ත්‍රස්තවාදියා එන පාර වසන්න | දිනමිණ

ත්‍රස්තවාදියා එන පාර වසන්න

මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව විදෙස් සහයෝගය ලබාගනිමින් සිටින්නේ මෙබඳු ආකාර ත්‍රස්ත කටයුතු මර්දනය කිරීමේ දී ලෝක අත්දැකීම් තුළින් විපුල ඵල ලැබිය හැකි බැවිනි. මෙම ත්‍රස්ත ව්‍යාපාරය මර්දනය කිරීමටත්, ඔවුන් රට තුළ ඇති කළ භීතිය පරාජය කිරීමටත් අප තුළ ඇති ශක්තිය අපම වටහාගත යුතු ය.

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන විසින් 2019.04.21 දින කතෝලික පල්ලි කිහිපයක් සහ සංචාරක හෝටල් කිහිපයක් එල්ලකොට දියත් කළ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ විශේෂයෙන් ම ලංකාව තුළත්, පුළුල් වශයෙන් ලෝකයේත් අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව නව සාකච්ඡාවක් ඇරඹිණි.

නව ත්‍රස්තවාදයේ මූලයන් ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වන පසුතලයක් තුළ ලෝක මට්ටම තුළ එම ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ කෙසේ ද යන්න විමර්ශනය කිරීම ඉතාම වැදගත් ය. ඒසේ ම දීර්ඝ කාලීනව ත්‍රස්තවාදයෙන් බැට කෑ රටක් ලෙස පෙර අත්දැකීම් ද ප්‍රයෝජනයට ගනිමින්, වර්තමානයේ උද්ගතව ඇති ත්‍රස්තවාදී තර්ජනයට විසඳුමක් සපයා ගන්නේ කෙසේද යන්න අවබෝධයෙන් සලකා බැලිය යුතු ය. එහි දී පළමුකොට අවධානය යොමු කළ යුත්තේ මෙම ත්‍රස්තවාදයේ තර්ජනය කෙතරම් දුරට බල පැවැත්වෙනවාද යන්න පිළිබඳවය. පැහැදිලිවම මෙය පෙර පැවැති ත්‍රස්තවාදී සංවිධානවල ස්වරූපයන්ට වඩා වෙනස් ය. ලෝකයේ පැවැති ත්‍රස්තවාදයන් සමාජ විද්‍යාඥයන් විසින් වර්ග කොට ඇත්තේ ලෞකික සහ ආගමික වශයෙනි. ලෞකික ත්‍රස්තවාදී ව්‍යාපාර ප්‍රධාන වශයෙන් ම ක්‍රියාත්මක වූයේ 1990 දශකයට පෙර ය. ආගමික ත්‍රස්තවාදී ව්‍යාපාර ද 1990 දශකයට පෙර සිට ම ක්‍රියාත්මක වූ නමුත් එහි ක්‍රියාකාරීත්වය වේගවත් වූයේ 90 දශකයේ පටන් ය.

ආගමික ත්‍රස්තවාදය

ආගම මුල් කරගෙන බිහි වූ මෙම ත්‍රස්තවාදී සංවිධාන පරාජය කිරීම සඳහා ඒවායේ ස්වරූපය අවබෝධ කරගත යුතු ය. මෙම ත්‍රස්තවාදී සංවිධාන කිසියම් ආගමික ධූරාවලියක් වෙනුවෙන් පෙනී සිටින බැවින් ඇතැම් විචාරකයන් ඒවා හඳුන්වන්නේ දෙවියන්ගේ හමුදාව (Armies OF God) යනුවෙනි. පෙර පැවැති ත්‍රස්තවාදී සංවිධාන හැඳින්වූයේ “ආමීස් ඔෆ් මෑන්” (Armies OF Man) ලෙස ය. සෑම ආගමක් ම ලෝකෝත්තර සහ පාරජම්බුල භෞතික ප්‍රපංචයන් තුළ කටයුතු කරන නමුත් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය අනෙකුත් ත්‍රස්තවාදයන්ට වඩා සුවිශේෂී භාවයක් දරනු ලබයි. ඔවුන්ගේ ඉලක්ක බවට පත්වන්නේ සිවිල් වැසියන්, ආගමික මධ්‍යස්ථාන සහ ආර්ථික මධ්‍යස්ථාන ය. වගවිභාගයකින් තොරව ප්‍රහාර එල්ල කිරීමත් තමන් විනාශ වෙමින් කෙසේ හෝ ඉලක්ක සපුරා ගැනීමත් යන කාරණා දෙස බලන විට මොවුන් සැලකෙන්නේ ඉතාම කෲර, ම්ලේච්ඡ සහ විනාශකාරී ත්‍රස්ත සංවිධාන ලෙස ය.

