ලිවීම භාෂාවත් එක්ක මල්ලවපොරයක් | දිනමිණ

ලිවීම භාෂාවත් එක්ක මල්ලවපොරයක්

ප්‍රකට නවකතාකරු සල්මන් රෂ්ඩි Grimus, Midnight's Children, Shame, The Satanic Verses, The Moor's Last Sigh, Shalimar the Clown, Two Years Eight Months and Twenty-Eight Nights, The Golden House නවකතා ඇතුළු තවත් සාහිත්‍ය කෘති රාශියක් පළ කර ඇත. ඔහුගේ දෙවැනි නවකතාව 'මිඩ්නයිට් චිල්රන්' වෙනුවෙන් 1981 දී බුකර් සම්මානය හිමි විය. ලිවීම වෙනුවෙන් මරණ තර්ජන ලත් හෙතෙම, නිර්භීත ලිවීම වෙනුවෙන් ම ගෞරව බහුමානයෙන් ලෝකය පුරාම සමරනු ලැබෙයි.

ඉන්දියාවේ හැදී වැඩෙනවා කියන්නෙම ප්‍රබන්ධ ලියන්න ගැළපෙන වටපිටාවකින් පළමු වැනි හුස්ම ගන්නවා වගෙයි. ඒක ලේඛකයකුට ලබන්න පුළුවන් වටිනම තෑග්ගක්. 'වන් තවුසන්ඩ් ඇන්ඩ් වන් නයිට්ස්' විතරක්ම නෙමෙයි, සත්තු ගැන ලියැවුණ මිථ්‍යා කතන්දර වගේ ම, මහාභාරතය, රුබයියාට් වගේ ශ්‍රේෂ්ඨ කතන්දර එක්කයි මම උස් මහත් වුණේ. මේ අමුතු සාහිත්‍ය කියවලා මගේ හිතීමේ පරාසය වෙනම පැත්තකට හැරුණා කියලා මට හිතෙනවා. මායා යථාර්ථවාදී ලිවීමෙන් බැහැර වෙන්න මුල ඉඳන් ම මම උත්සාහ කළා. ඒ ශානරයෙන් ලිවීම හොඳටම කරන්න පුළුවන්, දකුණු අමෙරිකානු ලේඛකයන්ට කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ම, මායා යථාර්ථවාදී ලිවීම් ඒ අයටම පවරන්න මම කැමැති ඒකයි. මායා, යථාර්ථවාදය ඇතුළෙන්ම තව ප්‍රභේධ කීපයක් හොයාගන්න පුළුවන්. මේ ප්‍රභේධ අතර දකින්න තියෙන්නෙ හරි ම කුඩා වෙනස්කම්. ලියන්න තියෙන ක්‍රම අතරින් තමන්ගෙ කතාව කියන්න සුදුසු මාර්ගය හොයාගන්න එකයි ලේඛකයා කරන්න ඕනා.

යථාර්ථවාදයේ ස්වභාවය ගැන තාමත් අපි අතර නිසි එකඟතාවක් නැහැ. යථාර්ථවාදය දැන් වාදයක් වෙලා. සමහර වෙලාවට මේ වාදය සාහසිකයි. ඒ නිසා ම යථාර්ථවාදය ගැන වුණත් දැන් එහෙම සරලව ලියන්න අමාරුයි. යථාව ගැන පොදු එකඟතාවක් කා අතරවත් නැහැ. එක මිනිහෙකුගෙ ඇත්ත තව මිනිහෙකුගෙ බොරුව වෙන්නත් පුළුවන්. මේ වගේ වාතාවරණයක ජීවත් වෙනකොට, යථාව ගැන සබුද්ධිකව ඉන්න සිද්ධ වෙනවා. එහෙම බැලුවහම, යථාර්ථවාදය ගැන මගේ අදහස එක්තරා අන්ත දෙකක් අතරේ දෝලනය වෙනවා. එක අන්තයක රේමන්ඩ් කාවර් ඉන්නකොට, අනෙක් කෙළවරේ ඉන්නෙ ජේම්ස් ජොයිස්.

