අප්‍රේල් 21න් ඔබ්බට රට | දිනමිණ

අප්‍රේල් 21න් ඔබ්බට රට

කඳුළින් සේදී ගිය පාස්කු ඉරිදාව අතීතයට එක් වෙමින් තිබුණ ද එම ම්ලේච්ඡ ප්‍රහාරයේ මතකය කිසි දිනෙක අප මතකයෙන් නොමිදෙනු ඇත. එහෙත් ජාතියක් ලෙස අප එම ඉරිදාවේ තව දුරටත් නැවතී සිටිය යුතු නොවේ.

විදෙස් ආක්‍රමණවලට, ත්‍රස්වාදයට නොබියව මුහුණු දෙමින් එම අවස්ථා සාර්ථකව මැඩ පැවැත්වූ ජාතියක් ලෙස අපි ලොව පුරා පැසසුමට ලක්ව ඇත්තෙමු. ත්‍රස්තවාදයෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල ඉතා ඉක්මණින් නැවත ගොඩ නැගූ ජාතියක් ලෙස අප ආදර්ශයක් වූ බව නොරහසකි. මේ සියල්ල වෙත අප රැගෙන යනු ලැබුවේ එකම ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් තුළ ඇති අභිමානයයි.

පාස්කු ඉරිදා පාඩම

මේ රටේ සමස්තය, සරලවම වයස 25-30 මට්ටම්වලින් ඉහළ ජීවත් වන අපත් මේ හා සමාන ම්ලේච්ඡත්වයකට මුහුණු දුන් පිරිසකි. එහෙත් මේ සිදුවීම නොසලකා හැරිය යුතු හෝ ලඝු කොට සැලකිය යුතු නොවේ. වචනයෙන් කියන්නේ නම් එය ඉතාමත් කෲර, ඛේදනීය, අමානුෂික සිදුවීමකි. මිනිසුන් ලෙස අප සදාකාලිකව ජීවත් වීමට ඉපදී නැත. ඒ අතර යම් කිසි අවස්ථාවක මෙය ජීවිතයේ අප ලද අත්දැකීමක් ලෙස එසේත් නොමැති නම් පාඩමක් ලෙස එක් කර ගැනීමටත්, එතෙක් වැරදුණු තැන් නිවැරදි කර ගෙන ජීවිතයේ ඉදිරියට යාමටත් සිදු වේ. එසේ නොමැතිව සිදු වූ ව්‍යසනය පිළිබඳව සිතමින් කාලය ගත කළ හොත් කිසිවකුටත් ජීවිතයේ ඉදිරියක් දැකීමට නොහැකි වනු ඇත.

මේ අයුරින්ම අනපේක්ෂිතව 2004 වසරේ දී සුනාමි ව්‍යසනයට මුහුණ දුන් අතර එහිදී ජීවිත දහස් ගණනක් අහිමි වීමේ අත්දැකීමට මුහුණ දීමට සිදු විය.

එම ව්‍යසනයෙන් පසු ජාතියක් ලෙස නැගී සිටින්නට හැකි වීම ලොවටම ආදර්ශයක් විය. එහිදී ජාතියක් ලෙස නැගී සිටීමට පමණක් නොව ඉදිරියේ දී එවන් අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීමට ද හැකියාව ලැබිණි. ඒ අනුව අද වෙනත් රටක භූ කම්පනයක් , සුනාමියක් ඇති වුව හොත් ජාතියක් ලෙස මුහුණ දිය හැකි ක්‍රමවේදයක් මෙරට නිර්මාණය වී තිබේ. ඒ අයුරින්ම මෙම සිදුවීමද ව්‍යසනයක් ලෙස දකිමින් පාඩමක් ඉගෙන ගැනීමට හැකියාව තිබෙන්නේ නම් ඉදිරිය නිවැරදි කර ගැනීමට ඇති අවස්ථාව පිළිබඳ සැකයක් නැත‍.