මෙම ත්‍රස්ත සංවිධාන නූතන මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන බැවින් ම ඇතැම් විචාරකයන් මෙම ත්‍රස්ත යුගය හඳුන්වන්නේ “The Age Of Selfie Jihad” යනුවෙනි. ඔවුන් තමන්ගේ ප්‍රතිරූපය නිරන්තරයෙන් ලෝකයට පෙන්වීමට උත්සුක වේ. එපමණක් නොව ඔවුන් ඉතා වේගවත් ය. මෙවැනි ත්‍රස්තවාදයන් පරාජය කිරීම සඳහා පසුබිම සැකසෙන්නේ ලෝක සංදර්භය තුළ වන අතර, වසර 2000න් පසුව මෙම ආගමික ත්‍රස්ත්‍රවාදයන් වේගවත් වීම හේතුවෙන් ඊට එරෙහි ව ත්‍රස්ත මර්දන ක්‍රියාමාර්ග ද වේගවත් වී ඇත. 2001 වසරේ අමෙරිකාවට එල්ල කළ අල්කයිඩා ප්‍රහාරයෙන් පසුව අමෙරිකාවේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය ද ඇතිව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආරම්භ වූයේ‍්, ඇෆ්ගනිස්ථානයට සහ ඉරාකයට ප්‍රහාර එල්ල කිරීමෙනි. එහි දී ලොව ප්‍රබල රටවල් අතර මෙම ආගමික ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සම්මුතියක් ඇති විය.

අල්කයිඩා සංවිධානයෙන් ආරම්භ වී ඉස්ලාම් රාජ්‍ය (IS) දක්වාත් ඉන් ඔබ්බටත් විකසනය වන ආගමික ත්‍රස්තවාදී සංවිධාන අතර අන්තර් සම්බන්ධන්ධතාවක් පවතී. ශ්‍රී ලංකාවේ ජාතික තව්හිද් ජමාද් සංවිධානය වැනි ඔවුන්ගේ ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක වන සංවිධාන පිලිපීනය, සෝමාලියාව, නයිජීරියාව, මධ්‍යම අප්‍රිකාව සහ ලිබියාව ඇතුළු තවත් බොහෝ තැන්වල හිස ඔසවා ඇත. එසේ ම මෙම අනුබද්ධිත ත්‍රස්ත සංවිධානයන්හි පවත්නා අන්තර් සම්බන්ධතාවයත් සමඟ ඊට එරෙහි ගෝලිය යුද්ධය ද බොහෝ තැන්වල ක්‍රියාත්මකය.

විසඳුම් සෙවීම

මෙබඳු ආකාර ත්‍රස්තවාදයන් හටගැනීමට බලපාන දේශපාලන, ආර්ථික, සමාජ මූලයන් නිශ්චිතව හඳුනාගත නොහැකි නිසාත්, ආගමික සංදර්භයක් තුළ වැරදි ආගමික ඉගැන්වීම් මත පදනම්ව ගොඩනැඟී ඇති නිසාත්, එසේ ම ඔවුන් දේශපාලන ගැටුම් කළමනාකරණ විධික්‍රම ප්‍රතික්ෂේප කරන නිසාත් ඔවුන්ට එරෙහිව එක ම ආයුධය වන්නේ මිලිටරිමය විසඳුම් ය. ඒ හේතුවෙන් 2001න් පසුව ලෝකයේ බොහෝ රටවල් ආගමික ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා යොදාගත්තේ යුද්ධයයි.

අද වන විට ඉස්ලාම් රාජ්‍ය සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ තීරණාත්මකව පරාජයට පත්ව සිටින අතර ඔවුන්ගේ “ඉස්ලාම් රාජ්‍ය” සංකල්පය ද බිඳ වැටී ඇත. ඔවුන් අල්ලාගත් බොහෝ ප්‍රදේශ අද ඔවුන්ට අහිමි ය. බොහෝ තැන්වල දී ඔවුන් යටත් වී, මර්දනයට ලක් වී ඇත. ආගමික මූලයන් මත, ආගමික වැරදි විශ්වාස මත පැනනැඟි මෙවන් අන්තවාදී ත්‍රස්තවාදයන් මුළුමනින් ම පරාජය කිරීම අපහසු වුවත් ලෝකය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, ප්‍රචාරක කටයුතු සහ වෙනත් නීති විරෝධී කටයුතු හැකිතාක් දුරට පාලනයකට ලක් කර ඇත.