යමක් ලියන්න පටන් ගන්නකොට තමන්ගෙන්ම අහගන්න සුදුසු ප්‍රශ්න කීපයක්ම තියෙනවා. ලියන්නෙ මොනවද? ලියන කතාව මොකක්ද? ඒක කාගෙ කතාවද? ඇයි මේ කතාව කියන්නෙ? කියන ප්‍රශ්න ටික මුලින්ම එනවා. ඊ ළඟට කතාව කියන්නෙ කොහොමද? කතාව කියන්න මේ ක්‍රමය ‍තෝරගත්තෙ ඇයි? කියන ප්‍රශ්නෙටත් උත්තර දෙන්න සිද්ධ වෙනවා. ලිවීම සම්බන්ධයෙන් නිතරම 'ඇයි' කියන ප්‍රශ්නෙත් එක්ක පැටලීමෙන් ලිවීම සම්බන්ධයෙන් හරි තීරණේකට ඔබ තල්ලු කරනවා. ඉතා ම ප්‍රසිද්ධ, අති සාර්ථක නවකතාවල මහ ලොකු කතන්දර නැහැ. ඉතා ම සුළු සහ සරල කතාවක් අති විශිෂ්ඨ විදිහට ලිවීමයි ඒ අය කරලා තියෙන්නේ. කතාව කීමේ ලතාවෙයි සාර්ථකත්වය තියෙන්නේ. සරල උදාහරණයක් කියන්නම්. මම ලියන්න පටන් ගත්ත මුල්ම කාලෙ එක්තරා චරිතයක කථකයා ලේඛකයෙක් කරන්න ඕනා කියලා හිතුවා. හැබැයි ඒ අදහසම මහ කම්මැළි එකක් කියලා මට දැනුණා. ඒත් මම දිගටම ලියාගෙන ගියා. අතරමඟදි මගේ ඔළුව ඇතුළෙන් ලියන එක නවත්තන්න කියලා කටහඬක් යටිගිරියෙන් කෑ ගහනවා ඇහුණා. ඊළඟට මම හිතුවා කථකයා ලේඛකයෙක් නොවී බදු නිලධාරියෙක් වුණා නම් හොඳයි කියලා. කථකයාව සිනමාකරුවෙක් කරන එක ලේසියි කියලා, ඊටත් ටික වෙලාවකට පස්සේ මම හිතුවා. මොකද සිනමාව ගැන මම ලොකු උනන්දුවකින් හිටියේ. ඊට පස්සේ මම කථකයාව සිනමාකරුවෙක් විදිහට වෙනස් කළා. මේ වෙනස් කිරීමෙන් කතාව ඇතුළේම අලුත් දොරවල් කීපයක්ම ඇරුණා කියලා මට හිතුණා. නවකතාව සිනමා තිර පිටපතකට හැරුණු සමහර පරිච්ඡේදත් තිබුණා. නවකතාවක එක කථකයකුගේ වෘත්තිය වෙනස් කරපු එකෙන් නොහිතපු වාසියක් ලැබීම අහම්බයක්.