මෙය වැරදීම් රැසක එකතුවක් මිස එක් වැරැද්දක් නිසා සිදු වූවක් නොවේ. එම වැරදි සියල්ල එකින් එක වටහා ගෙන ඒ සඳහා පිළිතුරු සෙවිය හැකි නම් ජාතියක් ලෙස ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබේ. මේ ව්‍යසනයේ පසුබිම වටහා ගෙන ඒවාට විසඳුම් දෙමින් ජාතියක් ලෙස ඉදිරියට යාමට අප උත්සාහ ගත යුතුය. ඒ සඳහා හොඳම උදාහරණය සුනාමියයි. ඒ අවස්ථාවේ සබඳතා කැඩී බිඳී ගහ මරා ගත් සියල්ල ගම්, නගර ජාතින් හා ආගම් සියල්ල එක් වී රටට ජාතියට වූ ව්‍යසනය ඉදිරියේ එක්ව නැගී සිටි බව සිහි කළ යුතුය. එම අවස්ථාවේ දී වෙනත් රටවලින් ආධාර ලැබීමට පෙර ලෝකයටම ආදර්ශයක් වෙමින් ශ්‍රී ලාංකිකයන් ලෙස මෙවන් අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද යන්න පෙන්වීමට අපට හැකියාව තිබිණ. ව්‍යසනයක දී මෙරට ජනතාවගේ හැසිරීම ජාත්‍යන්තරය පුදුමයට පත් කළ බව අමතක කළ යුතු නැත. මේ අවස්ථාවේ දීත් ඊට නොදෙවෙනි ක්‍රියාපටිපාටියක් මේ වන තුරුත් අපි අනුගමනය කරමින් සිටිමු. ඉදිරියට ද එය අස්වැසිල්ලක් කර ගනිමින් ඉදිරියට යා යුතුය.

ජීවිතයේ එක් සන්ධිස්ථානයක් ලෙස මෙය මතක තබා ගත යුතුය. නමුත් ඒ අවස්ථාවක් ලෙස පමණක් නොවේ. ජීවි පුද්ගලයකු අජීවී පුද්ගලයකු බවට පත් වීමේ දී සෑම පුද්ගලයකු ගෙන්ම සිදු වූ වැරදි තේරුම් ගැනීම මෙහිදී වැදගත් වේ. මෙය අමතක කරන්නේ නම් අප ජාතියක් ලෙස ඊළඟ පරම්පරාවට කරන විශාලතම සහ බරපතළම වැරැද්ද එය වනු ඇත. මේ සිදුවීම මතක තබා ගනිමින් පෞද්ගලිකව, සාමූහිකව මෙන්ම රටක් ලෙස අප සෑම කෙනකු ගේම දුර්වලතා හඳුනා ගත යුතුය. එමඟින් වඩාත් හොඳ ජවයකින් ඉදිරියට යාමේ හැකියාව අපට හිමි වේ.

ප්‍රහාරකයින් විනාශ කළ දේ බොහෝය. ප්‍රධාන වශයෙන් ජාතික සමගියට ප්‍රහාර එල්ල කිරීමට ඔවුහු උත්සාහ කළහ. යටිතල පහසුකම් හානියට වඩා විශාලතම හානිය වන්නේ අහිමි වූ ජීවිත රැසයි. ඒවාට පණ දෙන්නට අපට නොහැකිය. එසේම ජාතික සමගිය, මිනිසුන් අතර විශ්වාසය, බාලපොරොත්තු, ජීවිතය පිළිබඳ විශ්වාසය ආදි බොහෝ දේ අපට අහිමි විය.

අපේ රටේ ආර්ථිකයට සිදු වූ බලපෑම ගොඩනැගිල්ලක් ඉදි කරන වේගයෙන් ගොඩනැගිය නොහැකිය. විශේෂයෙන් රටක් ලෙස අප ගොඩනගාගෙන තිබූ අනන්‍යතාවට මෙන්ම රටේ නමට සිදු වූ හානිය සුළු පටු නොවේ. මේ අතරින් භෞතික යටිතල පහසුකම්වලට සිදු වූ හානිය කුඩාම හානිය ලෙස දැක්විය හැකිය. භෞතික හානිය කෙටි කාලයක් තුළ පිළිසකර කර ගැනීමට හැකියාව ලැබේ නම් එයද එක්තරා අයුරකින් අප ලබන ජයග්‍රහණයකි. එමගින් ජාතියක් ලෙස පන්නරයක් ලබා දිය හැකිය. එනම් ජාතියක් ලෙස එක් වන්නේ නම් සමහර දේ නැවත ගොඩනැගිය හැකිය යන අදහස සමාජගතවීමත් සමගිනි.