සමාජීය විද්‍යාවන්වල සහ යුද විද්‍යාවන්වල ඉගැන්වෙන ආකාරයට ත්‍රස්තවාදීන් හෝ ත්‍රස්තවාදී සංවිධාන පරාජය කිරීමේ දී පළමුවෙන් ම සතුරා සහ සතුරු ඉලක්ක හඳුනාගැනීම අතිශය වැදගත් ය. සතුරාගේ සැබෑ ස්වරූපය වැරදි ලෙස අවබෝධ කරගතහොත් ප්‍රතිවිපාක භයානක ය. ඊශ්‍රායලය රටක් වශයෙන් බිහිවන්නේ 1947 වසරේ දී ය. එතැන් පටන් අද දක්වා ම ඊශ්‍රායලය වටා ඇති අරාබි රටවල් ඊශ්‍රායලයට එරෙහිව ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරත වේ. ඒ ත්‍රස්ත තර්ජන සියල්ල ජයග්‍රහණය කිරීමට ඊශ්‍රායලයට හැකි වූයේ තමන්ගේ සතුරන් හොඳින් හඳුනාගත් නිසාවෙනි. ඒ අර්ථයෙන් අතිශයින් වැදගත් වන්නේ, මෙම සතුරු උවදුර පිළිබඳ සැහැල්ලුවෙන් කතා කිරීම, සමච්චලයට ලක්කිරීම, අධිතක්සේරු කිරීම හෝ අවතක්සේරු කිරීම නොව, සැබෑ ස්වරූපය අවබෝධ කොටගෙන, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමට කටයුතු කොට ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීමයි.

ඒකාධිපති රාජ්‍යයකට මිලිටරිමය විසඳුම් නොඑසේ නම් සමූල ඝාතන ක්‍රියාදාම ඔස්සේ ත්‍රස්තවාදය පරාජය කළ හැකි වුවද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල තත්ත්වය ඊට වෙනස් ය. ඔවුන් රටට ලෝකයට වගකීමට බැඳී සිටී. එසේ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන අප ද ත්‍රස්තවාදය මර්දනය කිරීමේ දී අනුගමනය කරන සියලු ක්‍රියාදාමයන් නීත්‍යානුකූල තත්ත්වයක් තුළ සිදු කළ යුතු ය.

මෙබඳු ආකාර ත්‍රස්තවාදයක් පරාජය කිරීමේ දී බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකවිට ක්‍රියාත්මක වීම අතිශය වැදගත් ය. සතුරා සහ ඔවුන්ගේ උපායමාර්ග මුලින් ම හඳුනාගන්නේ බුද්ධි අංශ වන අතර ඉන්පසුව මර්දනය සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතන මඟින් සිදු කරයි. මෙවන් මෙහෙයුම් සුමටව කළ නොහැකි බැවින් මෙම ආයතන නිරතුරුව ම ආක්‍රමණශීලී ව ක්‍රියාත්මක විය යුතුය. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයේ ඇති මාරක ස්වරූපයටත් එම ත්‍රස්තවාදීන්ගේ ගතිලක්ෂණවලටත් උචිත වන අන්දමින් මර්දනය සඳහා අවැසි ක්‍රියාමාර්ග ද සකස්විය යුතු ය. එහි දී අනුගමනය කළ යුතු පිළිවෙත් බොහෝ රටවල් විසින් ඉදිරිපත් කොට ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන, වෙනත් පර්යේෂණ ආයතන සහ මේ පිළිබඳ පර්යේෂණ කළ උගතුන්, සාර්ථකව පරාජය කළ ත්‍රස්තවාදී ව්‍යාපාර පිළිබඳ අත්දැකීම් සම්පිණ්ඩනය කොට ඇත්තේ ලෝකයාට වැඩදායී වනු පිණිස ය. ඒ අනුව මෙවන් ත්‍රස්තවාදයන් පරාජය කළ හැකි අන්දම පිළිබඳව ලෝක ඉතිහාසයෙන් උගත හැකි ය. අප ද එම දැනුම ලබාගත යුත්තේ ශ්‍රී ලාංකික සමාජය වර්තමානයේ අත්විඳින තත්ත්වයෙන් අත්මිදීමට එම දැනුම උපයෝගී කරගත හැකි බැවිනි.

