අභියෝග මැද පෙරට | දිනමිණ

අභියෝග මැද පෙරට

ශ්‍රී ලංකාව පසුගිය වසරේදී (2017) වාර්තා කරන ලද සියයට 3.4 ක ආර්ථික සංවර්ධන වේගයට සාපේක්ෂව 2018 දී සියයට 3.2 ක ආර්ථික සංවර්ධන වේගයක් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු 2018 වාර්තාව කියයි.

2019 ආර්ථික වර්ධනය 2018 ට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවට මහබැංකු අධිපතිවරයා ද පසුගියදා අනාවැකියක් පළ කෙළේ ය. එහෙත් ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් මෙයට විරුද්ධ මත පළ කරමින් සංචාරක කර්මාන්තය සහ ඍජු විදේශ ආයෝජන උකහා ගැනීම් අඩුවිය හැකි බවට තර්ක ඉදිරිපත් කළහ.

ඇඟලුම් කර්මාන්තයේ ඇනවුම් සපුරාගැනීම ප්‍රමාදවීමට ඇති ඉඩකඩ බහුල යැයි ද, වැඩකරන දින ගණන අඩුවීම හා ශ්‍රමිකයන්ගේ දුර්වල පලදායකත්වය නිසා ඇඟලුම් අපනයන ආදායම් අඩුවීමට ඉඩ ඇතැයි ද ඇතැම් පාර්ශ්ව මගින් කියැවිණි.

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ඩේලිනිවුස් පුවත්පතට ගිය සතියේ ප්‍රකාශ කර තිබුණේ 2019 ඇඟලුම් අපනයන ඉලක්ක සපුරාගැනීම අපහසු වියහැකි බවයි. ඇතැම් ගැනුම්කරුවන් ඔවුනගේ නිල සංචාර වෙනස් කිරීමට පවා කටයුතු කර ඇතැයි ද ඔහු පවසා තිබුණි. සමහර ගැනුම්කරුවන් මිල දී ගැනීමේ ගිවිසුම් අවලංගු කරන තරමට දුරදිග ගොස් ඇතැයි ද ඔහු තවදුරටත් පවසා තිබුණි.

රටේ තත්ත්වය යථා තත්ත්වයට පත්වීම අත්‍යවශ්‍ය ව්‍යාපාරික සාධකයක් යැයි එම සංගමයේ සාමාජිකයන් පැවසූ බව ද එම ලිපියේ සඳහන් විය. රටේ අපනයනයෙන් සියයට 44.7 ක දායකත්වයක් රෙදිපිළි සහ ඇඟලුම් අංශයට හිමි වේ. එහෙයින් ඇඟලුම් කර්මාන්තය අඩාල කරවන කිසිදු පියවරකට වගකිවයුතු අංශ ඉඩක් දෙන්නේ නැත.

ඇඟලුම් අපනයනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්තාව ඇඟලුම් අපනයනය ගැන මෙසේ කියයි.

“2018 වසර තුළදී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව එ.ජනපද ඩොලර් දසලක්ෂ 5318 දක්වා සියයට 5.7 ක වර්ධනයක් වාර්තා කළා විය.

යුරෝපා කලාපයේ විශාලතම වෙළෙඳ පොළ වන එක්සත් රාජධානිය වෙතින් වූ ඉල්ලුම පහත වැටුණ ද, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ස්වීඩනය වෙතින් වූ ඉල්ලුම ඉහළ යෑමෙන් යුරෝපා වෙළෙඳ පොළ වෙත සිදුකළ ඇඟලුම් අපනයනවලින් ලද ආදායම එ.ජා.ඩොලර් මිලියන 2053 දක්වා සියයට 3.6 කින් වර්ධනය විය.” (පිට 153).”

යුරෝපා සංගම කලාපය ඇඟලුම් කලාපයේ අපනයන කටයුතු වර්ධනය වීමට 2017 වසරේ මැයි මාසයේ සිට ප්‍රතිෂ්ඨාපනය කරන ලද යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය හේතු විය.