සුනාමියෙන් හානියට පත් දුම්රිය මාර්ගය කෙටි කාලයක් තුළ පිළිසකර කිරීම ඒ අවස්ථාවේ දී ජාතියට මහත් අස්වැසිල්ලක් වූ අයුරු මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි.

වරද කාගේ ද?

මේ සිදුවීම පිළිබඳ චෝදනාව 100% ක් එක් පාර්ශ්වයකට පැටවීම සාධාරණ නොවේ. මෙහි ප්‍රධාන වගකීම මේ රටේ සක්‍රීය සියලු දේශපාලන පක්ෂ සහ දේශපාලනය කරන සියලු දෙනාගේ කර මත තැබිය යුතුය. මේ සියලු අවස්ථා දේශපාලනීකරණය කර ගැනීමට දේශපාලඥයින් බලා සිටී. අප ඔවුන් මෝඩ හෝ සමාජ අවබෝධයක් නොමැති පිරිසක් ලෙස හැඳින්වූවාට ඔවුන් බොහෝ සූක්ෂම පිරිසක් බව අවබෝධ කර ගත යුතුය. සුනාමිය පමණක් නොව ,රටේ ඇති වන සෑම සිදුවීමක්ම දේශපාලනඥයා විසින් අවභාවිතා කරනු අපි අත්දැක ඇත්තෙමු.

රටේ බහුතරයකට ඉතා ඉක්මණින් මෙම දේශපාලනය තේරුම් ගැනීමට හැකිවේවි යැයි අප විශ්වාස කළේ නැත. දේශපාලන අවශ්‍යතා මත රටේ ජනතාව උසිගන්වන අවස්ථා අප එමට දැක තිබුණද අද වන විට රටේ බහුතරය නිවැරදි ස්ථානයේ හිට ගැනීම පිළිබඳව ආඩම්බර විය හැකිව තිබේ.

මේ විනාශය සිදු කළ අමනුස්සයින්ට සහ බහුතර දේශපාලනඥයින්ට අවශ්‍යව තිබුණේ, මීට වසරකට පමණ පෙර දිගන සිදුවීමේ දී ජනතාව හැසිරුණ ආකාරයේ හැසිරීමක් දැකීමට වුවත් 99% ක් ජනතාව බුද්ධිමත්ව, නිවැරදිව තොරතුරු කළමනාකරණය කර ගනිමින් නිවැරදි තීන්දු තීරණ ගැනීමට සමත් වූහ. එය ජාතියක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. එයම සාර්ථක ගමනක පෙරනිමිත්තක් වනවා නොඅනුමානය.

සමාජ ජාලා හේතුවෙන් බොහෝ රටවල් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන අවස්ථාවක අප තව දුරටත් මේ දේශපාලන යාන්ත්‍රණය තුළ මෝඩයින් කළ නොහැකි බවට සහ කීප දෙනෙකු එක් වී රට බේද භින්න කිරීමට දරණ උත්සාහට තව දුරටත් ඉඩක් නැති බවට ශ්‍රී ලංකාව ‍නැවතත් ලෝකයට ආදර්ශයක් ලබා දුන් බව කිව හැකිය. පාස්කු ඉරු දින ප්‍රහාරය හා ඉන් අනතුරුව සිදු වූ යම් යම් සිදුවීම් තවත් ජාතික ව්‍යසනයක් බවට පත් කිරීමට යම් පිරිසක් උත්සාහ ගත්තද එය නොහැකි විය. ඒ අනුව තමන් මෝඩ යැපෙන්නන් බව සිතා සිටින පිරිසට මේ අවස්ථාවේ ජනතාව විසින් දිය යුතු හොඳම ප්‍රතිචාරය ලබා දෙනු ලැබීණි.