හුදකලා කිරීම

මෙහි දී පළමුකොට මෙම ත්‍රස්තවාදීන්ට සහය ලැබෙන ආයතන නොඑසේ නම් ව්‍යූහයන් හඳුනාගැනීම අතිශය වැදගත්ය. ආගමික මූලයන් පදනම් කරගෙන බිහිකෙරෙන ත්‍රස්ත සංවිධානවලට නිරන්තරයෙන් එම ආගමික කණ්ඩායම්වල සහය සහ රැකවරණය ලැබෙන බව නොරහසකි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස අප මෙම සම්බන්ධතාවය බිඳ දැමිය යුතු ය. ආගමික කණ්ඩායම්වල සිටින බහුතර සාමකාමී සිවිල් වැසියන් තවදුරටත් ත්‍රස්ත සංවිධානවල සහයකයන් හෝ අනුගාමිකයන් බවට පත්වීම වැලැක්විය යුතු ය. ඒ සඳහා වඩා වැදගත් වන්නේ අප ඔවුන් සමඟ ගනුදෙනු කරන ආකාරයයි. බහුතර සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව, ප්‍රධාන ධාරාවේ මුස්ලිම් දේශපාලන පක්ෂ සහ ඉස්ලාම් ආගමික සංවිධාන, මේ අවස්ථාවේ දී සුළු පිරිසක් විසින් ක්‍රියාවට නඟන ජිහාඩ් ත්‍රස්තවාදය නොඑසේ නම් අදාළ සංවිධානයේ ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කොට තිබේ. එසේ ම එයට එරෙහිව කටයුතු කරන ආයතනවලට තමන්ගේ සහය පළ කරමින් සිටී. මේ භාවිත කෙරෙන්නේ අදාළ ත්‍රස්තවාදය බිඳදැමිය හැකි අතිශය වැදගත් උපායකි. මන්ද ත්‍රස්තවාදීන්ගේ සහයක මධ්‍යස්ථාන අහිමි කිරීම තුළින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගෙන යෑම වැලැක්විය හැකි වනු ඇත.

ඇතැම් රටවල් මෙවැනි ත්‍රස්තවාදයන් ප්‍රචාරණය කරන බවට යම් යම් මත පළ වුවද ඔවුනට කිසිඳු රාජ්‍යයක නිල අනුග්‍රහයක් ලැබෙන්නේ නැත.

අන්තර්ජාතික දේශපාලනය තුළ දී රාජ්‍යයක ස්වාධිපත්‍ය යන්න එතරම් වැදගත් සංකල්පයක් ලෙස නොසැලකේ. මෙවැනි ත්‍රස්තවාදයන් පවා ක්‍රියාවට නැඟෙන්නේ රාජ්‍යයන් අතර අන්තර් රඳා පැවැත්ම තුළයි. එනිසා ම ලෝකයේ විවිධ සංවිධාන සහ ආයතනය අතර පවතින සබඳතා වැලැක්වීම අතිශය දුෂ්කර ය. රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වන මෙබඳු සංවිධාන අතර අන්තර් සම්බන්ධතා පවතින අතර ඒවා පාලනය කළ හැක්කේ ද රාජ්‍යයන් සමඟ සමීප සම්බන්ධතා ගොඩනැඟීම තුළිනි. මේ ආගමික ත්‍රස්තවාදයට අනුබල දෙන කිසිඳු අනුග්‍රාහක රාජ්‍යයක් ලෝක දේශපාලනය තුළ හඳුනාගත නොහැකි වීම ලෝක ප්‍රජාව ලබන විශාල ජයග්‍රහණයකි.

මෙම ත්‍රස්ත සංවිධාන බොහෝදුරට යම් යම් නායකයන් වටා ක්‍රියාත්මත්ක වන සේ ම එම නායකයන්ගේ පෞරුෂය නොඑසේ නම් වශීකරන ගුණාංග මත පදනම් වන සංවිධාන වේ. එබැවින් නායකයන් ඉවත් කිරීම තුළින් මෙම ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරීත්වය අඩපණ කළ හැකිය.

