පූජිතට-හේමසිරිට එරෙහි නීති පියවර ගන්නැයි පෙත්සම 31දාට | දිනමිණ

පූජිතට-හේමසිරිට එරෙහි නීති පියවර ගන්නැයි පෙත්සම 31දාට

නෙල්කා මැදගෙදර

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව සිටියදී එය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ‍ෙලස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ලබන මැයි මස 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) තීරණය කෙළේය. මෙහිදී මෙම වගඋත්තරකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කිරීම නිසා ඔවුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු පෙනී සිටියහ. බුවනෙක අලුවිහාරේ, එල්.ටී. බී. දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන, සහ ප්‍රසන්න ජයවර්ධන, එස්. තුරෙයි රාජා, සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලු ඉදිරියෙහි මෙම පෙත්සම් වෙන් වෙන්ව ඊයේ (21) කැඳවන ලදී.

ඩනාමා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂ ජනත් එස්. විදානගේ සහ පාස්කු ප්‍රහාරයෙන් සිය දරුවන් දෙදෙනා අහිමි වූ පියකු වන නන්දන සිරිමාන්න විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත්ව සිටියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීමෙහි වගඋත්තරකරුවන් අපරාධමය වරදක් කර ඇති බවට පෙත්සම්වල සඳහන් කර තිබිණි. එබැවින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා තිබිණි. තමන්ට මෙම පෙත්සම පිළිබඳව නොතිසි නොලැබුනු බවත්, පුවත්පත් මගින් දැනගත් කරුනු අනුව අධිකරණයට පැමිණි බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මඟින් අධිකරණයට දැනුම් දෙන ලදී. එම කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල එම වගඋත්තරකරු හට නොතිසි නැවත දන්වා යවන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයාට දන්වා සිටියේය.

නීතිඥ ගාමිණී පෙරේරා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න