පාසල් ආරම්භ කළ ද දරුවන් පාසල් නොයැවීම තුළින් ඔබ කියන දේ පිළිගැනීමට සූදානම් නැති බවටත්, ඔබ ඔබගේ රාජකාරිය පැහැර ඇති බවටත් රටේ දේශපාලන යාන්ත්‍රණයට යම් අනතුරු හැඟවීමක් කර ඇති සේම ඔවුන්ට වෙනස් වීමට කාලය පැමිණ ඇති බවට ද මෙමගින් අනතුරු හැඟවේ. ඔබ වෙනස් විය යුතුය, එසේ නොමැති වුව හොත් ඔබ අපේ නායකයින් හා නියෝජිතයින් ලෙස පිළිගැනීමට සූදානම් නැත. යන පණිවුඩය ද මේ තුළ ඇත.

මනුෂ්‍යත්වය හා සාමුහික සමාජ වගකීම

සතකුට සමූහික සමාජ වගකීමක් නැත. සතා තම පැවැත්ම වෙනුවෙන් තවත් සත්ව කොට්ඨාසයක් ඝාතනයට පෙළඹීම පුදුමයක් නොවන නමුත් මිනිසා යනු සාමුහික සමාජ වගකීමක් දරන සත්ව කොට්ඨාසයකි. මෙහිදී සතාගේ හා මිනිසාගේ වෙනස්කම හඳුනා ගත හැකිය. මේ ත්‍රස්තවාදියා ඉහත හැඳින් වූ සතාටත් වඩා පහළ මට්ටමක අයෙක්, නැත්නම් අමනුස්සයෙක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත්ම කාරණය වන්නේ, ඔහුට කිසිම දැක්මක් නොමැති බවයි. තමන්ගේම ලෙයින් උපන් දරුවා පිළිබඳවත් හැඟීමක් නැති විය හැකි එකම කොට්ඨාසය අමනුෂ්‍ය වර්ගයයි. සාමූහික වගකීමක් වෙනුවෙන් කියමින් බිහිවන ත්‍රස්තවාදී කණ්ඩායම් අප ඕනෑ තරම් දැක තිබුණ ද එවන් මුහුණුවරක් මොවුන් තුළින් කිසි සේත්ම දැකිය නොහැකිය. තමන්ගේම බිරිඳ, දරුවන් මරා දැමීමට මොවුන් පෙළඹෙන්නේ මෙම ම්ලේඡත්වය තව දුරටත් තහවුරු කරමිනි.

සමාජීය සමූහික වගකීම පැහැර හරිමින්, පටු අදෘෂ්‍යමාන ඉලක්කයක් වෙනුවෙන් කටයුතු කළ පිරිසක් ලෙස පමණක් මොවුන් හඳුන්වා දිය හැකිය. මෙවන් පරිසරයක් තුළ කළ යුතු වන්නේ මනුස්සකම නැවතත් සමාජ ගත කිරීමයි. මනුස්සයකු සතු මූලික හරයන් තම අධ්‍යාපන ක්‍රමය තුළ මොවුන් උගෙන නැති බව ඉතා පැහැදිලිය. ලොව පවතින සියලු ආගම් බිහි වී ඇත්තේ මෙකී සාමූහික සමාජ වගකීම ස්ථාපිත කිරීම වෙනුවෙනි.

බුදුන්වහන්සේ ගේ දවස මෙන්ම ක්‍රිස්තුස් වහන්සේ ගේ යුගයේත් මෙවන් ආගම් බිහිව තිබුණ ද ඒවාට පැවැත්මක් නොතිබුණේ, මෙම සාමූහික සමාජ වගකීම එතුළින් ස්ථාපිත නොවූ බැවිනි. මෙම මිනීමරුවන් කිසිදු ආගමක පිරිස් ලෙස හැඳින්විය නොහැක්කේ ‍ඔවුන් අනුගමනය කරන්නේ ආගම් න්‍යායක් නොව අමනුෂ්‍ය න්‍යායක් බව පැහැදිලි නිසාය. එසේ නම් අමනුෂ්‍ය න්‍යායකට මනුෂ්‍ය සමාජයක් තුළ කිසිසේත්ම පැවැත්මක් නැත. මේ සමාජ ක්‍රමය අමනුෂ්‍යයින් බිහි කරන්නේ නම් පමණක් මේ අමනුෂ්‍යයින් තව දුරටත් සමාජය තුළ පවතිනු ඇත.

