ජොන්ටි රෝඩ්ස්ගේ ගුවන් කරණම | දිනමිණ

ජොන්ටි රෝඩ්ස්ගේ ගුවන් කරණම

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැති 1992 ලෝක කුසලාන තරගාවලිය සිහිපත් කරද්දී දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ටතම පන්දු රකින්නා වන ජොන්ටි රෝඩ්ස්ගේ පන්දු රැකීම ගැන නොකියාම බැරිය. එය එතෙක් මෙතෙක් ලෝක ක්‍රිකට් කරළියේ නොදුටූ විරූ ආකාරයේ පන්දු රැකීමකි. රෝඩ්ස්ගේ මේ අපූරු වික්‍රමය ඇතුළත් ඡායාරූපය ලොව පුරා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිදන කාමරවල කාලයක් තිස්සේ අලවා තිබූ අපූරු ඡායාරූපයක් වී තිබිණ.

රෝඩ්ස්ගේ විස්මිත දස්කම සිදුවූයේ මෙසේය.

සිය පළමු තරග 4න් දෙකක් ජයගෙන සිටි දකුණු අප්‍රිකාව ඉතිරි තරග 2 පරාජයට පත්විය. තරගාවලියේ තව දුරටත් රැඳී සිටීමට නම් සෙසු තරගවල ජයග්‍රහණය ඔවුන්ට අනිවාර්ය සාධකයක් වී තිබිණ. ඒ වනවිට ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවී සිටි පාකිස්තානය තරග 4කට මුහුණ දී ඉන් ජයගෙන සිටියේ එක් තරගයක් පමණි. එබැවින් දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර බ්‍රිස්බේන් නුවර පැවැති ලීග් වටයේ තරගය දෙපිලටම තීරණාත්මක එකක් විය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව තරගාවලියේ මුල්වරට ලකුණු 200 සීමාව පසු කිරිමට සමත් විය. පාකිස්තානයට නියමිතවූ ඉලක්කය ලකුණු212ක් විය. එහෙත් පාකිස්තාන ඉනිම ආරම්භවීමට පෙර වර්ෂාව පතිතවිය. ඒ අනුව ඔවුන්ට නියමිතව තිබූ ඕවර සංඛ්‍යාව 36 දක්වා අඩුවිය. ඊට සාපේක්ෂව ජයග්‍රහණය සඳහා පාකිස්තානයට නියමිත ඉලක්කය ද ලකුණු 194 දක්වා අඩු කෙරිණි.

තණතීරුවේ සිටියේ නායක ඉම්රාන් ඛාන් සහ යොවුන් පිතිකරු ඉන්සමාම් උල් හක්ය. 31 වැනි ඕවරය ක්‍රියාත්මක වෙමින් තිබිණ. බ්‍රයන් මැක්මිලන්ගේ පන්දුව හක්ගේ පා ආවරණයේ වැදී ඉවතට ඇදී යද්දී ඉන්සමාම් උල් හක්ට ඉක්මන් ලකුණක අවශ්‍යතාවයක් ඇතිවිය. එහෙත් නායක ඉම්රාන් එම ලකුණු ප්‍රතික්ෂේප කළේය.

ඒ මොහොතේ පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි ජොන්ටි රෝඩ්ස් වහා පැන පන්දුව ඩැහැ ගත්තේය. දැන් පන්දුව ඔහු අතය. ඒ වනවිට තණතීරුවේ මැද හරියේ සිටි ඉන්සමාම් ආපසු හැරී තම සීමාවට දිව යන්නට විය. පන්දුව අතැතිව සිටි රෝඩ්ස් එය කඩුල්ලට වීසි කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ පන්දුව අතැතිව හක්ගේ කඩුල්ල වෙත ඉතා වේගයෙන් දිව යාමය. අනතුරුව කඩුල්ලට ආසන්න වෙද්දී කිසිවකු නොසිතූ පරිදි ඔහු කඩුල්ල වෙත පියඹා ගියේය. පිතිකරු සීමාවට සමීප වීමට පෙර හක්ගේ සීමාවේ කඩුල්ල වෙත ඔහු පතිත විය. කඩුලු තුනම බිමය.

