විල බොර වුණත් නෙළුම් පිපෙනවා! | දිනමිණ

විල බොර වුණත් නෙළුම් පිපෙනවා!

රන්ජන් අමරරත්න
මහින්ද කොඩිසිංහ

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් ප්‍රකාශනයෙ දී, කොඩිසිංහ මහතා වඩාත් සාර්ථක බව පෙනෙයි. එහිලා ඔහුගේ නිරූපණ ස්වාභාවික ය. අව්‍යාජ ය. සමස්ත පද්‍ය සංග්‍රහය දෙස බලන විට, ප්‍රධාන දුර්වලතා දෙකක් පවතී. පළමු දුර්වලතාව වන්නේ, කවිය සංස්කරණයට ලක් නොකිරීම ය. මේ අනුව කවියක් ලෙස සකස් නොවූ නිර්මාණ ගණනාවක් එහි තිබේ. ඕනෑම නිර්මාණයකට සංස්කරණය වැදගත් ය .

සිංහල කවිය යළි අළු ගසා නැඟිටින හැටියක් දකින්නට තිබේ. එවැනි මතයකට යා හැක්කේ, හේතු සාධක කිහිපයක් නිසා ය. පරිණත කවීන් නැවත නිර්මාණකරණයට ප්‍රවේශ වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීම, සයිබර් අවකාශයට නිතිපතා යොවුන් කවි තොගයක් එකතු වීම, අභිනව කවීන්ගේ කාව්‍ය - සංග්‍රහ වරින් වරප්‍රකාශයට පත්වීම ඉන් ප්‍රධාන ය. මුද්‍රිත මාධ්‍ය ඔස්සේ කාව්‍ය - විචාර පළ වීම, විද්‍යුත් මාධ්‍යවල වැඩසටහනක් ඔස්සේ කවිය සංවාදයට ලක් කිරීම හා කවි පොත් දොරට වැඩීමේ උත්සව පැවැත්වීම තව අතෙකින් සිදු වෙයි. ප්‍රකාශන සමාගම් පවා කවිය ගැන නැවත සිතා බලන්නට පෙලැඹී ඇත. මෑත කාලීන අතීතය සමඟ මේ සියල්ල සසඳන සහෘදයා, සිංහල කවිය උත්ථානය වී ඇතැ’යි සිතන්නට පුළුවන. එය සාධාරණ ය. තාර්කික ය.

මේ සන්දර්භය තුළ එළි දැක් වූ තවත් කාව්‍ය සංග්‍රහයක් කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබේ. එය මහින්ද කොඩිසිංහගේ ‘හංස විලම බොරවී’ නම් කෘතිය යි. කොඩිසිංහ මහතා දීර්ඝ කාලයක් ගුරුවරයකු ලෙස සේවය කර ඇත. ඒ හැරත් ඔහුට ඇති සමාජ ගනුදෙනු ප්‍රමාණය පුළුල් බව ද ‍පෙනී යයි. ‍මේ අනුව ඔහු සතු අත්දැකීම් කෝෂය ද ප්‍රමාණයෙන් විශාල බව පෙනෙයි. කාව්‍ය සංග්‍රහයට ස්වාධීන නිර්මාණ හැත්තෑ දෙකක් ඇතුළත් ය. ඒවා රචනා වී ඇත්තේ විවිධ තේමා යටතේ ය. අධ්‍යාපන තරගය, සමාජ පරිවර්තනය, අපේකම, පරම්පරා ගැටුම, මනුෂ්‍යත්වය හා පරිසරය ඒ අතර විශේෂ වෙයි.

කුමන කාව්‍ය සංග්‍රහයක වුව, සියලු නිර්මාණ සාර්ථක වන්නේ නැත. එලෙස ම ඕනෑම සංග්‍රහයක සියලු නිර්මාණ පාඨක ආකර්ෂණය දිනා ගන්නේ ද නැත. සහෘද සිත් කම්පනයට පත් කරන නිර්මාණ දෙක තුනකින් කාව්‍ය සංග්‍රහයක් බබළන්නට පුළුවන. කෙටිකතා සංග්‍රහයකට වුව ඉහත කියමන පොදු ය. කොඩිසිංහ මහතාගේ ‘හංස විල ම බොර වී” කාව්‍ය සංග්‍රහය ගතහොත්, පරිසරය, සමාජ පරිවර්තනය හා අධ්‍යාපනික තරගය සම්බන්ධයෙන් රචනා වූ ප්‍රබන්ධ, කාගේත් අවධානයට ලක්වනු ඇත. මේ අතර අපගේ ආකර්ෂණය දිනාගත් කාව්‍ය නිර්මාණ තුනක් ගැන සටහනක් තබන්නට කැමැත්තෙමු.

