පාර්ලිමේන්තුවේ ආරක්ෂා‍ව දිනපතා සමාලෝචනයට ගනී | දිනමිණ

පාර්ලිමේන්තුවේ ආරක්ෂා‍ව දිනපතා සමාලෝචනයට ගනී

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කළ කොමිසමේ පූර්ණ වාර්තාව ලැබුණු වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊ‍යේ (21) ප්‍රකාශ කළේය.

එම කොමිෂමේ අතුරු වාර්තාවක් ලැබී ඇති බවද කතානායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි මේ වනවිට ත්‍රස්ත ව්‍යාපාරය සියයට අනූපහක් පාලනය කර ඇති බවත් කතානායකවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ ආරක්ෂා‍ව පිළිබඳව දිනපතා සමාලෝචනය කරන බව පෙන්වාදුන් කතානායකවරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් දැනුම්වත් බවත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා - පාස්කු ඉරිදා දින සිදුවීමත් සමඟ ත්‍රස්ත ප්‍රහාර වලට සම්බන්ධ අයකු ලෙස පාර්ලිමේන්තු සේවකයකු ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ‍ගෙන තිබෙනවා‍. මේ ප්‍රහාරය සිදුවී අදට මාසයක් ගතවී තිබෙනවා. මෙවැනි සිදුවීමක් සිදුවන බවට මාස ගණනාවක සිට තොරතුරු ආරක්ෂක අංශ සොයා බලමින් සිටියා. මීට පෙරටත් පාර්ලිමේන්තු භූමිය තුළ සේවය කළ අයෙක් පිළිබඳව තොරතුරු වාර්තාවුණා. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබුවා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - අග‍්‍රමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයන් ඊයේ අරලියගහ මන්දිරයේදි පෙර කැබිනට් රැස්වීමක් පැවැත්වූවා. එහිදි අගමැතිවරයා රටේ ආරක්ෂක තත්වය පිළිබඳව පැහැදිලි කළා. ප‍්‍රහාරයෙන් පසු අත්‍යවශ්‍ය සැකකරුවන් 80 දෙනෙකුගෙන් 79ක් මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන් බවත් තව එක් සැකකරුවෙකු සොයා පරීක්ෂණ සිදුකරන බවත් එහිදි අගමැතිතුමා ප‍්‍රකාශ කළා. පරීක්ෂණ මේ ආකාරයෙන් සිදුවන විට ක‍්‍රමානුකූලව ඉතිරි සැකකරුවන් සියල්ලම අත්අඩංගුවට ගන්න පුළුවන්.

කතානායක කරූ ජයසූරිය මහතා - මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කොමිෂමේ පූර්ණ වාර්තාව ලැබුණු වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ වනවිට එම කොමිෂමේ අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ලැබී තිබෙනවා. පාර්ලිමේන්තු සේවකයකු අත්අඩංගුට ගැනීම පිළිබඳව මම දැනුවත්. ඒ වගේම පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳව පියවර රැසක් ගෙන තිබෙනවා.


නව අදහස දක්වන්න