කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ විශේෂ ව්‍යාපෘතිවලින් වාර්තා ගත ලාබයක් | දිනමිණ

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ විශේෂ ව්‍යාපෘතිවලින් වාර්තා ගත ලාබයක්

වසර ගණනාවක් පුරාම පාඩු ලබමින් පැවති කුඩා තේ වතු සංවර්ධන ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කරමින් 2018 වසර අවසාන වන විට රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් තුන්දහසක වාර්තාගත ලාබයක් උපයාගත් බව එහි සභාපති විජේරත්න දෙවගෙදර මහතා පවසයි. මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් 75.6%ක් ආවරණය කරමින් තත්ත්වයෙන් උසස්ම තේ වෙළෙඳ පොළට හඳුන්වා දෙන කුඩා තේ වතු හිමියන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කටයුතු කරයි. තේ අපනයනය සඳහා ලෝකයේ විශිෂ්ටතම කීර්තිනාමයක් අත්පත් කරගත් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක දෙන්නට දායකත්වය සපයන කුඩා තේ වතු හිමියන්ගේ සමිති 2000කට අධික සංඛ්‍යාවකින් හා ඒවායෙහි වන පන් ලක්ෂයකට ආසන්න සාමාජික සංඛ්‍යාවක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා එක්ව කටයුතු කරයි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙහි වත්මන් තත්ත්වය හා එහි ජයග්‍රහණ පිළිබඳ දිනමිණ කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

සමස්ත දේශීය තේ නිෂ්පාදනයෙන් 75.6%ක් ආවරණය කරමින් අනගි මෙහෙවරක් ඉටු කරන ‍කුඩා තේ වතු හිමියන් කම්කරුවන් ඇතුළු කර්මාන්තයෙහි නියුතු වූවන්ගේ මෙන්ම තේ නිෂ්පාදන කර්මාන්තයේද සංවර්ධනය අරමුණු කරගනිමින් මෙම අධිකාරිය පිහිටුවන ලද්දේ 1977 වසරේ දී හිටපු ඇමැති කොල්වින් ආර් ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පනතක් ඇසුරෙනි. අදින් වසර 41කට පෙර අරඹන ලද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය (Tea Small Holding Development Authority) මෙරට දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක සිය ශාඛා කාර්යාල පවත්වාගෙන යමින් ඒ ඒ ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන්ගේ ගැටලුවලට විසඳුම් සකසමින් කර්මාන්තයෙහි උන්නතිය උදෙසා කටයුතු කරන බව සභාපතිවරයා පවසයි. තේ පරීක්ෂක ක්ෂේත්‍රයෙහි නියුතු තේ පරීක්ෂකවරුන් 144 දෙනෙකු මඟින් කුඩා තේ වතු හිමියන්ගේ වගා කටයුතු සංවර්ධනය සඳහා දැනුම හා කාර්මික සහය ලබා දෙන බවද ඔහු පවසයි.

'පසුගිය දසක දෙක තුන ඇතුළත කුඩා තේ වතු වල සංවර්ධනය පිළිබඳ අවධානය ගිලිහෙමින් පැවතීම හේතුවෙන් පාඩු ලබමින් තිබූ ආයතනය වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ නව නායකත්වය හා සේවකයන්ගේ කැපවීම තුළින් ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සමත්වූ බවද සභාපතිවරයා පවසයි.

තේ නිෂ්පාදනය සඳහා කුඩා තේ වතු හිමියන් දිරිගැන්වීම මෙන්ම නව වගාකරුවන් බිහි කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළ කිහිපයක්ම ක්‍රියාවට නැංවෙන බව පවසන සභාපතිවරයා මෙතෙක් පැවති යල් පැන ගිය ක්‍රමවේද වෙනුවට නව කෘෂිකාර්මික ක්‍රමවේද හඳුන්වා දෙමින් වගාකරුවන් වැඩි ව‍ශයෙන් තේ වගාව කෙරෙහි යොමු කරවා ගන්නට සමත්ව ඇතැයි ද කීවේය.

තේ වගාවට නැඹුරුවීමට කැමති වගාකරුවන්ට කැමති කුඩා වතු හිමියන්ට අවශ්‍ය මූලික දැනුම ලබාදීම හා තාක්ෂණික පහසුකම් සකසා දීමට අධිකාරිය කටයුතු කරයි. පවත්නා කුඩා තේ වතු සංවර්ධනය කරගැනීමට මෙන්ම අලුතින්ම වගාවන් ඇරඹීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රම සහ මූල්‍යාධාර වැඩසටහන් හඳුන්වා දී තිබේ. ඒ අනුව තේ නැවත වගා කිරීම සඳහා හෙක්ටයාරයකට රු. ලක්ෂ පහ දක්වා ද අලුත් වගාවක් සඳහා රු. ලක්ෂ හතර දක්වාද මූල්‍යාධාර ලබාදේ. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ ද කීය.