තෝරාගත් පළමු කවිය වන්නේ, ‘ඉන්නවා දැනෙනවා දැනුත් මගෙ ළඟින්‘ යන්න ය. එය පද්‍ය සංග්‍රහයේ දහතුන් වැනි නිර්මාණය වන අතර, සාම්ප්‍රදායික මව, ඉන් ඔ‍සොවා තබයි. තෝරාගත් දෙවැනි කවිය වන්නේ ,‘යම ලොව සිට’ යන්න ය. එය කාව්‍ය සංග්‍රහයේ විසි හතර වැනි නිර්මාණය වන අතර, සමාජ විසමතාව ඉන් නිරූපණය කෙරේ. තෝරාගත් තෙවැනි කවිය වන්නේ ඉස්කෝලේ පිරිත් යන්න ය. එය කාව්‍ය කෘතියේ හතළිස් අට වැනි නිර්මාණය වන අතර, එහිලා උත්ප්‍රාසය ඔස්සේ සමාජ විවේචනයක් ඉදිරිපත් කෙරේ.

ඉන්නවා දැනෙනවා - දැනුත් මගේ ළඟින් ප්‍රබන්ධය සහෘදයා බලවත් කම්පනයකට පත් කරන වෘත්තාන්තයකින් සමන්විත ය. මෙහිදී සිහිපත් කළ යුත්තේ, ඇතැම් කවිවල අර්ථ සම්පන්න හෝ අනුවේදනීය හෝ කතාවක් ඇති බව ය. මේ කවියේ එන අනුවේදනීය කතාව ආදරණීය අම්මා ගැන ය. ලෝකයේ ප්‍රකට කුරියර් සඟරාව මීට වසර කිහිපයකට පෙර සිය කලාපයක් වෙන් කර තිබුණේ, පවුල සමාජය හා සංස්කෘතිය ගැන විවරණයක් ඉදිරිපත් කිරීමට ය. එහි එන පර්යේෂණාත්මක ලිපි පෙළෙන් සනාථ වන්නේ, පවුල - සමාජය හා සංස්කෘතිය උ‍දෙසා, ලෝකයේ මව්වරුන් දක්වන සුවිශාල දායකත්වය ගැන ය. අම්මා යනු අපේ සංස්කෘතික පැවැත්මේ මූලය ලෙස හැඳින්වීමෙහි වරදක් නැත.

කොඩිසිංහ මහතාගේ කවියෙහි එන අම්මා, රාජ්‍ය සේවයෙහි නිරත ව සිට විශ්‍රාම ගිය තැනැත්තියකි. ඇයගේ ස්වාමියා ගැන සඳහනක් නැත. එක්කෝ ඔහු මිය යන්නට ඇත. නැතහොත් පවුල අතහැර යන්නට ඇත. මවට දරුවෝ හතර දෙනෙක් සිටිති. ඒ, පිරිමි දරුවන් තිදෙනකු හා දියණියක වශයෙනි. සියල්ලෝ ම ආවාහ - විවාහකයෝ වෙති. දියණිය හිතුවක්කාර විවාහයක් කරගෙන, එය කඩාකප්පල් වී, නැවත මහ ගෙදර පැමිණ සිටී. ඇයට රැකියාවක් නැත. ඇයගේ බර ද මව පිට පැටවී ඇත. අපගේ සිහියට නැ‍ඟෙන්නේ, අප්‍රමාණ කැපවීමක් දරමින් සිය යුතුකම් ඉටු කරන දිරිය මවකි. ඒ අපේ සංස්කෘතිය ඔස්සේ බිහි කළ ඇත්ත අම්මා ය. අම්මාගේ කතාව අප වෙත ඉදිරිපත් කරන්නී, ඇයගේ එක ම දියණිය යි.

කවියා අවස්ථා නිරූපණ හතරක් ඔස්සේ අම්මා පිළිබඳ වෘත්තාන්තය ගොඩ නඟයි.