‘මම කඩුල්ල මුවා කිරීමේ වරදට ඉල්ලීමක් කළා. ඒ මොහොතේ හක් ලකුණක් කරා දිවයමිනුයි සිටියේ. ඒත් ඉම්රාන් ඔහු ආපසු හරවා යැව්වා. පන්දුව අහුලාගත් ජොන්ටි කඩුල්ල වෙත පියඹා යන අයුරු මම ඇස් කොනකින් දැක්කා. මට අදහාගන්න බැරිවුණා. මේ හාදයා මීට කළින් කවදාවත් මෙහෙම පියාඹනවා මම දැකලා තිබුණේ නෑ.’ පන්දුව යැවූ මැක්මිලන් පසුව කියා සිටියේය.

‘මම පන්දුව අරන් හක්ගේ කඩුල්ලට දමා ගැසුවොත් එය සාර්ථක වීමට තිබුණේ 50%ක වාසියක් පමණයි. ඒත් පන්දු අතේ තිබියදීම කඩුල්ල වෙත යාමට හැකිනම් එය 100%කින්ම සාර්ථක වන බව මට දැනුණා. අන්තිම මීටර් එකහමාර ආවරණය කරන්න තිබුණු හොඳම ක්‍රමය තමයි ඒක. ඉතින් මම උපරිම වේගයෙන් කඩුල්ල වෙත පියඹා ගියා.’ රෝඩ්ස් කීවේය.

ඉම්රාන් ඛාන් ඊළඟ ඕවරයේ දී දැවී ගිය අතර වර්ෂා නීතිය පිහිටෙන් දකුණු අප්‍රිකාව ලකුණු 20කින් තරගය ජයගත්තේය.

බිල ගෙව්වේ කවුද...?

එංගලන්තයේ පැවැති 1983 ලෝක කුසලාන තරගාවලියේදී අදහාගත නොහැකි ජයග්‍රහණයක් ලබා ඉන්දීය පිල ලෝක ශූරයෝ බවට පත්වූහ. එක්දින ලෝක ශූරතාව දිනාගැනීමේ සතුට ඒ මොහොතේ එංගලන්තයේ සිටි ඉන්දීය ජාතිකයෝ ඉහළින්ම සැමරූහ. අවසන් පූර්ව වටයට ඉන්දියාව සුදුසුකම් ලැබී විගස දෙදහසකට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් ඉන්දියාවේ සිට එංගලන්තය බලා ගුවන්ගත වූහ. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මොහොතේ එය දෙගුණයක් විය.

‘හැමෝම බලාපොරොත්තු වුණේ කොදෙව් - එංගලන්ත අවසන් මහා තරගයක්. අපි ෆයිනල්ස් ආවම හුඟදෙනකුට එය විශ්වාස කරන්න බැරිවුණා.’ පසුකාලෙක ලෝක ශූර ඉන්දීය පිලේ නායකයා ලෙස කටයුතු කළ තුන්ඉරියව් ක්‍රීඩක කපිල් දේව් පැවැසීය.

‘ලෝක කුසලානය දිනූ රාත්‍රිය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. එදා අපි හිටියේ ලන්ඩන්වලයි. ලන්ඩනයේ වීදි පුරා ඉන්දීය ජාතිකයන් සතුට සමරන්නට පටන් ගත්තා. අපි නවාතැන් ගෙන සිටි හෝටලයේ ලොබිය, කොරිඩෝව ඉන්දීය ජාතිකයන්ගෙන් පිරී ඉතිරී ගියා. අපේ ආරක්ෂාවට එදා අතිරේක පොලිස් නිලධාරීන් පවා සේවයේ යොදවා තිබුණා. එහෙත් ඕනෑම ඉන්දීය ජාතිකයකුට එදා රාත්‍රියේ ඕනෑම මොහොතක අපේ හෝටලයට ඇතුළුවෙන්න අවසර ලැබී තිබුණා. අපි හැමෝම එළිවනතුරු සතුට සැමරුවා.’ කපිල් දේව් එක දිගට කියන්නට විය.

