ජනතාව පෙළ ගැසෙති! | දිනමිණ

ජනතාව පෙළ ගැසෙති!

වෙසක් දින දෙක දෙස ආපසු හැරී බලන්න! පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පැතිර ගිය ගැඹුරු නිහඬතාව එකවර පහව ‍ගියේ ය. ඉහත ප්‍රහාරයෙන් පසු ව්‍යාප්ත වූ අදහාගත නොහැකි භීතිය ද අතුරුදන්ව ගියේ ය. බියගැන්වීම්, අසත්‍ය ප්‍රචාර හා උප්පරවැට්ටි නොසැලකූ පොදු ජනයා එකාවන්ව පෙළගැසෙන්නට පටන් ගත්තේ ය. කතෝලික දේවස්ථානවල බෞද්ධ කොඩි ලෙළ දුන්නේය. ඉස්ලාම් පල්ලිවල බෞද්ධ ධර්ම දේශනා ආරම්භ විය. රට පුරා වීදි - ගම් - නගර - මහ නගර සැරසිලිවලින් අලංකෘත විය. ඒවා සිදුකරන ලද්දේ බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් පින්වතුන්ගේ එකමුතුවෙන් ය. මුළු රට ම අඳුරෙන් ආලෝකය කරා ගමන් කරන බව ඉතා පැහැදිලි ය.

වෙනත් වෙසක් සමයක දකින්නට නැති ප්‍රබෝධයක් මෙවර මතු වී තිබේ. ආගම් භේදයකින් හෝ ජාති භේදයකින් හෝ තොරව මුළු රට ම වෙසක් සැමරීමට ඉදිරිපත් වීම ඊට හේතු - සාධක වී තිබේ. මේ ‍නව ප්‍රබෝධය දුටු ශ්‍රී ලංකාවේ තෙවන පුරවැසියා වන කථානායකවරයා කියා සිටියේ වෙසක් සැමරූ ආකාරයට ම ර‍ටේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා ද ජනතාව එකාවන්ව පෙළගැසී සිටීම වැදගත් බව ය. මේ නව ප්‍රබෝධය දුටු ශ්‍රී ලංකාවේ දෙවන පුරවැසියා වන අගමැතිවරයා කියා සිටියේ පිළිම හා ගොඩනැගිලි විනාශ කළ ද මිනිස් සිතෙහි පහළ වන ධෛර්යය හා අධිෂ්ඨානය කිසිවකුටත් බිඳ දැමිය නොහැකි බව ය. ශ්‍රී ලංකාවේ පළමුවන පුරවැසියා වන ජනපතිවරයා කියා සිටින්නේ රට ආපස්සට හරවන්නට කිසිදු ඉඩක් නොදෙන බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ කතෝලිකයන් පෙන්වා දුන්නේ වෛරය හා පළිගැනීම වෙනුවට මෛත්‍රිය හා සාමය පතුරුවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ය. එය මුළුමහත් ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වූ කාරණයක් විය. එහෙත් කඩාකප්පල්කාරීන් කිහිපදෙනකු විසින් එය විනාශ කරන ලදි. රටේ ස්ථාන ගණනාවකින් ජාතිවාදී පහරදීම් හා ආගම්වාදී පහරදීම් වාර්තා විය. ඒවා මර්දනය කිරීමට ආරක්ෂක අංශ සමත් වුව ද ලෝකය අප දෙස වපර ඇසින් බලන්නට පටන් ගත්තේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අප වෙත විවේචනයක් ඉදිරිපත් ක රමින් පහරදීම් ගැන වාර්තාවක් ද ඉල්ලා සිටියේ ය.

ජාතිවාදී හා ආගම්වාදී ප්‍රහාර සංවිධානය කළෝ කවරහු ද? ඒවා පසුපස සිට අනුග්‍රාහකත්වය සැපයූවෝ කවරහු ද? දැන් ඔවුන් හෙළිදරව් වන්නට පටන්ගෙන තිබේ. මිනුවන්ගොඩ ප්‍රහාර මෙහෙයවා ඇත්තේ ප්‍රාදේශීය දේශපාලකයෙකි. වයඹ ප්‍රහාර මෙහෙයවා ඇත්තේ දේශපාලකයන් කිහිප දෙනෙකි. අදහස් හා මතවාද අතින් සමස්ත සමාජය ඉදිරියට ගොස් ඇතැ'යි කියන'මුත් දේශපාලකයන්ගෙන් කොටසක් තව ම වනචාරී යුගයේ ජීවත්වන බව පෙනෙයි. ජාතිය - ආගම - කුලය හා බලය දඩමීමා කරගෙන ක්‍රියාත්මක වන දේශපාලනයක් අපේ රට තුළ තිබේ. එය පරාජය නො කොට රට ඉදිරිගාමී තැනකට ගෙන යෑම දුෂ්කර ය.