සමාජය තුළ අමනුෂ්‍යයින් බිහි කරන ක්‍රමවේදයක් නිර්මාණය වීම පිළිබඳ චෝදනා කළ යුත්තේ අධ්‍යාපනයට නොවේ. මෙය අධ්‍යාපනය තුළ කළ හැක්කක් ද නොවේ. අමනුෂ්‍ය හා මනුෂ්‍ය භේදය ඇති කළ හැකි වන්නේ සමාජයටය. එය අධ්‍යාපනය තුළ හෝ පංති කාමරයක් තුළ කළ හැකි නොවේ.

මිනිසකු අමනුෂ්‍යයකු බවට පත් කිරීමට යම් ලෙසකින් සෑම පුද්ගලයෙකුම දායකත්වයක් ලබා දෙන බව කනගාටුවෙන් වුව සඳහන් කළ යුතු ය. ඒ අනුව තම තමන්ට වැරදුන ඒ තැන වටහා ගතහොත් එය නිවැරදි කර ගැනීමට හැකියාව ඇතිසේම එය නිවැරදි කළ හැක්කේ සමාජ ක්‍රමය තුළ පමණක්ම බව ද අව‍බෝධ කර ගත යුතුය.

ත්‍රස්තවාදයේ සීමා මායිම්

මෙවන් සමාජ විරෝධි ක්‍රියාදාමයකට, ත්‍රස්තවාදයට සීමා සටහන් කර ලඝු කළ නොහැකිය. ජාතික මට්ටමින් පැවැතියත් එය ඉතා වේගයෙන් ගෝලීයකරණය කිරීමේ පරිසරය මේ වන විට පවතී. පටු, පෞද්ගලික අරමුණු වෙනුවෙන් මෙවන් ම්ලේච්ඡ ක්‍රියාවලින් සතුටු ‍වන පිරිසක් මෙන්ම ප්‍රතිලාභ ලබන පිරිස් ද සිටින බව අප අමතක නොකළ යුතුය. එක් ත්‍රස්තවාදියකුගේ බිරිඳ හා දරුවා ජීවතුන් අතර සිටියදී තම පුත්‍රයා බෝම්බයෙන් කෑළි කෑළි වන අයුරු ‍එම මව දකී. මෙවන් දේ පුද්ගලයකුට දරා ගත හැකි නොවේ. නමුත් ඒ තත්ත්වයට ඔවුන් පත් කර තිබේ.

ඒ දුක වේදනාව තුළ සතුටක් සොයන පිරිසක් කොතැන හෝ සිටින බව විශ්වාස කිරීමට පවා අපි අකමැත්තෙමු. ත්‍රස්තවාදයට සීමා මායිම් නොමැති නමුත් ගෝලීය හෝ ජාතික වශයෙන් එයට සීමා පැමිණවීම ඉන් එළියට ඒමට බාධක පමුණුවා ගැනීමකි. මෙය ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් ලෙස හඳුන්වමින් සිටීමෙන් එයින් මිදීමට ඇති අවස්ථා අප විසින්ම වළකා ගනු ලැබේ. ජාත්‍යන්තර හෝ ජාතික වේවා මෙය අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදයයි. එය මනුෂ්‍යත්වය තුළින් පරාජය කළ යුතු අමනුෂ්‍ය ක්‍රියාවලියකි.

