ප්‍රබන්ධයක වුණත් හැම දේම ලියන්න බැහැ | දිනමිණ

ප්‍රබන්ධයක වුණත් හැම දේම ලියන්න බැහැ

ඇනාලී නිවිට්ස්

‘ඔටෝනොමස්’ යනු මෑතකදී කතාබහට ලක්වුණ විද්‍යා ප්‍රබන්ධයකි. එහි රචිකාව වන්නේ, අමෙරිකානු ජාතික මාධ්‍යවේදිනියක, කර්තෘවරියක සහ ප්‍රබන්ධ මෙන් ම ප්‍රබන්ධ නොවන නවකතා රචිකාවක වශයෙන් ප්‍රසිද්ධ ඇනාලී නිවිට්ස් ය. ඇය iO9 සහ Ars Technica නම් තාක්ෂණික සඟරාවේ නිර්මාර්තෘ සහ ප්‍රධාන සංස්කාරකවරියක ද වේ. ඇය සිය විද්‍යා ප්‍රබන්ධය පිළිබඳ clarkesworldmagazine.com වෙබ් අඩවිය සමඟ කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

‘ඔටෝනොමස්’ හි එන කතාව ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද ?

‘ඔටෝනොමස්’ කතාව මූලිකවම ගෙතිලා තියෙන්නේ ‘ජැක්’ නම් තරුණ විද්‍යාඥයෙක් වටායි. ඔහු ඉතා වැදගත් ඖෂධයක් සොයා ගන්නවා. ඒත් ඔහු එය නිවැරැදි විධිහට නිකුත් කර ගැනීමටත් පෙර, තවත් විද්‍යාඥයන් පිරිසක් විසින්, මෙය නිපදවන සැලැස්ම සොරකම් කරලා, ඔවුන් නැවත මේ ඖෂධය නිර්මාණය කරනවා. එය ජැක් කලින් වෙළෙඳ පොළට නිකුත් කරනවා. ජැක්ට එහිදී ඖෂධය සොයා ගැනීමේ අයිතිය පවා නැති වෙනවා. මෙහිදී ජැක් ට නීතියේ පිහිට හා අධාරය ලබාදීලා, යුක්තිය ඉටුකර දීමට ඔහුට උදවු කරන්න ඉදිරිපත් වෙන්නේ, එලියස් සහ පැලඩින් කියන රොබෝවරු දෙදෙනායි. මේ කතාව 2050 සිදුවන ලෙස තමා මම නිර්මාණය කර තිබෙන්නේ. මිනිසුන් ළඟ නැති මනුෂ්‍යත්වය, මේ රොබෝවරු වෙතින් ලැබෙන අන්දම මම කතාවේ පෙන්නුම් කරනවා. තාක්ෂණය සමඟ මනුෂ්‍යත්වයත් එකාබද්ධව පැවතිය යුතු බව මෙහිදී අනාවරණය වෙනවා.

‘ඔටෝනොමස්’ කතාව ලිවීමට පාදක වන සිද්ධිය මොකක්ද?

මට මීට අවුරුදු කීපයකට කලින් UC Berkeley විද්‍යා පර්යේෂණාගාරයට යාමට අවස්ථාව ලැබුණා සහ එහි මට දින කිහිපයක් ගත කිරීමට අවස්ථාව ලැබුණා. එහිදී, විද්‍යාඥ කණ්ඩායමක් භූමිකම්පාවලදී විපතට පත් වූවන් බේරා ගැනීමට පුළුවන් රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරන අන්දම මම දුටුවා. මම මුලින්ම ඒක දැක්කේ, කුඩා තාප්පයක් නැගීමට උත්සාහ කරන ආකාරයටයි. ඒක, මනුෂ්‍යයකුගේ චලනවලට සමානයි. ඒත් ඒක, සම්පුර්ණ මිනිසකුගේ හැඩයට සමාන නම් නැහැ. ඒත්, පාද කොටස මනුෂ්‍යයකුට සමාන වන ආකාරයට නිර්මාණය කරලා තිබුණා. එම රොබෝ යන්ත්‍රයට, බිත්ති වැනි බාධක පවා ඉවත් කරලා ගමන් කළ හැකි බව, එම විද්‍යාඥයන් පිරිස මට පැවසුවා. ඒත්, මම ඒ මොහොතේ ඉඳන් ම, එම රොබෝව ඇත්තම මනුෂ්‍යයෙක්ගේ ශරීර අංගවලින් සමන්විත වුණා නම් කියලා සිතුවා. ඒකෙ හොඳ පැත්ත වගේම නරක පැත්ත ගැනත් මම මෙහිදී හිතුවා. කෙසේ හෝ ‘ඔටෝනොමස්’ සඳහා බලපෑවෙ මේ සිද්ධියයි.

මේ කතාව තුළ කියැවෙන්නේ, සම්පූර්ණයෙන් ම විද්‍යාව හා තාක්ෂණය ගැන සහ අනාගතය ගැන. මේ වගේ දේ අනාගතයේ සිදු වේවි කියලා ඔබ හිතනවද? ඔබගේ පදනම මේ අංශයේ දීර්ඝ කාලීන ගවේෂණයද?