අල්කයිඩා සංවිධානයේ ක්‍රියාකාරිත්වය බොහෝදුරට අඩපණ කොට ඇත්තේ ඔවුන්ගේ නායක ඔසාමා බින් ලාඩන් විනාස කිරීමෙන් ය. ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ (IS) නායකයන් තිදෙනකු ද ප්‍රතිවිරුද්ධ හමුදා විසින් ඝාතනය කොට ඇති අතර ලොව පුරා තවත් එවන් සංවිධානවලට අයත් නායකයන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ද පවතී. එහි දී වඩා වැදගත් වන්නේ නායකයින් ඉවත් කිරීම තුළින් ත්‍රස්තයින්ගේ ධෛර්යය බිඳ දැමීමයි. එසේ ම මෙබඳු ත්‍රස්ත සංවිධාන පරාජය කිරීමේ දී වර්තමානයේ ඒ සම්බන්ධව කටයුතු කරන අයවලුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීම ඉතා වැදගත්ය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී අපට ලෝකයේ ප්‍රබල රටවල සහයෝගය පූර්ණ වශයෙන් නොලැබුණු නමුත් මේ මොහොතේ ගෝලීය අර්බුදයක් වන ආගමික ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී කිසිදු භේදයකින් තොරව සියලු රටවල් සහය දීමට ඉදිරිපත් වී සිටී. අප එම හස්තය භාරගත යුත්තේ, ගෝලීය මට්ටමෙන් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදයක් පරාජය කළ හැක්කේ ගෝලීය සහයෝගීතාව තුළින් ම වන හෙයිනි. ගෝලීයකරණය තුළ එක් රටක ගැටලුවක් ලෝකයේ ම ගැටලුවක් බවට පත්වීම නිරායාසයෙන් ම සිදු වන්නකි. පෙර කී ආකාරයට ආගමික ත්‍රස්තවාදය ලොව බොහෝ රටවලට බලපාන්නක් වන අතර ඊට විරුද්ධව කටයුතු කළ පිරිස්වල සහය ලබාගැනීම අතිශය වැදගත් ය.

ජාත්‍යන්තර සහාය

මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව විදෙස් සහයෝගය ලබාගනිමින් සිටින්නේ මෙබඳු ආකාර ත්‍රස්ත කටයුතු මර්දනය කිරීමේ දී ලෝක අත්දැකීම් තුළින් විපුල ඵල ලැබිය හැකි බැවිනි. මෙම ත්‍රස්ත ව්‍යාපාරය මර්දනය කිරීමටත්, ඔවුන් රට තුළ ඇති කළ භීතිය පරාජය කිරීමටත් අප තුළ ඇති ශක්තිය අප ම වටහාගත යුතු ය. එහි දී අප ඔවුන්ගේ මරු වළවල නොවැටී කටයුතු කිරීම බොහෝ වටී. අප වග බලාගත යුත්තේ ඔවුනට තවදුරටත් මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියා පවත්වාගෙන යා හැකි පසුබිමක් නිර්මාණය නොකර සිටීමට ය. එසේ ම ඔවුන්ගේ මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවලට ප්‍රතික්‍රියා දැක්වීමට ගොස්, ඉලක්කගත ආගමික හෝ වාර්ගික කණ්ඩායම්වල සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් සිදු වනුයේ අන්තවාදීන්ට තවදුරටත් ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට මඟ විවර වීමයි.

උද්ගතව ඇති තත්ත්වය තුළ ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරන ආකාරය පිළිබඳ විවේචන පැවතිය ද බහුතරය වගකීමෙන් කටයුතු කරන ආකාරයක් ද දැකිය හැක. ජනතාව ද කටයුතු කරන්නේ පෙරට වැඩි අවබෝධයකිනි. විශේෂයෙන් ම කතෝලික ප්‍රජාව සහ කතෝලික ආගමික නායකයින් කටයුතු කරන ආකාරය ඉතා ප්‍රශංසනීය ය. මන්ද මෙවන් ඛේදවාචකයන් සිදු වූ කළ එහි අනිටු ප්‍රතිඵලයක් ලෙස ඊට නොදෙවෙනි ජන සංහාරයන් සිදුවන බව අප දන්නේ අත්දැකීමෙන් ය. පෙර අවස්ථාවන්වල සේ ම මෙවර ද අප සිහිනුවණින් තොරව හැසිරුණ හොත් මෙම ප්‍රචණ්ඩත්වය තව තවත් වර්ධනය වනවා පමණක් නොව, අන්තවාදී ත්‍රස්තවාදයෙන් ද අපට ගැලවීමක් ද නැති වනු ඇත. එසේ හෙයින් මේ මොහොතේ මෙම අන්තවාදී ත්‍රස්තවාදයේ ස්වභාවය වටහා ගනිමින්, ඔවුන්ගේ උපක්‍රමවලට හසු නොවී, අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් අප ඉදිරියේ ඇති ත්‍රස්ත භීතිය මුළුමලින් ම පරාජය කළ හැකිය.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න