අමෙරිකා එක්සත් ජනපදය වෙත 2018 දී සිදු කළ ඇඟලුම් අපනයන ආදායම සියයට 6.0 කින් වැඩිවිය. ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ මෙක්සිකෝව වැනි සම්ප්‍රදායික නොවන වෙළෙඳ පොළවල් මගින් ලද ඇඟලුම් අපනයන ආදායමද සියයට 3.5 කින් වර්ධනය විය.

යුරෝපා වෙළෙඳ පොළ එක්සත් ජනපදය, ඉන්දියාව, වියට්නාමය සහ තුර්කිය වෙතින් රෙදිපිළි සහ අනෙකුත් නිමකළ රෙදිපිළි ද්‍රව්‍ය සඳහා වූ ඉල්ලුම ඉහළ යෑමෙන් 2018 දී මේ කාණ්ඩවලින් ලද අපනයන ආදායම පිළිවෙළින් සියයට 26.6 කින්, සියයට 10.9කින් ඉහළ ගියේ ය.

සේවා අංශයෙන් සියයට 4.7 ක වර්ධනයක් ද කෘෂිකර්මාන්ත අංශයෙන් සියයට 4.8 ක වර්ධනයක්ද අත්කර ගත් බව කියන මහ බැංකු වාර්තාව 2018 ඉදිකිරීම් අංශයේ පසුබෑම හේතුවෙන් කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 0.9 දක්වා මන්දගාමී වූ බවද කියයි.

2018 මහබැංකු වාර්තාව පෙන්වා දෙන අන්දමට අපනයන ආදායම ඉක්මවා ආනයන වියදම වැඩිවීම නිසා ඉතිහාසයේ පළමු වතාවට රටේ වෙළෙඳ හිඟය එ.ජනපද ඩොලර් බිලියන 10 දක්වා 2018 දී ඉහළ ගියේ ය. අනවශ්‍ය ආනයන අඩුකිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග යෝජනා වුවද, ඒවා ක්‍රියාත්මක නොවීම වෙළෙඳ හිඟය පුළුල් කිරීමට බලපෑ එක් හේතුවකි.

දේශීයව වගා කරගත හැකි එළවළු, පලතුරු සහ ආහාර බෝග රට තුළ නිපදවාගැනීමේ වැඩසටහන් කීපයක් ඇරැඹිණි. ඒ අතරින් වී වගාවේ නිෂ්පාදනය ඉහළ යෑම 2018 දී දක්නට ලැබිණි. එම වසරේ වී නිෂ්පාදනය ඉකුත් වසරට සාපේක්ෂව සියයට 64.9 කින් වර්ධනය විය. 2017 වී නිෂ්පාදනය මෙ.ටොන් 2383000 ක් වූ අතර 2018 දී එය මෙ.ටොන් 3930 000 ක් විය. මේ නිසා සහල් ආනයනය අඩුවිය. 2017 වසරේ ටොන් 7,48 000 ක් වූ සහල් ආනයනය සහල් මෙ.ටොන් 249000 දක්වා අඩුම වෙළෙඳ ශේෂයේ වාසියක් ශ්‍රී ලංකාවට හිමි විය.

එහෙත් පලතුරු ආනයනය සහ අපනයනය සසඳා බැලීමෙන් අපනයන ආදායම පරදා ආනයන වියදම ඉහළ ගොස් ඇති අන්දම පැහැදිලි වේ. ශ්‍රී ලංකාව 2018 වසරේදී පලතුරු කිලෝ ග්‍රෑම් මිලියන 37.4 ක් අපනයනය කර එමගින් රුපියල් බිලියන 6.3 ක් උපයා ගන්නා ලදී. එහෙත් ඇපල්, මැන්ඩරින්, දොඩම් සහ මිදි ඇතුළු නැවුම් පලතුරු කිලෝග්‍රෑම් මිලියන 78.7 ක් ආනයනය කර ඒ සඳහා රුපියල් බිලියන 14.2 ක් වැය කර ඇත. ඒ නිසා පලතුරු අංශයේ වෙළෙඳ පරතරය රුපියල් බිලියන හතකට ආසන්න වේ. ගිය වසරේ ද තත්ත්වය මේ හා සමානය.