මම නවකතාවක් ලියන්න පටන් ගන්නකොට, ඒක කියවන්නෙ කවුද කියලා හිතන්නෙ නෑ. තරුණ කාලෙදි හිතුවේ මම සාහිත්‍යයේ යටහත් සේවකයෙක් කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ පාඨකයෝ මාව කියවන්නෙ කොහොමද කියලා මම දන්නෙ නෑ කියන එක. මගේ නවකතා පාඨකයෝ කියවන විදිහ ගැන පැහැදිලි අදහසක් මගේ ළඟ තියෙනවා. ප්‍රේක්ෂකාගාරයකට පොතක් වීසි කරන්න මම කැමැති නෑ. පොත ප්‍රේක්ෂකාගාර පොත පිළිගන්නයි ඕනා වෙන්නේ. මම කියන්න යන කතාව නිරවුල්ව කීමයි වැඩිය වැදගත් වෙන්නේ. 'මිඩ්නයිට් චිල්රන්' ලියනකොටත් මම හිතුවෙ ඒ විදිහට. කියන්න ඕන කතාව සරල වෙන්නම ඕන නෑ. එක මානයකින් විතරක් පේන්න වුවමනාත් නෑ. ඔබ ලියන කතන්දරය බහුමානික වුණොත්, ප්‍රතිඵල අති සාර්ථක වෙන ඉඩකඩ වැඩියි. ප්‍රධානම දේ කතාව කියන්න අතිශය පැහැදිලි සහ හොඳ ම ස්වරය හොයාගැනීමයි. එක් තැනක පැළවෙලා තියෙන කතාවක් ඕනම තැනකට ආදේශ කරන්න පුළුවන් විදිහට ලිවීමයි දක්ෂකම. ඒත්, ‍තෝරා ගැනීමක්, පරෙස්සමක් නැතිව හැම තැනම ගැන ඔබ ලියන්න ගත්තොත්, බොහෝ දුරට ඒක ඉවර වෙන්නෙ හරියට කිසිම තැනක් ගැන ලියාගන්න බැරුවයි.

මගේ ලිවීම ගැන විස්තර කරන එක ටිකක් පැටලිලි සහගතයි. හැමෝගෙම කතාවක් ලියන අභියෝගය පස්සෙන් මම නිතරම ලුහුබැන්දා. ඒ අභියෝගය ජය ගන්න එක හිතපු තරම් ලේසි නෑ. එක දෙයක් අවධාරණය කරන්න මම කැමැතියි. කිසි ම දවසක යන් කෘතියක් කියවන විදිහ ගැන පාඨකයාට උපදෙස් දෙන්න යන්න එපා. පාඨකයා මෙහෙයවන්න හිතීම අනුවණකමක්. 'ශාලිමාර් ද ක්ලවුන්' නවකතාවේ එක චරිතයක් දුෂ්ට මිනීමරුවෙක්. කියවගෙන යන අතරේ මේ චරිතයට පාඨකයා බය වෙනවා. සැන් කුවින්ටින් පවුරට උඩින් මේ දුෂ්ට මිනීමරුවා පියාසර කරන දර්ශනයක් පොතේ එක තැනක තියෙනවා. ඒ මොහොතෙ ඔහුගෙ දුෂ්ටකම යටපත් වෙලා, වීරකමක් මතුවෙනවා. මට ඕන වුණේ මේ චරිතය දකින විදිහ, හිතන විදිහ පාඨකයට දනවන්නයි. එහෙම නැතුව ඔහු මොන ජාතියේ මිනිහෙක්ද කියලා විතරක් කීම ඒ තරම් සාධාරණ නැහැ. මම ලියපු හැම පොතකම හිටපු චරිතවලට වඩා පරිපූර්ණකමක් ඔහුට දුන්නා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. සමහර වෙලාවට නවකතාවල ඉන්න චරිත අපේ පාලනයෙන් මිදිලා, එයාට ඕන මාර්ගයේ යන්න හදනවා. කලින් සැලසුම් කරගෙන හිටපු විදිහට ප්‍රතිවිරුද්ධම හැසිරීමක් මම ලියමින් ඉන්න චරිත පෙන්නුම් කරනකොට, මම තරමක් බය වෙනවා. විශේෂයෙන්ම 'ශාලිමාර් ද ක්ලවුන්' පොත ලියාගෙන යද්දි අනපේක්ෂිත සිදුවීම් බොහොමයක් වුණා. මම නිර්මාණය කරපු සමහර චරිත කරන, කියන දේ නිසා, මම පැත්තකට වෙලා අඬපු වෙලාවල් තිබ්බා. බූනියල්ගෙ තාත්තා පණ්ඩිත් ප්‍යාර්ලාල් එයාගෙ පලතුරු වත්තෙම මිය යන මොහොත මට ලියන්නම බැරි වුණා. මට ඒක දරාගන්න බැරි වුණා. ලියන මේසෙ උඩ වැටිලා මම අඬන්න පටන් ගත්තා.

