ත්‍රස්ත මෙහෙ­යු­මක වීර චාරි­කාව | දිනමිණ

ත්‍රස්ත මෙහෙ­යු­මක වීර චාරි­කාව

ආගමකට අන්තවාදයක් නැත. එහෙත් ආගම අන්තවාදයක් කර ගත් පිරිස් නිසා සර්වාගමිකයන්ගේම සාමකාමී දිවි පෙවෙතට එල්ලවී ඇත්තේ විශාල තර්ජනයකි. මේ තර්ජනය පොදුවේ සමස්ත ලෝකවාසීන්ටම එකසේ බලපායි. අබ්දුල් සුභාන් කුරේෂි යනු ඉන්ඩියන් මුජාහිදීන් නම් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයාය. ඔහුට ඉන්දියාවේ ඔසාමා බින් ලාඩ්න් යනුවෙන් ද පටබැඳි නමකි.

ඉන්ඩියන් මුජාහිදීන් වසර 2010 දී ඇරැඹුණු අතර මේ වන විට ඉන්දියාවේ තහනම් කර ඇති ත්‍රස්ත සංවිධානයකි. රහසිගත මෙහෙයුමකින් එක් වෙඩි උණ්ඩයක් හෝ යොදා නොගෙන දරුණු ත්‍රස්තවාදියා ඇල්ලීමට දක්ෂ බිහාරයේ ඉන්දියානු ආරක්ෂක නිලධාරීහු පස්දෙනෙක් සමත්වූහ.

ඒ රජයෙන් විශේෂ පහසුකම් නොලබමින් තම ජීවිත අවදානමට ලක්කරගනිමිනි. බුද්ධි අංශයේ නිලධාරීන් ලද විජයග්‍රහණය ඉතිහාසගතවී ඇත්තේ ‘මානව බුද්ධියේ විජයග්‍රහණ‘ලෙසය. INDIA'S MOST WANTED (ඉන්දියාස් මෝස්ට් වෝන්ටඩ්) නිර්මාණය අධ්‍යක්ෂ ගුප්තාගෙන් ඔවුනට පිදෙන උපහාරයයි.

ඉන්දියාස් මෝස්ට්වෝන්ටඩ් සිනමා පටයේ කතාව ගෙතී ඇත්තේ ප්‍රභාත් කපූර් නම් නිලධාරියාගේ ත්‍රස්ත මෙහෙයුමේ වීර චාරිකාව පිළිබඳවය. රාජ් කුමාර් ගුප්තා ‍ක්‍රියාදාම භයානක රසය පිරි සිනමා පටයේ කතා නායකයාගේ චරිතයට මුල සිටම තෝරාගෙන සිටියේ අර්ජුන් කපූර්ය.

අර්ජුන් පණ පොවන්නේ ප්‍රභාත් කුමාර් නම් පත්නා පොලීසියේ බුද්ධි අංශ නිලධාරියාගේ චරිතයයි. ඔහුත් සමඟ සේවය කරන සෙසු නිලධාරීන්ගේ චරිත ප්‍රශාන්ත් ඇලෙක්සැන්ඩර්, අසීෆ් ඛාන්, දේවේන්ද්‍ර මිශ්‍රා, රාජේශ් ෂර්මා, ප්‍රවීන් සිසෝද්‍යා විසින් රඟනු ලැබේ.

අර්ජුන් රහස් පරීක්ෂකයකුගේ සහ ජාතික වීරයකුගේ චරිතය තිරයේ නිරූපණය කරන්නේ ප්‍රථම වරටය. ඔහු චරිතය රඟපෑමට පෙර පොලිස් නිලධාරීන් කීප දෙනකු මුණ ගැසී ආරක්ෂක නිලධාරීන්ගේ දිවි පෙවෙත ගැන තොරතුරු සොයාගෙන තිබේ. තමන් වාණිජ ධාරාවේ නළුවකුයැයි සිතූ ඔහු මුලින් චරිතය ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත වීර චාරිකාවක වීර චරිතයට හදවතින්ම දෙබස් පවසමින් නළුවකු මෙන් නොව අතිශය සාමාන්‍ය පුද්ගලයකුසේ ඔහු පණ පොවා ඇත. සිනමා පටයේ සංගීතය ජාතික සම්මානලාභී සංගීතවේදී අමිත් ත්‍රිවේදිගෙනි. ‘අකේලා‘ සිනමා පටයේ අන්තර්ගත එකම ගීතයයි. සිනමා පටය මැයි 24 වැනි දින සිට තිරගත කෙරෙයි.

චම්පිකා දීපානි රණ­සිංහ

නව අදහස දක්වන්න