එළවළු අංශයේ ආනයනය සහ අපනයනයද මෙයට සමානය. එළවළු අපනයනයෙන් රුපියල් බිලියන 4.6 ක් 2018 දී උපයාගත් නමුත් එළවළු අපනයන ආදායම පරදා ආනයන වියදම රුපියල් බිලියන 49.1 ක් දක්වා ඉහළ ගොස් ඇත. එළවළු කිලෝ ග්‍රෑම් දස ලක්ෂ 738.2ක් ආනයනය කර ඇත.

වෙනත් ක්ෂේත්‍ර බෝග වගා ගැන කියන මහ බැංකු වාර්තාව පෙර වසර හා සැසඳීමේදී බඩඉරිඟු , කුරක්කන්, අර්තාපල්, මුංඇට, උඳු, රටකජු සහ කව්පි නිෂ්පාදනය ඉහළ ගියත්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ ඉදල් ඉරිගු නිෂ්පාදනය පහත වැටුණු බව කියයි.

ලොකු ලූනු නිෂ්පාදනය පහළ යෑම නිසා ලොකු ලූනු මෙට්‍රික් ටොන් 246237 ක් 2018 දී ආනයනය කිරීමට සිදු විය.

ලොකු ලූනු වගාව මාතලේ, කුරුණෑගල, පුත්තලම , යාපනය,අනුරාධපුරය , වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි ඉතා බහුල ව සිදු වූ ආහාර බෝග වගාවකි. දේශීය වශයෙන් ‍ලොකු ලූනු මෙට්‍රික් ටොන් 59000ක් නිපදවා ගැනීමට 2010 දී ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි. එහෙත් 2017 වනවිට දේශීය නිෂ්පාදනය මෙ.ටොන් 54,000 කි. 2018 දී දේශීය නිෂ්පාදනය මෙ.ටොන් 28,000 දක්වා අඩු විය.

2014 දී ලොකු ලූනු පිටරටින් ගෙන්වීම සඳහා රුපියල් දසලක්ෂ 8529 ක් වැය කළ අතර 2018 දී ඒ සඳහා වැය කළ මුදල රුපියල් දසලක්ෂ 17,500 කි. මේ මුදල වත්මන් විනිමය අගය හා සසඳන කළ ඇ.ඩොලර් දස ලක්ෂ 109 කි.

පසුගිය සතියේ පුවත්පත් වාර්තා කීපයකින්ම කියැවුණේ මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු වගා බිම් ප්‍රමාණය අඩුවන අතර ගොවීන් ක්‍රමයෙන් ලොකු ලූණු වගාවෙන් ඉවත්වන බවයි. ගලේවෙල ප්‍රදේශයේ ද ලොකු ලූණු වගා ක්‍රමයෙන් පිරිහෙන බවට චෝදනා නැගිණි. දේශීය ගොවීන් රැක ගැනීම වෙනුවෙන් 2018 නොවැම්බර් 01 වැනිදා අර්තාපල් හා ලූණු කිලෝවකට රුපියල් 40 ක බද්දක් පනවන ලදී. ලොකු ලූණු වගාව සඳහා අවශ්‍ය ලූනු බීජ නිෂ්පාදනය දක්වා ලූණු ‍ගොවියා ඉදිරියට ගමන් කළත් සිය නිෂ්පාදන අලෙවි කිරීමේ විධිමත් ක්‍රියා පිළිවෙතක් නැති නිසා තමන් ලොකු ලූණු බීජ නිෂ්පාදනයෙන් ඉවත්වන බවට බීජ නිෂ්පාදන ගොවියෝ අනතුරු ඇඟවීම් කළහ.

ලොකු ලූණු වගාව නැවත නගාසිටුවීම මගින් විදේශ වත්කම් රැකගත හැකි වන අතර උක් වගාවද මේ ගැටලුවට මුහුණ දෙන නිසා දේශීය සීනි නිෂ්පාදනය අඩුවීම 2018 දී දක්නට ලැබුණි. අඹරන ලද උක් දඬු ප්‍රමාණය 2017 දී මෙ.ටොන් 746607 ක් වුවද 2018 එය මෙ.ටොන් 720259 දක්වා අඩුවිය. මෙහි ප්‍රතිඵලය ලෙස වාර්ෂික සීනි නිෂ්පාදනය සියයට 7.7 ක පහත වැටීමක් වාර්තා විය. මෙහිදී ද සිදුවූයේ ආනයනය ඉහළ යෑමයි.

