරන පනත කලින් පාවිච්චි කරලා තියෙන්නේ කලාකරුවකුට එරෙහිව.

මේ අනුව කලාකරුවන් අභූත චෝදනා යටතේ සිරගත කිරීම සඳහා කටයුතු කරන්න බෞද්ධ අන්තවාදී සංවිධානවලට හැකියාවක් ලැබුණේ කොහොම ද? මේ වගේ සංවිධාන පැමිණිලි කළාම පොලිසිය කලාකරුවන් අත්අඩංගුවට ගන්නේ ඇයි? 30 අවුරුදු යුද්ධය තුළත් ඉන් පසුවත් බෞද්ධ අන්තවාදී සංවිධානවලට ගොඩනගල දීල තිබුණ තැන තමයි මේ. රටේ ව්‍යවස්ථාවටත් උඩිනුයි මේ සංවිධාන පිහිටුවන්නෙ. පොලිසිය විසින් ප්‍රකාශන කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්උල්ලංඝනය කරලා තියෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් එල්ල කළ මරු පහරක්.

පොලිසියට ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නිදහස් කළා කියලා චෝදනාවක් එල්ල වෙනවා?

ඒ නිදහස් කළ පුද්ගලයන් කුමන වරදක් යටතේ අත්අඩංගුවට ගත්තාද යන්න දක්වලා නැහැ කියලා සඳහන් වුණා. ඒ නිසා තමයි ඔවුන්ට ඇප ලැබිලා තියෙන්නේ. මෙතැන විනිශ්චයේ වරදක් නැහැ.

පොලිසිය ඉදිරිපත් කළ ආකාරයේ වරදක් තියෙනවා. මූලිකම දේ තමයි වරද කුමක්ද නොදැන අත්අඩංගුවට ගැනීම. මෙතැනදී එවැනි කිසිදු පටිපාටියක් පොලිසිය ක්‍රියාත්මක කරලා නැති බව පේනවා. මේ ප්‍රශ්නවලටත් වඩා මහජනතාවට තියෙන ප්‍රශ්නය තමයි, මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවක් කියලා මේ ආණ්ඩුවලට කියන්න පුළුවන්ද කියන කාරණය. විපක්ෂයටත් මේ කාරණයෙන් ගැලවෙන්න බැහැ. කම්කරු මහජනතාව ධනපති ආණ්ඩුවල මර්ධක යාන්ත්‍රනයේ ආරක්ෂාව ගැන කිසිදු විශ්වාසයක් නොතැබිය යුතුයි.

ත්‍රස්තවාදයට, වර්ගවාදයට හා රාජ්‍ය මර්දනයට එරෙහි පොදු කම්කරු මහජනතාවගේ වැඩපිළිවෙළ කුමක් ද? කම්කරු ආරක්ෂණ කොමිටි හරහා සෑම ප්‍රදේශයකම, කාර්මික නගරයකම තම ආරක්ෂාව සපයා ගන්නේ කොහොම ද කියන කාරණය ගැන සිතන්නට මහජනතාව පෙළඹිය යුතුයි. මේ ප්‍රශ්න කතා කරන්නෙ නැතිව ඒවා වසන් කිරීමක් තමයි රජය හා ව්‍යාජ වාම සංවිධාන කරන්නේ. ඊට මාධ්‍යයත් හවුල්කාරයෝ වෙලා ඉන්නවා. ගරා වැටුණ, නෂ්ටාවශේෂ වූ, ජනතාවට මරණය අත් කළ මේ ධනපති ආර්ථික ක්‍රමය මුලින් උපුටා දමා සමාජවාදය පෙරමුණ ගත්ත රාජ්‍ය පාලන තන්ත්‍රයක්, ක්‍රමයක් බිහි කරගන්න මහජනතාව පෙළ ගැහෙන්න ඕනෑ කියන එකයි අපේ මතය.

දුමින්ද අලුත්ගෙදර

 


නව අදහස දක්වන්න