අර්බුදයට විසඳුම් සොයන්න සාකච්ඡාවට සූදානම් | දිනමිණ

අර්බුදයට විසඳුම් සොයන්න සාකච්ඡාවට සූදානම්

යද්ධයකට ගියොත් එය ඉරානයේ අවසානයයි
- ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සූදානම් නමුත් ඉරානයට යුද්ධයකට යාමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය විය හැකි බව අමෙරිකානු ජනාධිපති අනතුරු හඟවයි.

ඉරාකයේ හරිත කලාපයට ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මෙසේ ඉරානයට තර්ජනය කර තිබේ.

අමෙරිකන් තානාපති කාර්යාලය ඇතුළු තානාපති කාර්යාල පිහිටා ඇති ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි අධි ආරක්ෂක කලාපය හරිත කලාපය ලෙස හැඳින්වේ. ඊට එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදු වී නැති බව සඳහන්ය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි සටනේ දී, ඉරානය ඉරාකය සමඟ අත්වැල් බැඳ ගනිමින් සටන් කළේය. ඒ අනුව, ඉරාකය සහ ඉරානය අතර සබඳතා ශක්තිමත් වූ අතර, මෙය අමෙරිකාවේ විරෝධයට හේතුවක් විය.

ඉරාන හිතවාදී සන්නද්ධ කල්ලි ඉරාකයේ අමෙරිකානුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබී තිබූ බුද්ධි වාර්තා අනුව ඉරාකයේ රැඳී සිටින අත්‍යාවශ්‍ය රාජකාරිවල නොයෙදන සියලු ඇමෙරිකානුවන් නැවත සිය රට ගෙන්වා ගත්තේය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර අර්බුදය හට ගත් අතර රාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ අමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් ඇතිකරගත් එකඟතාවට විරෝධය පළ කරමින් ට්‍රම්ප් අමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් කර ගත්තේය. අනතුරුව අමෙරිකාව ඉරානයට සම්බාධක පනවූ අතර තෙල් අපනයනය කිරීමේ ගැටලු වලට ඉරානයට මුහුණ දීමට සිදු විය‍‍.

මේ අතර, අමෙරිකාව සමඟ පවතින අර්බුදය කිසිම අවස්ථාවක යුද්ධයක් තෙක් දුරදිග නොයන බව ඉරාන විදේශ ඇමැති මොහොමද් ජාවද් සරීෆ් චීන මාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. එසේම ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කොමේනී ද ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කිසිම අවස්ථාවක අමෙරිකාව සමඟ යුද්ධයකට යාමට අදහස් නොකරන බවයි.

 

නව අදහස දක්වන්න