දේශීය සීනි නිෂ්පාදනය පහත වැටීමට විවිධ කාලගුණික තත්ත්වයන්ද බලපෑ බව සත්‍යයකි. 2017 දී සීනි ආනයනය මෙ.ටොන් 497957 ක් වූ අතර 2018 සීනි ආනයනය මෙ.ටොන් 644675 දක්වා සියයට 29.5 කින් ඉහළ ගියේ ය. මේ වෙනුවෙන් වැය කිරීමට සිදු වූ මුදල ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 645 කි. එය ලංකා රුපියල් දසලක්ෂ 40045 කි. 2018 වනවිට ලෝක වෙළෙඳ පොළේ සීනි මිල අඩුවීම නිසා ලංකා‍වට විනිමය අතින් වාසියක් සිදු වූ බවද මෙහිදී සඳහන් කළ යුතුව තිබේ. 2018 සීනි මෙට්‍රික් ටොන් 1 ක සාමාන්‍ය මිල රුපියල් 62116.82 ක් වූ අතර 2017 දී සීනි මෙ.ටොන් එකක සාමාන්‍ය මිල වාර්තා වූයේ රුපියල් 78402.39 ක් ලෙසිනි.

මේ අනුව බලනවිට රටේ වෙළෙඳ හිඟය අඩුකිරීමට දේශීයව වගාකර ගත හැකි දේ රට තුළම නිෂ්පාදනය කර ගැනීම ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති එක් විසඳුමකි. රටේ සේවා අපනයන ඉහළ ගිය ද විදේශ ණය මත පොලී ගෙවීම්, විදේශ සේවා නියුක්තික ප්‍රේෂණ ලැබීම් මන්දගාමිවීම ආදි කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමද ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ප්‍රශ්න බව ආර්ථික විද්‍යාඥයෝ අවධාරණය කළහ.

පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාව ගැන සිය අදහස් ප්‍රකාශ කළා ය.

ඉකුත් 17 වැනි දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කෙළේ පාස්කු දින ප්‍රහාරයත් සමඟ ඇති වූ ආර්ථික කැළඹීම ගැන නිශ්චිත ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට තවම වේලාසන වැඩියි යනුවෙනි. කෙසේ වුවත් 2019 ආර්ථික වර්ධනය සියයට 3.5 ක වේගයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වනු ඇතැයි ද එම ප්‍රකාශයේ සඳහන් ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ කාර්යාල ප්‍රධානි මැනුවෙල ගර්ටි රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ රට සාමකාමී බවට පත්වීමත් සමඟ ඊට සමගාමිව ආර්ථිකය යහපත් වනු දැකිය හැකි බවයි.

ශ්‍රී ලංකාවට හිමිවන ඇ.ඩොලර් බිලියන 1.5 ණය මුදලේඉතිරි වාරිකය ශ්‍රී ලංකාවට හිමිවන බව ස්ථිර කළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් නියෝජිතයා ශ්‍රී ලංකාවේ විදේශ ණය වාරික ගෙවීමේ හැකියාව ධනාත්මක මට්ටමක තිබෙන බවද රොයිටර්ට පවසා ඇත.

