වාස්ගේ අසම සම ලෝක වාර්තාව | දිනමිණ


 

වාස්ගේ අසම සම ලෝක වාර්තාව

චමින්ද වාස් යන නම කියූ පමණින් අප මතකයට එන්නේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාව තුළ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නා විදියටයි. වමතින් වේග පන්දු යවන වාස්ගේ දක්ෂතා ලෝකයට සංසන්දනය කිරීමේදී ද ඔහු දෙවැනි වන්නේ ක්‍රිකට් ලොව එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්ට පමණයි. එක්දින තරග වල කඩුලු 502ක් බිඳ හෙළා තියෙන අක්‍රම් තමයි වැඩිම කඩුලු සංඛ්‍යාවට හිමිකම් කියන වේග පන්දු යවන්නා. කඩුලු 534ක් දවා ගෙන මුත්තයියා මුරලිදරන් එම ලැයිස්තුවේ පළමු ස්ථානය වැජඹෙන අතර කඩුලු 400ක් දවාගෙන ඉන්න වාස්ට හිමි වෙලා තියෙන්නේ ඒ ලැයිස්තුවේ හතරවැනි ස්ථානයයි.

ගොඩක්ම වේග පන්දු යවන්නන් කඩුලු දවා ගන්න තමන්ගේ තුරුම්පුව විදියට පාවිච්චි කරන්නේ පන්දුවේ වේගය වුණත්, වාස්ගේ තුරුම්පුව නම් වෙලා තියෙන්නේ ඒක නොවෙයි. ඔහු ඔහුටම ආවේණික ක්‍රමයක් පාවිච්චි කරන කෙනෙක්. ඒ ගැන ක්‍රිකට් භාෂාවෙන්ම කිව්වොත් දෝලනය සහ උපක්‍රමශීලීත්වය. පිතිකරුවන්ට හිතා ගත නොහැකි අයුරින් පන්දුව දෝලනය කරන්න පුළුවන් අරුම පුදුම හැකියාවක් තියෙන වාස්, පළමු පන්දුවාරය තුළ ඇතුළත කඩුල්ලක් දවා ගන්නට සමත් පන්දු යවන්නෙකු විදියට එවකට මුලු ලෝකයේම ප්‍රචලිතයි. මොකද තරගයක පළමු පන්දුවාරයේදී ගොඩක් වෙලාවට ඔහු කඩුල්ලක් හෝ දෙකක් දවා ගැනීමට සමත්වන නිසා.

ලෝක කුසලාන උණුසුම ළං වෙත්ම සටහන් තැබෙන මේ ලිපි පෙළෙන් අද අරගෙන එන්නේ ලෝක කුසලාන තරගාවලියක් අතරතුරදී වාස් තියපු සුවිශේෂී ලෝක වාර්තාවක් පිළිබඳව. ඒ හැට්ට්‍රික් එකක් එහෙමත් නැත්නම් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමක් ගැන. මේ දක්වා පවත්වපු ලෝක කුසලාන තරගාවලිවලදී හැට්‍රික් අවස්ථා 9ක් වාර්තා වුණත්, වාස් ගේ හපංකමත් පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනිමින් ලසිත් මාලිංග පිහිටුවන ලෝක වාර්තාව තරම්ම විශේෂත්වයක් ගෙන දෙන්නක්. මාලිංග විසින් තබා තිබෙන වාර්තාව කෙදිනක හෝ බිඳ දැමීමේ සම්භාවිතාවක් පැවැතුණත්, වාස් තියලා තියෙන එක නම් බිඳ හෙළනවා කියන්නේ ‘කන කැස්බෑවා විය සිදුරෙන් එළිය දකිනවාටත්’ වඩා අමාරු දෙයක්. ඒ මොකද කියනවා නම් ඒ දක්ෂතාවය සටහන් වෙලා තියෙන්නේ තරගයක යවන ලද පළමු පන්දුවාරයේ පළමු පන්දු 3දී ලබා ගත් කඩුලු ත්‍රිත්වයක් විදියට. කවුරුම හරි සම කළොත් හැරෙන්නට ඒ වාර්තාව කාටවත්ම බිඳ හෙළිය නොහැකි වාර්තාවක් නිසයි එහෙම සඳහන් කළේ.

මෙකී විරළ වාර්තාවට වාස් හිමිකම් කියන්නේ 2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙදි. පෙබරවාරි 10 වැනිදා බංග්ලාදේශයත් එක්ක පීටර්මැරිට්ස්ර්ග්හි පැවැති එම තරගයේදී ශ්‍රී ලංකාව තරග වැදුණු සනත් ජයසූරියගේ නායකත්වය යටතේ. විනිසුරුගේ සංඥාවත් එක්කම පළමු පන්දුව යොමු කළ වාස්, සිය කඩුලු ත්‍රිත්වයේ පළමු ගොදුර විදියට දවා ගන්නේ ආරම්භක පිතිකරුවා වුණු හන්නන් සර්කාර්ව. හිතා ගත නොහැකි තරමට දෝලනයත් එක්ක ආපු පන්දුව කෙළින්ම කඩුල්ලෙ වැදීම නිසා සර්කාර්ට පිටියෙන් ඉවත් වන්නට සිදු වුණා.

ඊට පස්සේ පන්දුවට පහර දීමට පැමිණියේ එවකට බංග්ලාදේශ කණ්ඩායමේ වඩාත්ම විශ්වසනීයම පිතිකරුවා වුණු මොහොමඩ් අශ්රාෆුල්. වයසින් ළාබාල වුණත් අශ්රාෆුල් කියන්නේ ඒ කාලෙ රිදෙන්න පන්දුවට පහර දෙන පිතිකරුවෙක් විදියට නමක් දිනලා තිබුණේ. තියුණු ලෙසින් දෝලනය වී ශරීරය දෙසට ආ පන්දුවට කර හැකිව තිබූ එකම දෙය වූයේ පන්දුවට පිත්ත පමණක් හුවා දැක්වීම පමණයි. අවාසනාවක මහත වුණේ පිත්තෙ වැදුණු පන්දුව උඩ පන්දුවක් විදියට වාස් විසින්ම පෙරළා රැක ගැනීමයි.