'මම මේ මොකද කරන්නෙ' කියලා අප්‍රමාණ වාරයක් හිතුවා. 'මේ මම හදපු චරිතයක් විතරයි' කියලා ඊළඟට හිතුවා. ඒ වගේම සමහර වාක්‍ය ලියන්න බෑ කියලා වරු ගණන් පැත්තකට වෙලා ඉඳලා තියෙනවා. කතාවක් ලියාගෙන යන්න බෑ කියන හැඟීම මීට කලින් කවදාවත් මට දැනිලා තිබුණේ නෑ. ඒත්, වෙන්න පුළුවන් සහ වෙන්න ඕන එක ම දේ තීරණය කරලා ඉවර වුණාට පස්සෙ, වෙන පාරක යන්න බැහැ. කොයිතරම් දුක වුණත්, ඔබ ඒ වාක්‍ය ලියන්නම ඕනා.

මගේ පවුලේ මූලය තිබ්බෙ කාශ්මීරයේ. 'ශාලිමාර් ද ක්ලවුන්' නවකතාවෙන් මම උත්සාහ කළේ කාශ්මීරයේ අහිමි පාරාදීසය ගැන ලියන්න. මීට කලින් ලියපු 'මිඩ්නයිට් චිල්රන්' පටන් ගන්නෙ කාශ්මීරයෙන්. ඒත්, ඒ නවකතාව ඇතුළේ කාශ්මීර ප්‍රශ්නය ගැන ගැඹුරින් කතා කරන්න මට බැරි වුණා. ශාලිමාර් ඇතුළේ කාශ්මීරය කියන පාරාදීසය අපට අහිමි වුණා කියලා මම කියන්න උත්සාහ කරනවා. ඒත්, ඇත්තටම ඒ දිහා බැලුවොත්, පාරාදීසය තවම තියෙනවා. ඒත් අපි ඒ පාරාදීසයෙන් පිටමං කරලා කියලා තේරුම් ගන්න පුළුවන්.

මගේ ලිවීමේ ක්‍රමවේදය සාමාන්‍යයි. නවයේ ඉඳන් පහ වෙනකන් කරන රස්සාවක් විදිහටයි මම ලිවීම සලකන්නේ. නිකමට හිතන්න ඔබ රස්සාවක් කරනවා නම්, උදේම නැගිටලා රස්සාවට යන්න වෙනවා. ඔබ ඉන්නෙ අසනීපෙන්ද? නැද්ද? කියන එක ඒකට කොහෙත්ම අදාළ නෑ. මගේ ලිවීමත් ඒ වගෙයි. ලියන්න අදහස් එනකන් රස්තියාදු වෙන්න කාලයක් ඔබට ලැබෙන්නෙ නෑ. කරන්න තියෙන්නෙ වාඩිවෙලා ලියන එක විතරමයි. අවුරුදු ගාණක් තිස්සේ පුරුද්දක් විදිහට මම වාඩිවෙලා ලියනවා. නොලියා ඉන්න හේතුවක් කොහෙන්වත් හොයාගන්න ඉඩක් මට නෑ. නොලියා සිටීමේ වරප්‍රසාදයක් තමන්ට නෑ කියලා දැනුණහම, තමන්ට නියමිත රස්සාව කිරීම ගැන විතරයි හිතන්න ඉතිරි වෙන්නේ.