2005 වසරේ පවත්වන ලද සංගණනය අනුව හෙක්ටයාර 121,000ක පමණ තේ වගා කිරීමට හැකි වී තිබෙනවා. 2015 වසරේ මම මෙහි වැඩ භාරගත් පසුව අදාළ වසර තුළ සපුරාලිය යුතු ඉලක්ක පිළිබඳව අපේ ප්‍රාදේශීය කාර්යාල අටෙහි සේවයෙහි නියුතු සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කළා. නිලධාරීන්ට ඉලක්ක ලබාදීමෙන් පසුව පළමු වසර තුළම 94.5% කින් ඉලක්කය වෙත ළඟාවීමට අධිකාරියට හැකි වුණා. 2018 වසරේ අප විසින් වගා කළ යුතු ඉලක්කය වූයේ හෙක්ටයාර 850ක් පමණයි. ඒත් අපේ නිලධාරීන්ගේ දිරිගැන්වීම හා සහයෝගය මත හෙක්ටයාර 904ක තේ වගා කරන්නට සමත් වුණා. එය අධිකාරිය විසින් ලබාගත් විශාල ජයග්‍රහණයක්.

තේ වගාවට අලුතින් යොමු වන්නන් දිරි ගැන්වීමටත් අධිකාරිය කටයුතු කරනවා. කුඩා ගෙවත්තක් හිමියකුට වුවත් තේ වගා කිරීමෙන් හොඳ අතිරේක ආදායමක් ලබා ගන්නට පුළුවන්. විශේයෙන්ම කාන්තාවන්ට ස්වයංරැකියාවක් වශයෙන් සුළු පරිමාණයෙන් තේ වගා කළ හැකියි. තේ වගාවට අමතරව කර්මාන්තයට අදාළ වෙනත් වක්‍ර රැකියාවල නියැළෙන්නටත් පුළුවන්. තේ වගාව සඳහා අවශ්‍ය මූලික දැනුම තාක්ෂණික දැනුම මෙන්ම හොඳම තේ පැළ ලබා දෙන්නටත් අපි සූදානම්. තේ අලුතින් වගා කිරීමට හෝ තිබෙන වගාවක් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම අපගේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවීමෙන් හෝ ප්‍රාදේශීය කාර්යාල වෙතින් ලබා ගැනීමට පුළුවන්.

තත්ත්වයෙන් උසස් ගුණාත්මක තේ පැළ ලබාදීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් තේ පැළ තවාන්කරුවන්ගේ සංගම් පිහිටුවා ඔවුන්ට අවශ්‍ය නව දැනුම හා තාක්ෂණික සහය අධිකාරිය මඟින් ලබා දෙනවා. මෙතෙක් ‍තේ පැළයක් මිලදී ගැනීම සඳහා ගෙවන ලද්දේ රුපියල් 22ක් පමණයි. අප විසින් එය රුපියල් 28 දක්වා ඉහළ දමනු ලැබුවා. තත්ත්වයෙන් උසස් හොඳම තේ පැළයක් දැන් රුපියල් 35 ත් 45 අතර මිලකට විකුණා ගන්නට තවාන්කරුවන්ට පුළුවන්. තත්ත්වයෙන් උසස් තේ පැළ රට පුරා විසිරී පවතින කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල වෙතින් මිලදී ගන්නා ලෙස මා තේ වගාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ බදුල්ල යන නගරවල අපේ දිස්ත්‍රික් කාර්යාල පිහිටා තිබෙනවා.

බොහෝ කාලයක පටන් තේ කර්මාන්ත හිමියන්ට බලපෑ සේවක ප්‍රශ්න අවම කරන්නටද අධිකාරිය මැදිහත් වෙන බවද සභාපතිවරයා පවසයි. වතු කම්කරුවන් මුහුණ පා සිටි විශාලතම ගැටලුව වූයේ ඔවුන්ගේ අවම වැටුප වර්ධනය කර ගැනීමයි. නිෂ්පාදන වියදම් හා වෙනත් බොහෝ කරුණු දක්වමින් වතු හිමියන්ද මෙම ඉල්ලීමට සහනයක් ලබාදීම කල් මරමින් සිටියහ. ඇමැතිවරයාගේද මැදිහත්වීමෙන් අධිකාරියේද සහාය ඇතිව මෙතෙක් කම්කරුවකුට ගෙවූ රුපියල් 680ක් වූ අවම දෛනික වැටුප රුපියල් 1075 දක්වා ඉහළ දැමීමට 2018 දී හැකිවීම කම්කරුවන් ලද ජයග්‍රහණයක් මෙන්ම තේ නිෂ්පාදනයේ ප්‍රවර්ධනයට ද හේතුවන බව සභාපතිවරයා පවසයි.

