ප්‍රශ්න කිරීමට කැඳවූවත් මධුමාධව පොලිසියට ඇවිත් නෑ | දිනමිණ

ප්‍රශ්න කිරීමට කැඳවූවත් මධුමාධව පොලිසියට ඇවිත් නෑ

ගයාන් කුමාර වීරසිංහ

මිනුවන්ගොඩ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රශ්න කිරීමට කැඳවනු ලැබූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක කොළඹ මහා නගර සභාවේ හිටපු මන්ත්‍රී මධුමාධව අරවින්ද මහතාව ඊයේත් (20) මිනුවන්ගොඩ පොලිසිය හමුවේ පෙනී නොසිටියේය.

මධුමාධව අරවින්ද මහතාට පෙරේදා(19) දිනයේත් මිනුවන්ගොඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද එදිනත් ඔහු පොලිසියට නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මිනුවන්ගොඩ පොලිසිය හමුවේ ඊයේ(20) පෙරවරු 10.00ට පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇතත් ඔහු ඊයේත් පොලිසිය මගහැර ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

පසුගිය 13 වෙනිදා මිනුවන්ගොඩ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ දී මධුමාධව අරවින්ද මහතා සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට ඇති බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇතැයි ද එම නිලධාරියා පැවැසීය. දිගින් දිගටම ඔහු පොලිසිය මග හැර සිටින්නේ නම් ඊටද පිළියම් ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මධුමාධව අරවින්ද මහතාව මුලින්ම මිනුවන්ගොඩ පොලිසිය හමුවට කැඳවනු ලැබුවේ පසුගිය 15 වෙනිදාය. එදින ඔහු මිනුවන්ගොඩ පොලිසියට පැමිණ පැය තුනකට ආසන්න කාලයක් රැදී සිටියත් කිසිදු පොලිස් නිලධාරියෙක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණේ නැත. අනතුරුව ඔහු පොලිස් ස්ථානයෙන් පිටව යන්නේ නැවත කැඳවීමක් ලද සැනින් පොලිස් ස්ථානයේ පෙනී සිටින බව සඳහන් කරමිනි.


නව අදහස දක්වන්න