බීවොත් ඇති ද? | දිනමිණ

බීවොත් ඇති ද?

වෙසක් සතිය තුළ මුළු රටේ බහුතරය සාමයේ හා සමගියේ වටිනාකම ප්‍රදර්ශනය කරත් දී; අපතයෝ පිරිසක් මතින් සන්තර්පණය වී පිස්සු නටන්නට සූදානම් වූහ. එක අතෙකින් පූජනීය වෙසක් සැමරුම පවතී. තව අතෙකින් ජාතිය යම් අර්බුදයකට මුහුණ දී සිටී. මේ මොහොතේ හොඳට ම සූර් වී පිස්සු නටන්නට වෑයම් කරන්නෝ එක්කෝ අමු මෝඩයෝ ය. නැතහොත් කාලකණ්ණියෝ ය. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීම්වලදී මෙබඳු පුද්ගලයන් එක්දහස් එකසිය දහතුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වැටලීම් සිදුවන්නේ සුරාසල් වසා තිබූ දින හතර තුළ ය. ඉහත චුදිතයන්ට අපතයන් නොකියා වෙන කුමක් භාවිතා කරන්න දැ’යි අපට නොවැටහේ.

නීතිවිරෝධී මත්පැන් නිපදවීම නිසා තිස්හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. තහනම් දිනවල මත්පැන් අලෙවිය නිසා තුන්සිය හැටහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ස්ප්‍රීතු විකිණීම නිසා හාරසිය තිස්පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. කසිප්පු ළඟ තබාගෙන අලෙවි කළ විසිහතර දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කළ එකසිය හැටහය දෙනකු ද, ගංජා අලෙවි කළ දෙදෙනකු ද හෙ‍රොයින් අලෙවි කළ දහඅටදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ සියලු දෙනා ම නීතිය හමුවට පමුනුවා දඬුවම් ලබා දීමට නියමිතය.

දින හතරක් පුරාවට සුරාසල් වසා තබන්නට රජය තීන්දුවක් ගත්තේ කරුණු දෙකක් මත ය. පළමු කාරණය වන්නේ වෙසක් උත්සවය සාමකාමී ලෙස පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම ය. දෙවන කාරණය වන්නේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය මත කලබල සීමා කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම ය. මේ එක තීරණයක් හෝ බේබද්දන්ගේ සැලැකිල්ලට ලක් වී නැත. එලෙස ම මේ එක තීරණයක් හෝ කූට වෙළෙඳුන්ගේ සැලැකිල්ලට ලක් වී නැත. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති තිප්පොළක කිරි බෝතල්වල දමා බියර් අලෙවි කළ බව වාර්තා වී ඇත. මෙලෙස මත්පැන් අලෙවි කරන්නේ අධික මිලකට බව ද කිව යුතු ය.

වළල්ලාවිට - දෙයියාගල ප්‍රදේශයෙන් තවත් සිද්ධියක් වාර්තා වී ඇත. එම සිද්ධියට අනුව තරුණයෝ විසිපස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් වැලිගස්පොත්ත ආරණ්‍ය සේනාසනයට වැදී මත්පැන් සාදයක් පවත්වා යකා නැටූහ. එය සිදුවන්නේ හරියට ම වෙසක් පොහොය දිනයේ ය. ප්‍රදේශවාසීන් පොලිසියට දන්වා වැටලීමක් සිදුකරන විට පිරිස පැනගොස් සිටියහ. රටේ අනාගතය භාරගැනීමට සිටින තරුණ පිරිසගේ හැසිරීම කෙබඳුදැ’යි මේ සිද්ධියෙන් වටහාගත හැකිය. රටට හා ජාතියට සිදු වූ විපත්තිය ඔවුන් තඹ දොයිතුවකට මායිම් කර නැති බව පෙනෙයි. මෙබඳු තරුණ කණ්ඩායම් වෙතින් රටේ සුබ-සිද්ධියට අදාළ කැපවීමක් අපේක්ෂා කළ හැකි ද?

යටිනුවර ප්‍රදේශයෙන් තවත් අපූරු සිද්ධියක් වාර්තා වෙයි. එම ප්‍රදේශයේ පළාත් සභා මන්ත්‍රීවරයකු තමන්ගේ හෝටලයේ හෙරොයින් මිලිග්‍රෑම් 2970 ක් තබාගෙන සිටි අතර ඔහු අත්අඩංගුවට පත් වී ඇත. රටේ නායකයාගේ ප්‍රධානත්වයෙන් මතින් තොර රටක් නිර්මාණය කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. මීට අමතරව එම වැඩසටහනට සහයෝගය ලබා දෙන බවට දේශපාලකයන්ගේ දිවුරුමක් ද පසුගියදා පැවැත්විණි. රාජ්‍ය නිලධාරීහු පවා මේ දිවුරුමට එක් වූහ. ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මැදිහත්වීම මත මතට තිත වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවට ද උපදේශන නිකුත් වී තිබේ. ඒ අතර යටිනුවර දේශපාලකයා හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී ඇත.

සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වන සිද්ධියකට අනුව එක්තරා රියැදුරකු වාහනයක් ද තබාගෙන වැඩි මිලට බියර් අලෙවි කර ඇත. ඔහු ප්‍රසිද්ධියේ බියර් අලෙවි කර ඇති බව ද කියති. මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතත් ඒ වන විට සැලැකිය යුතු බියර් ප්‍රමාණයක් අලෙවි කර තිබූ බව ද සඳහන් ය. ඉහත සිද්ධිවලින් පෙනී යන්නේ රටේ නීතිය ගැන කිසිදු සැලැකිල්ලක් නො දක්වන විශාල පිරිසක් සිටින බවය. නීතිය පමණක් නොව සදාචාරය හා සංස්කෘතිය ද ඔවුන් සැලැකිල්ල ගෙන නැත. බල්ලන් මරා හෝ සල්ලි සෙවීම ‍සමහර පුද්ගලයන්ගේ සිරිත වී තිබේ. රටක් හදන්නට නම් මෙබඳු පුද්ගලයන් වෙනස් කළ යුතුය. වෙනස් කළ නො හැකි නම්; ඔවුන් ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුය.

මත්පැන් මෙරට සංස්කෘතියට හුරු කළේ විදේශිකයන් බව කියනු ලැබේ. එහෙත් විදේශිකයන් මත්පැන් පානය කරනුයේ පිළිවෙළකට ය. ඔවුන් බීමත්කම නිසා මිය යනවා අඩු ය. එහෙත් ශ්‍රී ලංකාවේ වසරකට බේබද්දෝ විශාල පිරිසක් විවිධ රෝග නිසා මිය යති. අක්මාව විනාශ වීම, හෘද රෝග, පිළිකා, වකුගඩු රෝග මේ අතර ප්‍රධාන වෙයි. මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය විශාල මුදලක් ද වාර්ෂිකව වැය කරයි. බේබද්දන්ට ප්‍රතිකාර කිරීමේ දී ඔවුන්ගෙන් මුදල් අයකර ගත යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබුණ ද එය ක්‍රියාත්මක වූයේ නැත. එය නැවත පණගන්වා ක්‍රියාත්මක කළ යුතු තැනකට ගෙන එන්නේ නම්; වඩාත් වැදගත් ය. කෙතරම් නීති - රීති තිබුණ ද, වැඩසටහන් තිබුණ ද බේබද්දන්ගේ ගණන අඩු වී නැත.

නීතියේ රැහැනට හසුවන්නේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය, අලෙවිය හා ප්‍රවාහනය සම්බන්ධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් ය. මේ පුද්ගලයන් ඉහත කටයුතු සිදුකරන්නේ මත්පැන් සඳහා ඉල්ලුමක් ඇති බැවින් යැයි තර්කයක් ගොඩනැඟිය හැකිය. සුරාසල් වැසූ පසු වැඩි දෙනකුගේ අවධානය යොමුවන්නේ හොර තිප්පොළවල් වෙත ය. මේවායේ ‍මත්පැන් මිලෙන් අධික වුව ඒවා මිලට ගැනීමට ඕනෑ තරම් පිරිස් සිටිති. ඉල්ලුමක් නැති තැන සැපයුමක් නැත. එම න්‍යායට අනුව ගතහොත් පළමුව කළ යුත්තේ බේබද්දන්ගේ ගණන අඩු කිරීම ය. එය කළ හැකි ද යනු ගැටලුවෙකි.

ඉරානය මුළුමනින් ම මත්පැන් තහනම් කළ රාජ්‍යයෙකි. මත්පැන් අලෙවිය පමණක් නො ව; මත්පැන් පානයත් ඒ රටේ තහනම් ය. මත්පැන් වෙනුවට වෙනත් විනෝද මාර්ග ඉරානයෙහි ඇත. චිත්‍රපට ශාලාවකට ගොස් කෝපි පානය කරමින් චිත්‍රපට නැරඹීමේ අවස්ථාව ඒ රටේ තිබේ. සංගීත ශාලාවල තත්ත්වය ද එබඳු ය. ඉරානය දියුණු රාජ්‍යයෙකි. මූලික මිනිස් නිදහසක් ලෙස මත්පැන් පානයට ඉඩදීම එරට නීතිය විසින් අනුමත කරනු නො ලැබේ. ශ්‍රී ලංකාව ද අවම ලෙස පොහොය දිනටවත් එබඳු තහනමක් පනවා එය අකුරට ම ක්‍රියාත්මක කළ යුතුව තිබේ.


නව අදහස දක්වන්න