පළමු පන්දු 2දී කඩුලු 2ක් ම දැවී යෑම නිසා කිසිසේත්ම නොසිතූ අර්බුදයකට බංග්ලාදේශ පිලට මුහුණ දීමට සිදුවුණා. ඒ පීඩනයත් දරාගෙන ඊළඟට පන්දුවට පහර දෙන්න ආවේ එසනුල් හක්. වෙලාවෙ හැටියට කරන්න තිබුණු එකම දේ තමයි කඩුල්ල ආරක්ෂා කරගෙන කඩුලු ත්‍රිත්වයක් යෑම වළක්වා ගැනීම. ඒ අදහසින් එසනුල් පන්දුවට පහර දුන්නත්, කඩුලු ත්‍රිත්වය ලබා ගැනීම සඳහා වූ අදහස අත් නොහැරි වාස් ඇතුළු පිරිවර තව තවත් පීඩනය වැඩි වන ආකාරයට පන්දු රකින්නන් රඳවපු එක. ඒකෙ ප්‍රතිඵලයක් විදියට කළින් රඳවලා තිබුණු ස්ලිප් ක්‍රීඩකයන් දෙන්නා වෙනුවට තුන් දෙනෙක්ම රඳවන්නට වාස් සහ ජයසූරිය දෙපළ කටයුතු යොදලා තිබුණා.

පිට ඉන්නට මඳක් ඈතට වන්නට යොමු කරපු පන්දුවට අවතීර්ණ නොවී පිත්ත පමණක් එළියට දැමීම නිසා ජයසූරිය සහ වාස් දෙදෙනා එක්ව අටවපු උගුලට එසනුල් අහුවුණේ ඔහුවත් නොදැන. පිටත දාරයේ වැදුණු පන්දුව උඩ පන්දුවක් විදියට දෙවැනි ස්ලිප් ස්ථානය දක්වා ඇදී ගිය අතර එහි පන්දු රැකි මහේල ජයවර්ධන එය සුරැකිව රැක ගැනීම නිසා පළමු පන්දු 3 දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ලොව පළමු පන්දු යවන්නා විදියට ලෝක වාර්තාවක් පිහිටුවීමට චමින්ද වාස්ට හැකියාව ලැබුණා. ඒ විතරක් නොවෙයි. පළමු පන්දු 3 දී කඩුලු 3ක් දවා ගත්තා මදිවට එම පන්දුවාරයේ පස්වැනි පන්දුවටත් තවත් කඩුලුලක් දවා ගැනීමට වාස් සමත් වුණා. ඒ අවස්ථාවේදී වාස් හමුවේ දැවී ගියේ සන්වාර් හොසේන්. මුහුණ දුන්න පළමු පන්දුවට හතරේ පහරකින් සංග්‍රහ කළ සර්කාර් පස්වැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට බංග්ලාදේශ ඉනිම සටහන් වුණේ එක් පන්දුවාරයකදී ලකුණු 05කට කඩුලු 4ක් විදියට.

ඒ තරගයෙදි පන්දුවාර 09ක් සහ එක් පන්දුවක් යැව්ව චමින්ද වාස්ගේ දක්ෂතාවය සටහන් වුණේ නිලකුණු පන්දුවාර 2ක් සමග ලකුණු 25කට කඩුලු 6ක් හැටියට. වාස්ගේ ඒ සුවිශේෂී පන්දු යැවීම නිසාම බංග්ලාදේශ ඉනිමත් පන්දුවාර 31කුත් පන්දුවකදීි ලකුණු 124කට සීමා වුණා. එම පහසු ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව එම තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

මේ හැට්‍රික් එක වාස්ගේ එක්දින තරග දිවියේ දෙවැනි හැට්‍රික් එක. මීට කළිනුත් වාස් කඩුලු ත්‍රිත්වයක් අරගෙන තියෙනවා. ඒ 2001 වසරේදී සිම්බාබ්වේට එරෙහිව. ශ්‍රී ලාංකික පන්දු යවන්නකු කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු අවස්ථාව වශයෙන් ඒ කඩුලු ත්‍රිත්වයට සටහන් වීමත් විශේෂත්වයක්. කොළඹ එස්. එස්. සී. පීටියේ පැවැත්වුණු එම තරගයේදී වාස්ගේ පන්දු හමුවේ දැවී ගිියේ ස්ටුවර්ට් කාලයිල්, ක්‍රෙග් විශාර්ට් සහ ටටෙන්ඩි තායිබු. ඒ තරගයේදී වාස්ගේ පන්දු යැවීමේ දක්ෂතාව සටහන් වුණේ ලකුණු 18කට කඩුලු 8ක් වශයෙන්. එය අදටත් එක්දින තරග ඉතිහාසයේ පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාව. වාස්ගේ ඒ සුපිරි පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ පිල පන්දුවාර 15කුත් පන්දු 4කදී ලකුණු 38කට දැවී ගියා. එය එවකට කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව විදියට එදා සටහන් වුණු ඒ ලකුණු සංඛ්‍යාව අද වන විට අඩුම ලකුණු ලද කණ්ඩායම් අතර තෙවැනි ස්ථානයට පත් වෙලා.

චමිල කරවිට

නව අදහස දක්වන්න