රට සාමාන්‍ය අතට... | දිනමිණ

රට සාමාන්‍ය අතට...

වෙසක් උත්සවයෙන් පසු රට යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වන්නට පටන්ගෙන තිබේ. ඊයේ සිට පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වී ඇත. සිසුන්ගේ පැමිණීම හොඳ තත්ත්වයක ඇති බව ද අධ්‍යාපන කටයුතු සිරිත් පරිදි සිදුවන බව ද විදුහල්පතිවරු පෙන්වා දෙති. මේ අතර පාස්කු ප්‍රහාරය නිසා දින නියමයක් නොමැතිව වසා දැමුණු විශ්වවිද්‍යාල එකින් එක විවෘත කරන්නට පටන්ගෙන ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඊයේ විවෘත කළේ ය. කොළඹ වෙළෙඳ නගරයේ ආර්ථික ගනුදෙනු සාමාන්‍ය පරිදි සිදු වෙයි. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සේවක - සේවිකාවන්ගේ පැමිණීම සාර්ථක බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරය බොහෝ සෙයින් අඩාල විය. එය රටේ ආර්ථිකයට බලවත් පාඩුවකි. එහෙත් මේ කඩාවැටීම තාවකාලික ය. පෙරේදා දිනය තුළ පමණක් සීගිරිය නැරඹීමට සංචාරකයන් දස දහසක් පැමිණ ඇතැ’යි ප්‍රකාශ වී ඇත. එය සැලකිය යුතු ප්‍රගතියකි. විදේශීය සංචාරකයන් රටට ගෙන්වා ගැනීම සඳහා උපාය මාර්ග භාවිත කිරීම ද වැදගත් ය. මේ දිනවල සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් අය කරන්නේ නැත. ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක කණ්ඩායමක් වෙසක් උත්සවයට සහභාගී වී සිසිල් පැන් දන්සලක් ද පැවැත් වූහ. ඔවුන්ගේ අදහස වන්නේ ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු සුන්දර රාජ්‍යයක් බව ය.

ඉරිදා ප්‍රහාරයෙන් ජාතික ආරක්ෂාවට යම් තර්ජනයක් එල්ල වූ බව සැබෑවෙකි. ආණ්ඩුව පවා එය පිළිගෙන තිබේ. එහෙත් මේ වන විට ආරක්ෂාව තහවුරු කර ඇති අතර රට සංසුන් ය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජාතියේ මාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. එහි සඳහන් වූයේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් අනියත බියකින් තොරව දරුවන් පාසල්වලට එවන ලෙස ය. දේශපාලකයන්ගේ ප්‍රකාශ හා ඉල්ලීම් ඉවත දැමිය හැකි වුව යුද හමුදාපතිවරයාගේ ඉල්ලීම ඉවත දමන්නට හේතු - සාධක නැත. යුද හමුදාව, පොලිසිය හා අනෙකුත් ආරක්ෂක අංශවලට දේශපාලනයක් නැත. ඔවුන්ගේ රාජකාරිය සමාජය හා රටේ දේපොළ ආරක්ෂා කිරීම ය.

මේ රටේ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මීට වඩා අන්තරායකර අවස්ථා පාලනය කර ඇත. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ලෝකයේ බලවත් ම ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුන්වා තිබිණි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට ඇතැ’යි කිසිවකු විශ්වාස කළේ නැත. දියුණු රටවල පවා මතය වූයේ යුද්ධය නතර කොට සාම - සාකච්ඡා ශක්තිමත් කිරීම වඩා වැදගත් යන්න ය. එහෙත් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීමට ද එහි කුරිරු නායකත්වය අවසන් කිරීමටද ශ්‍රී ලංකාවේ රණවිරුවෝ සමත් වූහ. මෙයින් පැහැදිලි වන්නේ අපේ ආරක්ෂක අංශ ඕනෑම තර්ජනයක් පරාජය කිරීමට සමත් බව ය. එබැවින් රටේ ආරක්ෂක අංශ ගැන විශ්වාසය තබා ගැනීම වැදගත් ය.

ත්‍රස්තවාදී සංවිධානවල මෙන් ම එම සංවිධානවල ක්‍රියාකාරකම් ඔස්සේ දේශපාලන වාසි ලබාගන්නා සංවිධානවලත් එක් අභිලාසයක් වන්නේ සමාජය තුළ අනියත බියක් හා අවිශ්වාසයක් ඇති කිරීම ය. ඒ මගින් ආර්ථිකය කඩාකප්පල් කළ හැකි ය. ආණ්ඩු අපහසුවට පත් කළ හැකි ය. ත්‍රස්ත සංවිධාන සිය සාමාජිකයන්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා ද ඉහත උපාය මාර්ගය භාවිත කරයි. එදා පැවැති මානුෂීය මෙහෙයුම ඔස්සේ කිලිනොච්චිය වට කළ විට කොටි නායක ප්‍රභාකරන් කියා සිටියේ රජයේ හමුදා කිලිනොච්චියට ඇතුළු වුවහොත් රටේ රුධිර ගංගා ගලා යනු ඇත යන්න ය. ජාත්‍යන්තර ජනමාධ්‍ය මෙය ඉතා හොඳින් ප්‍රසිද්ධියට පත් කළේ ය. එහෙත් අපේ රණවිරුවෝ වැඩිකාලයක් ගත නොකොට කිලිනොච්චිය අල්ලා ගත්හ.

පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජනතාව තුළ අනියත බියක් හා අවිශ්වාසයක් ඇති කළේ කටකතා, අසත්‍ය ප්‍රචාර හා තහවුරු නොකළ තොරතුරු යැයි කියන්නට පුළුවන. දහතුන්වන දා ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රචාරයක් රට පුරා ව්‍යාප්ත විය. පාසල්වලට පහර දෙන බවට ද මාපියන් හැට දහසක් හඬවන බවට ද තව ප්‍රචාරයක් පැතිර ගියේ ය. කොටුවේ දුම්රිය පොළ, කොළඹ රෝහල් හා හමුදා කඳවුරක් කේන්ද්‍රකොට ප්‍රහාර ක්‍රියාත්මක වන බව ද ප්‍රචාරය විය. එහෙත් කිසිවක් සිදු වූයේ නැත. මේවා සංවිධානාත්මක කණ්ඩායම් විසින් ප්‍රචාරය කරන ලද බවට තොරතුරු හෙළිදරව් වී ඇත. ඊට අදාළ සැකකරුවන් කිහිප දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඕනෑම සිද්ධියකින් දේශපාලන වාසි ලබාගැනීමට වෑයම් කරන පිරිසක් රටේ සිටිති. රට තුළ දේශපාලන බලය පිළිබඳ තියුණු තරගයක් පවතී. මෙලෙස බලය උරගා බලන අය කරනු ලබන විග්‍රහවලට මෙන් ම ඉදිරිපත් කරන තොරතුරුවලට ද බොහෝ දෙනා මුළා වෙති. ඇත්තට සමීප වන පිරිසට වඩා බොරුවට ආකර්ෂණය වන පිරිස වැඩි වෙති. මෙබඳු සමාජයක අසත්‍ය ප්‍රචාර වේගයෙන් පැතිර යයි. ඊට අවශ්‍ය සන්නිවේදන පහසුකම් ද නොඅඩුව පවතී. එහෙත් ජනතාව විචාරශීලී නම්; බොරුවට ආයුෂ නැති බව පෙනී යයි. වෙසක් උත්සවය එය සනාථ කළ අවස්ථාවක් සේ සැලැකිය හැකි ය. වෙසක් දිනය කේන්ද්‍රකොට මහා භීතියක් වපුරා තිබුණ ද; වෙනදාටත් වඩා ජන සහභාගිත්වයකින් යුතුව වෙසක් සැමරීම සිදු විය. ජනතාවගේ පෙළගැස්ම ඊට හේතු විය.

ශ්‍රී ලංකාව යනු දිගුකාලීන ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඓතිහාසික රාජ්‍යයෙකි. ගෙවී ගිය කාලය තුළ විවිධාකාර ගැටුම්වලට, කුමන්ත්‍රණවලට, ආක්‍රමණවලට රට මුහුණ දුන්නේ ය. ඒ සියල්ල පරාජය කොට නිවහල් හා ස්වාධීන රාජ්‍යයක් ලෙස නැඟී සිටින්නට අපි හැමවිට ම ශක්තිමත් වී ඇත්තෙමු. අදත් ඒ ශක්තිය හා අධිෂ්ඨානය එලෙස ම පවතී. අගමැතිවරයා මීට දින දෙකකට පෙර දී කියා සිටියේ පිළිම හා ගොඩනැඟිලි විනාශ කළත් මිනිසුන්ගේ සිතෙහි පවත්නා ධෛර්යය හා අධිෂ්ඨානය විනාශ කළ නොහැකි බව ය. එම කතාව ද අප ආදර්ශයට ගත යුතුය. සියල්ල සංවිධාන වන්නේ මිනිසුන්ගේ සිත් තුළ ය. සිත ශක්තිමත් වන්නේ ද පුද්ගලයා පරාජය කිරීම අපහසු වන්නේ ය.

දැන් අප ඉදිරියෙහි ප්‍රධාන අභියෝගයක් පවතී. එනම්; දැනට රටේ පවතින සංසුන් වාතාවරණය හා සාමාන්‍ය තත්ත්වය දිගටම පවත්වාගෙන යෑමය. ඒ සඳහා ජාතීන් අතර සමගිය ද, ආගම් අතර සංහිඳියාව ද ස්ථාවර කරගත යුතුය. හිරෝෂිමා - නාගසාකි ප්‍රහාරවලින් පසු ජපානය අළු - දූවිලි මතින් නැඟී සිටියේ ය. අපටත් එය කළ හැකි ය.

 


නව අදහස දක්වන්න