නවකතාවක් ලියන එකේ අමාරුම කොටස තියෙන්නේ ලෝකය හරිහැටි තේරුම් ගැනීමෙයි. ඒ වගේම මනුෂ්‍ය ජීවිතය මුද්‍රිත පි‍ටුවක් උඩට ගේන එක අති දුෂ්කරයි. හුස්ම ගන්න, ඇවිදින මනුෂ්‍යයෙක් පි‍ටුවක් උඩට කැඳවගෙන ඇවිල්ලා, ඔහුට පි‍ටු ඇතුළේ ජීවත් වෙන්න ඉඩ දීම ඊළඟ අමාරු කාරියයි. පාඨකයාට මේ චරිත හඳුනා ගැනීම පහසු කිරීම ඊටත් වඩා දුෂ්කරයි. ලේඛකයාට තමන් ලියන භාෂාව එක්ක වෙනම තලයක සම්බන්ධයක් තියෙන්න ඕනා කියලා මම විශ්වාස කරනවා. මේ සම්බන්ධය කාලයත් එක්ක වෙනස් වෙනවා. ලිවීමේ භාෂාවත් එක්ක ඕනම ලේඛකයෙක් කරන සෙල්ලම් රාශියක් තියෙනවා. මේ සෙල්ලම්වලින් ඔහු හෝ ඇය හෙම්බත් වුණහම, අලුත් ප්‍රයෝග හොයාගෙන යනවා. ඒ ප්‍රයෝගවලින් නව ලිවීමේ මාදිලි බිහි වෙනවා. මේ දේ, භාෂාවත් එක්ක කරන අනවරත මල්ලවපොරයක්. මගේ ‍රැකියාවේ හොඳ ම අංගය ඒකයි. මම වැඩියෙන් ම ප්‍රමෝදයට පත් වෙන්නෙත් ඒ අංගය නිසාමයි. මගේ ජීවිතේ සතු‍ටුදායකම මොහොත උදා වෙන්නේ පොතක් ලියන්න ගත්තහමයි. පොතක් මුද්‍රණට වුණාට පස්සෙ ලැබෙන ප්‍රමෝදයට වඩා , අති ඉහළ තැනකයි ඒ ප්‍රමෝදය තියෙන්නේ. ඔබ ලියන මොහොතේ ඔබේ ලිවීම අතිශය පෞද්ගලිකයි. ඔබ හැර කිසිවෙක් ඒ ගැන නොදන්න නිසා, එතැන තියෙන්නෙ සඟවාගත් ප්‍රීතියක්. ඒත්, ඒ සියල්ල, පොත මුද්‍රණය කිරීමත් එක්ක ඉවර වෙනවා. අතිශය පෞද්ගලික ලිවීම, අතිශය පොදු වීම නිසයි එහෙම වෙන්නේ. ඒක හරියට ප්‍රසිද්ධියේ ඇඳුම් ඇඳීමක් සහ අහවර කිරීමක් වගෙයි.

මගේ පාඨකයෝ මොන වගේ අයද කියලා හරියටම කියන්න බෑ. ඒ අය කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒ වගේම කාලයත් එක්ක අලුතින් එකතු වෙනවා. හැබැයි මගේ පාඨකයන්ට මම කැමැතියි. ඒ අය හැම ප්‍රදේශයකම, හැම වර්ගයකම, හැම වයස් කාණ්ඩයකම එකතුවක්. ඒ පැතිරීමට මම හරි ම කැමැතියි. මට අවුරුදු 70 ට ලබන්න ආසන්න වෙලා තියෙනකොටත්, තරුණ-තරුණියෝ මගේ පාඨකයෝ විදිහට ලැබීම එක්තරා පුදුමයක්. සමහර පොත් මම ලියනකොට ඒ අය ඉපදිලාවත් නැතුව ඇති. කාලය හරහා ගමනක් යන්න පුළුවන් වුණා වගේ හැඟීමක් මට ඒකෙන් ලැබුණා.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම් :

http://bit.ly/2Hxvqel
http://bit.ly/2YIpaWS
http://bit.ly/2VGxyUx
http://bit.ly/2LXnQ0M


නව අදහස දක්වන්න