2018 වර්ෂයේ කලාපීය සංවර්ධනය පිළිබඳ කරුණු දැක්වෙන වාර්තාවක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව 3.2 ක සංවර්ධන වේගයක් අත්කර ගත්ත ද, මියන්මාරය අත්කරගෙන ඇත්තේ 2.10 ක වර්ධනයකි. චීනය 6.57 ක වර්ධනයක්ද, ඉන්දියාව 7.05 ක වර්ධනයක් ද, නේපාලය 6.29 ක වර්ධනයක් ද බංගලි දේශය 7.7 ක වර්ධනයක් ද, පිලිපීනය 6.20 ක වර්ධනයක් ද අත්කරගෙන තිබෙන බව එම වාර්තාව කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තවත් වාර්තාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජනපද ඩොලර් දසලක්ෂ 164.1 ක් වූ අවසාන ණය වාරිකය ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට සිය අනුමැතිය ලබාදුන් බව ප්‍රකාශයට පත් කළා ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇ.ඩොලර් බිලියන 1.5ක් ලබාදීමට තීරණය කෙළේ 2016 වසරේ ජුනි මාසයේදී ය.

කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් එම ණය මුදලේ අවසන් වාරිකය ලබාදීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ නොවැම්බරයේ ය. එහෙත් රටේ ඇති වූ දේශපාලන නොසන්සුන්තාව නිසා එම ණය වාරිකය ලබාදීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය. මේ ලැබෙන්නේ එම අවසන් ණය වාරිකයයි. ශ්‍රී ලංකන් එයා ලයින්ස් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, බලශක්ති මිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාකිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු යැයි ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.

කොටස් වෙළෙඳ පොළ

කොළඹ කොටස් වෙළෙඳ පොළට පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සුවිශේෂි දිනයකි. එක දිගට පහත වැටුණු සමස්ත කොටස් මිල දර්ශකය බ්‍රහස්පතින්දා ඒකක 51කින් ඉහළ ගියේ ය. සිකුරාදා එම දර්ශකය ඒකක 7කින් ඉහළ ගිය අතර එදින පිරිවැටුම රුපියල් බිලියන 1.3 දක්වා ඉහළ වටිනාකමක් වාර්තා කළා ය.

සතිඅග දක්නට ලැබුණු මේ වෙනස්වීමට බලපෑ හේතු කීපයකි. ජාත්‍යන්තර වශයෙන් ඉරාන - ඇමෙරිකා වෙළෙඳ ප්‍රශ්නය තුනීවීම, චීන ඇමෙරිකා වෙළෙඳ යුද්ධය නිසා කඩා වැටුණු ඇතැම් කොටස් වෙළෙඳ පොළවල් ප්‍රකෘතිමත් වීම ජාත්‍යන්තර සාධක ලෙස විශ්ලේෂක වාර්තාවල සඳහන් විය.

දේශීය සාධකයක් වූයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ආධිපත්‍ය පතුරන ජේ.කේ.එච්.කොටස් මිල රුපියල් 135 දක්වා පහත වැටීමයි. මේ නිසා දීර්ඝ කාලීන ආයෝජනයක් ලෙස සලකා දේශීය ආයෝජකයෝ ජේ.කේ.එච්. කොටස් මිලට ගැනීමට බ්‍රහස්පතින්දා පෙරට ආහ. සිකුරාදා දිනයේ ද මේ සිද්ධිය ම නැවත සිදු විය.

තවත් කරුණක් වූයේ සිලෝන් ටුබැකෝ සමාගමය සිය කොටසකට රුපියල් 19(දහනවයක්) බැවින් වූ ලාභාංශයක් ප්‍රකාශයට පත්කිරීමයි. ලාභාංශ ගෙවනු ලබන්නේ ජුනි මස 6 වැනිදාය. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් ආයතනය ද සිය කොටසකට රුපියල් 8 ක (අටක) ලාභාංශයක් නිවේදනය කළා ය. ගෙවීම ජුනි මස 6 වැනිදාය. මේ සුපිරි ලාභාංශ නිසා එම කොටස් මිල ඉහළ ගියේ ය.

මේ හැර ලන්ඩන් කොටස් වෙළෙඳ පොළ සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ද, ගලධාරි හෝටලය ඇ‍මෙරිකා ඩොලර් දසලක්ෂ 15ක වියදමින් අලුත්වැඩියා කිරීමේ තීරණය ද කොටස් වෙළෙඳ පොළ ප්‍රබෝධමත් කිරීමට හේතු විය.

සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගමය සහ පිරමාල් ග්ලාස් සමාගමය ද ලාභාංශ ප්‍රකාශයට පත් කළහ.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න