I චරිත නිරූපණය

II පරමාදර්ශය

III අම්මාගේ මරණය

IV දරුවන්ගේ හැසිරීම

මහින්ද ‍කොඩිසිංහ මහතා අපගේ පොදු අම්මා පිළිබඳ අපූරු නිරූපණයක් ඉදිරිපත් කරයි. අම්මා චිත්‍රණය කොට දක්වන ආකාරයට අනුව, සහෘද සිත්හි මහත් සංවේගයක් උප දී. එක ම සාරිය ඇඳගෙන පොළට යන අම්මා, අරපිරිමැස්ම සඳහා කඩේ බෑග් මිලට නොගනී. වයසට ගියත් කීයක් හෝ ඉතිරි කර ගැනීම සඳහා බසයෙන් ම ගමන් යයි. අරපිරිමැස්ම, දරුවන් උ‍දෙසා කැප වීම හා දරුවනට අසීමිත ලෙස ආදරය කිරීම, අපට අයත් සංස්කෘතික අම්මාගේ සිරිත ය.

එක අතෙකින් බලන විට, මෙහි එන අම්මා පුදුමසහගත ය. හිතුවක්කාර දීගය අතහැරී, මහ ගෙදරට එන දියණියට ඇය බැණ වදින්නේ නැත. දෙස් කියන්නේ නැත. ආවාහය කරගත් පිරිමි පාර්ශ්වය සමඟ රණ්ඩු ඇල්ලීමට හෝ ඔවුන් විවේචනය කිරීමට හෝ අම්මා ඉදිරිපත් වන්නේ නැත. ඇය එක ම එක වතාවක් පමණක් පිරිමි පාර්ශ්වයේ ගෙදරට යයි. එම සමාලෝචනයෙන් පසු අදාළ පාර්ශ්වය පිළිබඳ සඳහනක් කිරීමට හෝ ඇය ඉදිරිපත් වන්නේ නැත. තම කනවැන්ඳුම් දියණිය පවා අම්මාට සුරතල් දරුවෙකි. අම්මා පොළට ගොස් පෙරළා එන අතර, දියණියට රට කජු ගොට්ටක් ගෙනත් දෙයි. එක්තරා දෙමළ චිත්‍රපටයක නිරූපණයකට අනුව, දුප්පත් රෙදි වෙළෙන්දෙක් ‍රෙදි පොට්ටනියක් ද පා පැදියේ බැඳගෙන, මහත් වෙර දී එය පදියි. ඔහුට ශත කිහිපයක් දීමෙන් ඉතා පහසුවට බසයේ යා හැකි ය. පසුව ඔහු කියා සිටින්නේ, තම මාමණ්ඩියට බුලත් විටක් මිලට ගැනීම සඳහා බසයේ ගාස්තුව ඉතිරි කර ගන්නා බව ය. තම ආදරණීයයන් වෙනුවෙන් යමක් ලබාදීම සඳහා, බොහෝ මිනිස්සු අන්ත දුක් විඳිති. මේ කවියේ එන මව ද එබඳු තැනැත්තියකි.

මෙහි එන මව බැංකු පොතේ ඉතිරිකර ඇති මුදල දෙස බලන විට ද, සහෘද සිත කම්පනයට පත් වෙයි. ඇය කෙබඳු ගැහැනියක ද යන්න එයින් පැහැදිලි වෙයි. අලුත් අවුරුද්දට හෝ සෙසු දරුවන් මහ ගෙදරට නොපැමිණීම ගැන දියණිය මතක් කරන විට, අම්මා කෝප ගැන්වෙන්නේ නැත. දරුවන්ට ශාප කරන්නේ නැත. ඒ වෙනුවට දරුවන්ට අසනීපයක්දෝ’යි අම්මා තරමක් කලබලයට පත් වෙයි. ඇය දරුවන්ගේ වැරැදි කියවන්නේ නැත.

“බලන්න ආවෙ නෑ හුඟ කාලෙකින්
මතක් කළා ඉඳහිට අවුරුදු කාලෙට නම්
සැරින් සැරේ එයා ම කියෙව්වා හැන්දෑවට
කරදරයක්ද මේ ළමයින්ට කියල හෙමින් - හෙමින්

ඒත් පෙනුණෙ නෑ දුකක් නම් එයාගෙ මූ‍ණේ, මතකයි මම එයාලට දොස් කියද්දි හිනා වුණා හයියෙන්.

(13 - කවිය)

මෙහි එන අම්මාගේ සිනහව සංකේතයක් ලෙස ගත හැකි ය. ඇය බොහෝ දේ උ‍පේක්ෂාවෙන් යුතුව දරා ගැනීමට වෑයම් කරන බවක් ඉන් හැ‍ඟෙයි. බැංකු පොතේ සල්ලි දරුවන් බෙදා -හදා ගන්නා ආකාරයත්, ඒවා වියදම් කරන ආකාරයත් ඔස්සේ පෙනී යන්නේ, පරම්පරා දෙකක සිතුම් - පැතුම් හා චර්යා රටාවල පරතරය ය.