ත්‍රස්තවාදය පරාජය කිරීම

මේ ත්‍රස්තවාදය ලංකාව තුළ පරාජයට පත් කළ හැකිය. සියලු පුද්ගලයන් තමන්ගේ යුතුකම තේරුම් ගැනීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් ය. දේශපාලනඥයාට කාර්යභාරය වටහා ගත හැකි නම්, තම රටේ රාජකාරි කරන සෑම පුද්ගලයකුටම තමා සතු වගකීම වටහා ගෙන ඒ අනුව ක්‍රියා කළ හැකි නම් මේ ත්‍රස්තවාදය පරාජය කිරීම අපහසු නැත. අවාසනාවට මේ රටේ එවන් බැඳීමක් නොමැති එකම පිරිස දේශපාලනඥයා පමණි.

දේශපාලනඥයකු උපාධිධාරියකු විය යුතු නැතත් තමන්ගේ නොහැකියාව තේරුම් ගැනීමට හැකි මූලික සුදුසුකමවත් ඔහුට තිබිය යුතුය. මේ අවස්ථාවේ ඔවුන් ඒ බව වටහා නොගන්නේ නම් එය තේරුම් කර දීමට අපට සිදුවේ. ජනතාවට හැදෙන්නට යැයි ඇඟිල්ල දිගු කිරීමට පෙර, ඔවුගේ නොහැකියාව තේරුම් ගන්නා ලෙස දේශපාලනඥයාට ඇඟිල්ල දිගු කිරීමට ජනතාවට වගකීමක් ඇත. හැකියාවට තැන ලබා දෙන දේශපාලන යාන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක නොවේ.

ව්‍යසනයකට මුහුණ දුන් අවස්ථාවේ එයින් රට මුදා ගැනීමට හැකි අධ්‍යාපනයක් මෙන්ම ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ පුහුණුවක් හා පළපුරුද්දක් ඇති පරිපාල‍කයෝ මෙ රට සිටින බව සිහිපත් කළ යුතුය. ඒ පිළිබඳ මනා අවබෝධයක් සහ පුහුණුව ලත් බුද්ධි අංශයක් අප සතුය. ඒ පිළිබඳ ප්‍රවීණත්වයක් ලත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අප රට සතුය. එහෙත් අවාසනාවට දේශපාලනඥයින් විසින් අනවශ්‍ය බලපෑම් කිරීම නිසා මෙම පිරිසට ඔවුන් ගේ රාජකාරිය පැහැර හැරීමට සිදුවේ. නූගත්, නොතේරෙන, නොදන්න පිරිසක් සමග තව දුරටත් රාජකාරි කිරීමට ඔවුන්ට හැකියාව නැත. එබැවින් දක්ෂයින් මේ කටයුත්තෙන් ඉවත් වේ. එයින් සිදු වන්නේ තත්ත්වය අවුලෙන් අවුලට පත් වීම ය.

මෙය ජාතීන් අතර හෝ ආගම් අතර ගැටලුවක් නොවන බව වටහා ගත යුතුය. රට තුළ එක් නීතියක් නොමැති වීමට හේතුව පවතින දේශපාලන යාන්ත්‍රණයයි. ඒ තුළින් ක්‍රියාත්මක වන්නේ රටේ බහුතරයේ කැමැත්ත නොවේ. කෙසේ වුවත් මෙරට බුද්ධිමත් ජනතාව මේ වන විට ඔවුන්ගේ වගකීම ඉටු කරමින් සිටින බව පෙනේ. දේශපාලනයට අවශ්‍ය විදියට කටයුතු කිරීමට තව දුරටත් සූදානම් නැති බව ඔවුන් පෙන්වා දී තිබේ. එසේ නම් එම කියවීම තේරුම් ගෙන, තමන් දරන මතවාදයෙන් හා දේශපාලන යාන්ත්‍රණයෙන් එළියට පැමිණ රටේ බහුතරය නියෝජනය කරන තත්ත්වයට පත් වීමට රට පිළිබඳව අවබෝධයක්, ආදරයක් ඇති දේශපාලනඥයින්ට සිදු වේ. එය ඒ ආකාරයෙන්ම සිදු වන්නේ නම් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම ද අපහසු නොවනු ඇත.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූප- හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න