‘කිසි දවසක මත්පැන් පාවිච්චි නොකළ මමත් එදා හිතේ හැටියට ෂැම්පේන් බිව්වා. අපි හැමෝගෙම ඇස්වල සතුටු කඳුළු. එදා අපේ හෝටලයේ බාර් එක එළිවනතුරු විවෘතව තිබුණා. මම තවම දන්නෙ නෑ එදා අපි බීපු මත්පැන්වල බිල ගෙව්වේ කවුද කියලා. ඒක නම් අමතක කරන්න බැරි රාත්‍රියක්.’ ඔහු කීවේය.

‘ලෝක ශූරතාව දිනාගත් මොහොතේ ඉන්දියාවේ ඉඳලා මට මුලින්ම සුබ පැතුවේ කවුද දන්නවද...? ඒ වෙන කවුරුවත් නෙවෙයි අමිතාබ් බච්චන්.

අංක 10ට ඔට්ටු අල්ලන්න එපා

එංගලන්තයේ පැවැති 1999 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගය නිමාවට පත්වූයේ ලකුණු සමවීමෙනි. පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 49.2කදි ලකුණු 213කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිලත් ඕවර 49.4කදි සියලුදෙනා දැවී ගියේ ලකුණු 213කටය.

ඒ අනුව තරගය ලකුණු සමවීමෙන් නිමාවට පත්වූවත් ඊට පෙර පැවැති සුපර් සික්ස් වටයේදී ඔස්ට්‍රේලියාව ලකුණු ලබාගැනීමේ වේගය අතින් දකුණු අප්‍රිකාවට වඩා ඉදිරියෙන් සිටීම නිසා අවසන් මහා තරගයේ දොරටුව විවෘත වූයේ ඔස්ට්‍රේලියාවටය. අවසානයේදී ඔවුහු පාකිස්තානය පරදවා ලෝක ශූරතාව දිනාගත්හ.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු පිල ඕවර 49 නිමාවනවිට කඩුලු 9ක් දැවී ලකුණු 205ක් ලබා සිටියේය. ජයග්‍රහණය සඳහා ඉතිරි පන්දු 6දී ලකුණු 9ක් ලබාගත යුතුව තිබූ අතර ඕවරය යැවීමට පැමිණියේ ඩේමියන් ෆ්ලෙමින්ය. එම තරගාවලිය පුරා සාර්ථක පිතිහරඹයක් පෙන්නුම් කළ දකුණු අප්‍රිකානු පිලේ තුන්ඉරියව් ක්‍රීඩක ලාන්ස් ක්ලූස්නර් සමග පිටියේ රැඳී සිටියේ පිතිහරඹය නුපුරුදු වේගපන්දු යවන්නා වන ඇලන් ඩොනල්ඩ්ය. ෆ්ලෙමින්ගේ පළමු පන්දු දෙකටම ක්ලූස්නර් හතරේ පහර 2ක් එල්ල කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාව ජයග්‍රහණයේ බලාපොරොත්තුව අතහැර දැමුවේය. දැන් ලකුණු සමවී තිබේ. දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා අවශ්‍ය එක් ලකුණක් පමණි. පන්දු 4ක්ම ඉතිරිව තිබේ.තුන්වැනි පන්දුවට ක්ලූස්නර්ට ලකුණක් ලබාගත නොහැකි විය. එහෙත් සිවුවැනි පන්දුවට ඉක්මන් ලකුණක් කරා යාමට ඔහුට හැකිවිය. නමුත් සිදුවූයේ කුමක්ද...? ක්ලූස්නර් ලකුණක් කරා දිව යමින් පන්දු යවන්නාගේ අන්තයට ගියත්, ඩොනල්ඩ් සෙලවුණේවත් නැත.