කවියා කට වහර හා දීර්ඝ වාක්‍ය යොදා ගනිමින් සංයමයකින් යුතුව අම්මා පිළිබඳ කතාන්දරය ගොඩ නඟයි. ‘ස්ටීව් ස්මිත්’ නම් කවියා 1972 දී ‘අම්මා කුණුබක්කිය අස්සේ’ යැයි (Mother Among the Dustbins) කවියක් රචනා කර තිබේ. කොඩිසිංහ මහතාගේ රිද්මය හා භාෂා රටාව ඊට සමාන යැයි කියන්නට පුළුවන. ‘ස්ටීව් ස්මිත්’ ද සංයමයකින් යුතු දීර්ඝ වැකි භාවිත කරයි.

“Mother, among the dustbins and the manure

I feel the measure of my humanity, an allure

As of the presence of God, I am sure

(first – verse)

මේ කවිය අම්මා පිළිබඳ නැවත සිතා බලන්නට අප පොලඹවයි. කොඩිසිංහ මහතාගේ ප්‍රබන්ධය ද අම්මා කෙරෙහි නැවත සිතා බලන්නට පෙලැඹ වීමක් ඇති කරයි. කවියාගේ සමාජ කාර්යය දෙස බලන විට එය කාලෝචිත ය. වැදගත් ය.

අපගේ අවධානයට ලක්වන දෙවැනි කවිය, “යම ලොව සිට’ යනුවෙන් නම් කර ඇත. එහි ඇති කතාන්දරය කියන්නේ ගුරුවරයා ය. ඔහු එක්තරා දරුවකු කෙරෙහි විශේෂ අවධානයකින් පසුවෙයි. මේ දරුවා ප්‍රශ්නකාරී ය. දරුවා ආහාර රැගෙන එන්නේ නැත. පන්තියේ දරුවන් කෑම කන විට ඔහු පාසලේ කොනක ඇති පොකුණ ළඟට වී මොනවාදෝ සොයයි. දරුවාගේ අනාථභාවය ද, ඔහු සමාජයේ දුරස් වී ඇති ආකාරය ද එයින් නිරූපිත ය. ගුරුවරයා දරුවා නිරීක්ෂණය කර ඔහුට රුපියල් විස්සක් ලබා දෙයි. ඉන් පසු දරුවා සතුටින් ය.

මේ දරුවා පුංචි - පුංචි සොරකම්වලට පෙලඹෙයි. එය ස්වාභාවික ය. එහෙත්, පාසලේ විනය පද්ධතියට අනුව ඔහුට දඬුවම් ලබා දිය යුතු ය. පියා කැටුව පාසල එන්නැ’යි විදුහල්පති දරුවාට අණ කරයි. එතැන් සිට ඔහු පාසල් ගමන නතර කරයි. ලොරියක වැඩට යයි.

“දැවිල්ලක් දැනේ පපුවට
හිත එකඟ නැහැ කිසිවකට
දැනෙන්නේ එක දෙයක් පමණයි
අනාගතේ යම් දවසක අප අතරට
නුඹ එන බව යම ලොව සිට”
(අවසන් පද්‍යය)

මේ කවියෙන් අනුභූති දෙකක් මතුවෙයි. පළමු අනුභූතිය සංවේදී ගුරුවරයා ය. දෙවැනි අනුභූතිය අනාථ දරුවා ය.

රටේ පවතින අධ්‍යාපන ක්‍රමයට හා ප්‍රතිපත්තිවලට අනුව සංවේදී ගුරුවරයකුට වුව, දරුවකු වෙනුවෙන් කළ හැකි විශේෂ දෙයක් නැත. ඉගැන්වීම නීතියකි. දරුවන් ගැන සොයා බලන හා ඔවුන් නිරීක්ෂණය කරන ක්‍රමවේදයක් අපට නැත. මෙහි එන දරුවාගේ පියා නැත. මව නැත. ඔහු වැඩෙන්නේ අත්තම්මාගේ සෙවණ යට ය. අත්තම්මාට කළ හැකි දෙයක් නැත. ගුරුවරයා දරුවාට රුපියල් විස්සක් ලබා දුන්න ද; එයින් ජීවිතය ගොඩගත නො හැකි ය. ඒ අනුව ගුරුවරයාට කළ හැකි දෙයක් ද නැත. ඔහුට කළ හැක්කේ, ශෝක වීම පමණකි. දරුවා සමාජ විරෝධියකු ලෙස අනාගතයේ හැසිරෙනු ඇත. කවියා මතු කරන්නේ අප අත්විඳින සමාජ ඛේදවාචකය යි.