තේ වගාකරුවන් දිරිගැන්වීම සඳහා දෙනු ලබන ණය ආධාර යළි අය කර නොගන්නා අතර කාණ්ඩ පහක් යටතේ මෙම ආධාර ලබා දෙන බවද හෙතෙම පවසයි. ඒ අනුව බිම් සැකසීම, පැඟිරි මාන සිටුවීම, තේ පැළ සිටුවීම සහ තේ වගාව නඩත්තු කිරීමේ වාරික දෙකකට යනුවෙන් පස් ව තාවකට ණය ආධාර ලබා දේ. මෙලෙස ණය ලබා දෙනුයේ නැවත වගාවකට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ පහ බැගින් සහ අලුත් වගාවකට රුපියල් ලක්ෂ හතර බැගිනි. මෙම මුදල කාර්මික තේ වගාවක් සඳහා ප්‍රමාණවත් නොවන හෙයින් නැවත වගාව දිරිගැන්වීම සඳහා අවම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දහයක්වත් ණය ලබා දෙන මෙන් ඇමැතිවරයා මඟින් ජනාධිපතිතුමා වෙත ඉල්ලීමක් කළ බවද සභාපතිවරයා පවසයි.

ඇමැති නවීන් දිසානායක මහතාගේ ඉල්ලීමක් අනු තේ සහ රබර් පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ තේ වගාකරුවන් සඳහා විශේෂ මූල්‍යාධාර පිරිනැමෙන අතර මාතර, ගාල්ල, රත්නපුර, නුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල මෙම IPAD ISHRA ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එමඟින් වගාකරුවකුට ලක්ෂ පහක්ද අමතරව තවත් රු. 175000 බැගින්ද ආධාර ලබා දේ. වගා ආධාරවලට අමතරව කුඩා තේ වතු ආශ්‍රිත මාර්ග සංවර්ධනය කිරීම හඳුනාගත් ප්‍රදේශ සඳහා නව මාර්ග ඇතිකිරීම මෙන්ම ප්‍රවාහන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමද මෙහි ඇති විශේෂත්වයකි.

කුඩා තේ වතු හිමියන්ට අවශ්‍ය උදළු, මුළු, අලවංගු, කැති ආදී කෘෂි උපකරණ ලබාදී ගුණාත්මක ආකාරයෙන් තේ වගාව නෙළීම හා නිෂ්පාදනය කරන්නේද යන කරුණු පසු විපරම් කරන අතර පාලු සිටුවීමේදී අලුතින් තේ පැළ පන් ලක්ෂයක් සිටුවීම ඉලක්කය වී ඇතැයි ද ඔහු පවසයි.

මෙතෙක් පාලු තේ පැළයක් සිටුවීම සඳහා ගෙවන ලද රුපියල් 25 වෙනුවට මේ වන විට රු. 100ක් ගෙවන ලද අතර පාලු පැළ 1000ක් සිටුවන විට දිරි දීමනාවක් ලෙස වගාකරුවනට නොමිලේ කෘෂි උපකරණ ලබා දේ. පාලුවට හැර ඇති තේ වගාවන් යළි සිටුවීම දිරිගැන්වීම මෙහි අරමුණය. මේ සඳහා අවශ්‍ය වැඩි විස්තර හා තොරතුරු ලබාදීමට අධිකාරිය සූදානම් වන අතර දිස්ත්‍රික්ක 14ක් ඒ සඳහා අයැඳුම්පත් කැඳවා තිබේ.

ගතවූ වසර තුනක් වැනි කෙටි කලක් ඇතුළත එතෙක් නිද්‍රාශීලීව පැවති අධිකාරියෙහි කටයුතු යළි ක්‍රමවත්‍ ලෙස සංවර්ධනය කරමින් වාර්තාගත ආදායමක් රටේ ආර්ථිකයට උපයා දෙන්නට සමත් වූ බව සභාපතිවරයා පවසන්නේ සතුටිනි. එකී සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ආයතනයේ සේවක සේවිකාවන් ඇතුළු නිලධාරීන්ගේ උත්සාහය හා කැපවීම ද හේතු විනැයි ඔහු පවසයි. ගතවූ 41 වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට 2017 වසරේදීද 2018 වසරේ දී සේවක ඇගැයීම් උළෙලක් පැවැත්වීමට අධිකාරිය කටයුතු කළේය. ඉන් අමතරව කාන්තාවන් තේ වගාවට යොමු කිරීම හා දිරිගැන්වීමේ අරමුණැතිව ඇරඹූ දිරිය කත ස්වයංරැකියා ව්‍යාපෘතිය පූජණීය ස්ථාන සතු ඉඩම්වල තේ වගාකොට ආදායමක් ඉපැයීමට දිරි දෙන 'සසුනට එළිය' වැඩසටහන ද, වතු හිමියන්ගේ දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනයට දිරිදෙන 'වැවිලි සවිය' ක්‍රීඩා උළෙල වැනි විශේෂ ව්‍යාපෘති ද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය අත්පත් කර ගත් ජයග්‍රහණවලට හේතු වූ බව සභාපතිවරයා පැවසීය.

සාගරිකා දිසානායක ජයසිංහ


නව අදහස දක්වන්න