දැන් දෙදෙනාම පන්දු යවන්නාගේ අන්තයේය. ඇලන් ඩොනල්ඩ්ට ලකුණක් කරා දිව යාමට හොඳටම අවස්ථාව තිබිණ. දැන් ප්‍රමාද වැඩිය. එහෙත් අවසානයේ කඩුලු රකින්නාගේ සීමාව කරා දිව යාමට ඩොනල්ඩ් තීරණය කළේය. මාක් වෝ පන්දුව රැගෙන කඩුලු රකින්නා වෙත එල්ල කළේය. ඒ වනවිටත් ඩොනල්ඩ් තණතීරුව මැදය. අවාසනාවන්ත ලෙස දකුණු අප්‍රිකාවට අවසන් මහා තරගය අහිමි කරමින් ඩොනල්ඩ් දුවද්දී දැවීයාමට හසුවුයේ ඔහුගේම වරදිනි.

එම දැවීයාම ලක්ෂ සංඛ්‍යාත දකුණු අප්‍රිකානු ක්‍රීඩාලෝලීන් කඳුළු සැලූ සිදුවීමක් මෙන්ම ඩොනල්ඩ් දැඩි විවේචනයට හා අප්‍රසාදයට ලක්වූ සිදුවීමක් ද විය.

එදා තරගයේදී ඩොනල්ඩ් හැඳ සිටි ජර්සි අංකය වූයේ අංක 10යි. තරගාවලියෙන් අමිහිරි පරාජයක් කරපින්නාගෙන දකුණු අප්‍රිකානු පිල නැවත සිය රට බලා පැමිණියේය. ඉන් දින කිහිපයකට පසුව දකුණු අප්‍රිකානු පිලේ නායක ෂෝන් පොලොක් කෙටි නිවාඩුවක් ගත කිරීමට ඩර්බන් නුවරට ගියේය. එය ඩර්බන් නුවර සුප්‍රකට තුරඟ තරග පැවැත්වෙන කාලය විය. තුරඟ තරග නරඹමින් සිටි කිසිවකු පොලොක් අසළට පැමිණියේය.

‘ඔබ මොන අශ්වයාටද ඔට්ටු අල්ලන්නේ..?’

එහෙත් තමා ඔට්ටු තැබිය යුතු අශ්වයා පිළිබඳ පොලොක් කිසිවක් නොදැන සිටියේය.

‘ඔබ කාට ඔට්ටු තැබුවත් කමක් නෑ. හැබැයි අංක 10ට නම් ඔට්ටු තියන්න එපා. ඌ හරියට දුවන්න දන්නේ නැති අශ්වයෙක් බව සහතිකයි.’ අමුත්තා පොලොක් අමතා එසේ කීවේය.

ඔහු එසේ පැවැසුවේ අංක 10 අශ්වයා පිළිබඳ නොව ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාවට පරාජය උරුම කරදෙමින් දුවද්දී දැවී ගිය අංක 10 ජර්සිය හැඳ සිටි ඩොනල්ඩ් පිළිබඳ බව පොලොක් හොඳහැටි දැන සිටියේය. දකුණු අප්‍රිකානුවන්ගේ පරාජය සෑහෙන කාලයක් යනතුරු එරට ක්‍රීඩාලෝලින් තුළ වේදනාවක් ඉතිරි කර තිබිණ.

එදා අශ්ව තරගයේදී පොලොක් ඔට්ටු තැබුවේ වෙනත් අශ්වයකුටය. එහෙත් තරගයේ ජයග්‍රහණය හිමිවූයේ කිසිවකු අපේක්ෂා නොකළ අංක 10 ‘එල් පීචා’ අශ්වයාය.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න