අප‍ගේ අවධානයට ලක්වන තෙවැනි ප්‍රබන්ධය ‘ඉස්කෝලේ පිරිත්’ යනුවෙන් නම් කර තිබේ. එය උපහාසය හා උත්ප්‍රාසය තේමා කරගත් කවියකි. ඒ මඟින් ඉදිරිපත් කෙරෙන්නේ, සමාජ විවේචනයකි. එක්තරා පාසලක පිරිතක් සංවිධාන වෙයි. පිරිත දා රාත්‍රියෙහි සියලු සමාජ කණ්ඩායම් මත් පැන් පානයට යොමු වෙති. ඔව්හු එකිනෙකාට හොර රහසේ තම කාර්යය සඳහා වෙන වෙන ස්ථාන කරා යොමු වෙති. ගුරුවරුන් කාර් එකක් තුළ ය. තාත්තලා ත්‍රී - රෝද රථයක් ළඟ ය. ළමයි සෙට් වීම සඳහා තැනක් සොයමින් යති. ඒ අතර ගරුතර ස්වාමීන් වහන්සේලා ද සෙට් වී ඇති බව ළමයින්ට දැනගන්නට ලැබේ. සියල්ලෝම එකිනෙකාට බොරු කරමින් මතට යොමු වෙති.

කවියා මේ කතාව ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්නේ දරුවන් ය. එය විශේෂයකි.

“ඔහොම තව ටිකක් යන් බං
දැන් ඇහෙනව අඩුයි
අර ගහ යට හොඳයි
හෝව්! කෑ නොගහ යමව්
ඔය කාරෙක
සර්ලා ටිකක් ඇතුළෙ
පොඩි ආතල් එකක් වගෙයි”

දරුවන්ගේ ද කොටස් දෙකක් සිටිති. ඒ දහතුන වසරේ අයියලා හා එකොළහ වසරේ මල්ලිලා වශයෙනි. මල්ලිලා තැනක් සොයන විට අයියලාට හොඳට ම වැඩි ය. මෙය අපූරු නිරූපණයකි. “සෙට්වෙලා’ යන ව චනය කවියා යෙදා ගන්නේ අපූරු ආකාරයකට ය.

“ඔන්න සාදුලා සෙට්වෙලා
ආ - ටා - නා - ටි - ය - ය!
“අඩෝ එතන - ත්‍රීවීලරයක්
තාත්තලා ටිකක් සෙට්වෙලා නියමෙට’

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් ප්‍රකාශනයෙ දී, කොඩිසිංහ මහතා වඩාත් සාර්ථක බව පෙනෙයි. එහිලා ඔහුගේ නිරූපණ ස්වාභාවික ය. අව්‍යාජ ය. සමස්ත පද්‍ය සංග්‍රහය දෙස බලන විට, ප්‍රධාන දුර්වලතා දෙකක් පවතී. පළමු දුර්වලතාව වන්නේ, කවිය සංස්කරණයට ලක් නොකිරීම ය. මේ අනුව කවියක් ලෙස සකස් නොවූ නිර්මාණ ගණනාවක් එහි තිබේ. ඕනෑම නිර්මාණයකට සංස්කරණය වැදගත් ය . මීට අදාළ තාර්කික විවරණයක්, මෙත් ලාල් වීරසූරිය මහතාගේ අභිනව කෘතියට ඇතුළත් ය. හොඳ ම පිළිවෙළට ලියන විධිය ඉන් පැහැදිලි කරයි. දෙවැනි දුර්වලතාව වන්නේ, ‘ශීර්ෂ’ යෙදීම ය. කවියාගේ “ශීර්ෂ’ දීර්ඝ වාක්‍යවලින් සමන්විත ය. කවියට හොඳ ආකර්ෂණයක් ලබා ගත හැක්කේ, ‘සිරස’ හෙවත් ‘හෙඩිම’ මඟින් ය. සිරස්තල යෙදීම පිළිබඳ දීර්ඝ විස්තරයක්, ලෝක කතුවරුන්ගේ සංසදයේ ප්‍රකාශනයක සඳහන් වේ.


නව අදහස දක්වන්න