ඇතැම් දේශපාලකයන් දේශනා කරන වැදි බණ පිළිගැනීමට ජනතාව සූදානම් නැති බව මේ වෙසක් උත්සවය අපට පසක් කර සිටී. පන්සල්වලට පහර දෙනවා, සිල් ගන්නට එපා, තොරණ ගසන්නට එපා, දන්සල් දෙන්නට එපා, වන්දනා ගමන් යන්නට එපා යැයි දේශපාලන ප්‍රචාරයක් පැතිර ගියේ ය. මෙය දේශපාලන ප්‍රචාරයක් ලෙස හඳුන්වන්නේ දේශපාලන පක්ෂ කිහිපයක් මේ ප්‍රචාරය පසුපස සිටි නිසා ය. භීතිය, නිහඬතාව හා අවිශ්වාසය පැතිර යන තරමට ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට වාසි සැලසෙයි. එම ව්‍යාපාරවල අරමුණ වාසිය උපරිම කරගනිමින් පවතින ආණ්ඩුව අපහසුවට පත්කිරීම ය. එහෙත් ජනතාව ඒවා තඹ දොයිතුවකට නොසැලකූ බව පසුගිය දින දෙකෙහි අත්දැකීම් අපට පෙන්වා දෙයි.

රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බවට ද, ජනතාව අනාරක්ෂිත බවට ද තවත් ප්‍රචාරයක් යයි. එය ද දේශපාලනික ය. මේ ප්‍රචාරය නිසා මව්පියන් සිය දරුවන් පාසලට යැව්වේ නැත. එක්තරා දේශපාලකයෙක් ප්‍රසිද්ධියේ කියා සිටියේ මගේ දරුවන් පාසලට යවන්නේ නැත. ඔබේ දරුවාත් පාසලට යවන්නට එපා යන්න ය. කිසිදු පාසලකින් කිසිදු සිද්ධියක් වාර්තා වූයේ නැත. පාසල්වලට පහර දීමේ සැලැසුමක් ගැන බුද්ධි අංශ වාර්තා කර තිබුණේ නැත. එසේ වුව පාසල්වලට උපරිම ආරක්ෂාවක් සපයා තිබිණි. වෙසක් දින දෙකෙහි සිද්ධි මාලාවත් සමඟ පවතින භීතිය පහව යනු ඇතැ'යි සිතන්නට පුළුවන. අද යළිත් පාසල් විවෘත වන අතර දරුවන්ගේ පැමිණීම ඉතා හොඳ මට්ටමකට එනු ඇතැ'යි සිතන්නට පුළුවන.

ජනතාව බුද්ධිමත් ව පෙළගැසෙන්නේ නම්; බොරු මතවාද මෙන් ම බොරුකාර දේශපාලකයන් ද වේදිකාවෙන් බිමට දැමිය හැකි ය. ඊට අවශ්‍ය පළමු පෙළගැස්ම වෙසක් දින දෙකේ දී පරිපූර්ණ විය. මේ අත්දැකීම අපට කියා දෙන පළමු පාඩම වන්නේ සාමාන්‍ය ජනතාව දිගින් - දිගට ම මුලාවේ දැමිය නො හැකි බව ය. එහි දෙවන පාඩම වන්නේ දේශපාලන පක්ෂ, ව්‍යාපාර හා ඒවායේ නායකයන්ට වඩා පොදු ජනතාව සාමයට හා සංහිඳියාවට සමීප බව ය. එහි තෙවන පාඩම වන්නේ ජනතා පෙළගැසීමක් දේශපාලකයන්ට ආපසු හැරවිය නොහැකි බව ය. මේ තත්ත්වය වඩාත් හොඳින් වටහාගත යුත්තේ රට වනසන ව්‍යාපාරවලට සම්බන්ධ දේශපාලකයන් ය.

කළු වලාකුළු මැදින් රිදී රේඛා ඇ‍ඳෙයි. දීර්ඝ නියං සමය නිමා කරමින් පොද වැස්ස වැටෙයි. සෑම විපත්තියක් පසුපස ම ජයග්‍රහණයේ මාවත් තිබේ.

සිය ඇදහිල්ලේ උතුම්ම දිනයක නොදැනුවත්වම මුහුණ දුන් ඛේදනීය අත්දැකීමට අද එනම් 21 වැනිදාට හරියටම මාසයක් කල් පිරිණි. මේ කාලය පුරාවට මුහුණ දුන් අභියෝග අද ජනතාවට යා යුතු මාර්ගය පෙන්වා දී ඇත.


නව අදහස දක්වන්න