මම මෙය ලිවීමට පෙර මේ ගැන සොයාබැලීමක් කළා. මම මේ රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් විද්‍යාඥයන් බොහෝ දෙනකු සමඟ සාකච්ඡා කළා. ප්‍රබන්ධයක් වුණ පලියට, මට හැම දේම ලියන්න බැහැ. එයට විද්‍යාත්මක පදනමක් පැවතිය යුතුයි. මෙහි කියැවෙන ඖෂධය, නියුරෝනවලට බලපෑමක් කරන එකක්. ඒ ගැන ලිවීමේදී මම දැඩි ලෙස පරික්ෂාකාරී වුණා. මම නියුරෝන විද්‍යාව ගැන මදක් දැනගෙන සිටියා. ඒ වගේ ම මම නියුරෝන විද්‍යාඥයන් සමඟ විශේෂයෙන් සාකච්ඡා කළා.

නව අදහස් එන්නේ විද්‍යා සඟරා කියවිමෙන් බව, ඔබ වරක් ප්‍රකාශ කර තිබුණා. මේ කතාවටත් එය එසේමද?

මම නිතරම විද්‍යා සඟරා කියැවීමට පුරුදු වී සිටිනවා. ඒ අතරින් රොබෝ තාක්ෂණය, නියුරෝන විද්‍යාව මගේ වැඩි අවධානය යොමු වෙනවා. මම බොහෝ විට, බොහෝ පර්යේෂණ දෙවියන් සමඟ සෙල්ලම් කිරීමක් වගේ දකිනවා . ඒත්, මගේ නම් අරමුණ, මිනිසාට උදවු වන තාක්ෂණයක් ගැනයි. මගේ සඟරාව තුළදී මම බොහෝ විට උත්සහා කරන්නේ, මිනිසාට යහපත් තාක්ෂණයක් ගැන කතා කිරීමටයි.

ඔබ මීට කලින් ප්‍රබන්ධ ගණයට අයත් නොවන නවකතා කිහිපයක්ම රචනා කර තිබෙනවා. විද්‍යා ප්‍රබන්ධයක් සහ සාමාන්‍ය නවකතාවක් අතර ඇති වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?

සාමාන්‍ය නවකතාවකදී අපි බොහෝ විට ඇත්ත පරිසරය, සංස්කෘතිය, දේශපාලනය ගැන පදනම් වෙලා තමයි ලියන්නේ. මුලික සිද්ධිය හා පුද්ගලයන් කල්පිත වුවත් ඒ හා ඇති සම්බන්ධතා අපට හිතෙන විදියට ගොඩනගන්න බැහැ. ඒත්, විද්‍යා ප්‍රබන්ධයකදී මට බොහෝ නිදහසක් තිබෙනවා. සමහර විට මම දකින සිහිනයක් වුණත් ප්‍රබන්ධයක් තුළට ගේන්න නිදහස තිබෙනවා.

ඔබ කැමැති ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය මොකක්ද?

ඒක නම් ගොඩක් අමාරු ප්‍රශ්නයක්. මම බොහොමයක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට කැමතියි. ඒ අතරින් මීට වසර කිහිපයකට කලින් නිර්මාණය වුණ Pacific Rim වලට නම් මම දැඩි ලෙස ඇලුම් කළා. එතරම් විශාල රොබෝවරු සහ පිටසක්වලින් පැමිණි විශාල සත්වයන් දැකලා, මා පුදුමයට පත් වුණා. එහි පූර්ව ප්‍රචාරක වීඩියෝ පටය නැරැඹීමෙන් පසු, මම එය සිනමාහල්වලට පැමිණෙන තුරු දින ගනිමින් සිටියා.

ඔබ මේ වනවිට කොපමණ ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා කර තිබෙනවාද?

'ද ග්‍රේට් ඔක්සිජන් රේස්, ද ග්‍රවිටි ෆෙටිශිස්ට්, ට්විලයිට් ඔෆ් ද එකො-ටෙරොරිස්ට්, අන්ක්ලේම්ඩ්, ඩ්‍රෝන්ස් ඩෝන්ට් කිල් පීපල්, ඕල් නැචුරල් ඕර්ගනික් මයික්‍රෝබ්ස්' ආදී කෙටි කතා පොත් 10ක් පමණත්, විචාර රචනා ලිපි දෙකක්, ප්‍රබන්ධ නොවන නවකතා පහක්, ප්‍රබන්ධ නවකතා 4ක් ලියා තිබෙනවා. මං 2010 වසරේදී තමයි ලේඛන කලාවට අවතීර්ණ වුණේ. මේ වන විට මං විශාල ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

ඔබ පුවත්පත් සහ සඟරා කිහිපයකම ආරම්භකයා ලෙසත් කටයුතු කරනවා නේද?

ඔව්. Bad Subjects(1992), Gizmodo, io9.com යනාදී පුවත්පත් සහ සඟරාවල ආරම්භකයා මමයි.

ඔබගේ ඊ ළඟ නිර්මාණය මොකක්ද?

මම මේ දිනවල අලුතෙන් නවකතාවක් ලියන්න පටන් ගත්තා. ඒක මම කරන්නේ Tor Books පොත් ප්‍රකාශකයන්ට. එය කාල-තරණය (time travel) ගැන කියැවෙන කතාවක්. ඒ අතරේ මම පුරා විද්‍යාව ගැන කියැවෙන පොතක් ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. එහිදී මම පුරාණ සැඟවුණ නගර ගැන ලියනවා. ඒ පොත ලියද්දි මට කාල-තරණ යන්ත්‍රයක් තිබුණා නම් කොයිතරම් ලේසිද කියලා හිතනවා.

යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න