කලෙකට පසුව එක්දින පිටියට පැමිණීම පීඩනයක් වුණා | දිනමිණ

කලෙකට පසුව එක්දින පිටියට පැමිණීම පීඩනයක් වුණා

දීර්ඝ කාලයකට පසු ජාත්‍යන්තර එක්දින තරගයකට ක්‍රීඩා කිරීමට හැඩ ගැසීම අතිශය අසීරු කරුණක් බවත් එම තත්ත්වය තමාව අපහසුතාවයකට පත් කරවන්නක් වූ බවත් පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කල්පනාකාරීව එම අවස්ථාවේදී ක්‍රීඩා කිරීම නිසා එම තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වූ බව සඳහන් කර සිටියි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස ස්කොට්ලන්තය සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (21 දා) රාත්‍රියේ සමත් විය. මේ තරගයට පෙර ශ්‍රී ලංකා පිල අවසන් වරට සහභාගිවුණු එක්දින තරග 8 ම පරාජයට පත්ව සිටි නමුත් ස්කොට්ලන්තයට එරෙහිව වාර්තා කරන ලද එම ජයග්‍රහණයත් සමඟ අදාළ පරාජිත රැල්ලට තිත තැබීමටද ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවිය.

“ගොඩක් කල් ක්‍රීඩා නොකර ඉඳලා ජාත්‍යන්තර එක්දින තරගයකට හැඩ ගැහෙනවා කියන්නෙ හරිම අමාරු දෙයක්. මුලින්ම මම පීඩනයට ලක් වීම නිසා අපහසුතාවයට පත් වුණා. කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුවයි හිටියේ. නමුත් ක්‍රීඩා කළ යුතු ආකාරය සහ පහර දිය යුතු පන්දු යවන්නන් කවුද කියන එක ගැන කල්පනාකාරීව අවධානය යොමු කිරීමත් සමඟ ඒ තත්ත්වය මග හැරී ගියා” යැයි පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා, “වාසනාවට මට අවස්ථා දෙකක් ලැබුණා. කොහොම වුණත් ලබාගත්ත ලකුණුත් එක්ක මට ලොකු විශ්වාසයක් ගොඩ නැගුණා” යනුවෙන් තරගය අවසානයේදී දිමුත් වැඩිදුරටත් අදහස් දැක්වූවේය.

කරුණාරත්නට ලකුණු 13ක් සහ 36ක් ලබා සිටියදී දැවී යෑමෙන් බේරීමේ අවස්ථාව උදාවිය.

මෙම තරගයේදී දිමුත්ට සමඟ ඉනිම ඇරැඹි නවක ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුද පිතිකරුවකු ලෙසින් ලකුණු අතරට පැමිණීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුභ පෙරනිමිත්තක් ලෙසින් සඳහන් කළ හැකි. “අවිශ්ක හොඳටම කළා. අපි දන්නවා ඔහුට කරන්න පුළුවන් මොනවද කියන එක. ඔහුට විශාල පහර එල්ල කරන්න පුළුවන් වගේම ලකුණු ලබා ගැනීමේ වේගයත් හොඳින් හසුරුවන්න පුළුවන්. අපිට එයාගෙන් ඕන මොනවද කියන එක ගැන අපි ඔහු සමඟ කතා කළා. අවාසනාවකට ඔහුට ශතකයක් ලබා ගැනීමට නොහැකි වුණා. නමුත් මම හිතනවා ඔහු ලෝක කුසලාන තරගාවලියේදී විශාල ඉනිමක් ක්‍රීඩා කරාවි කියලා” යැයි අවිශ්ක ප්‍රනාන්දුගේ දක්ෂතාවය පිළිබඳව දිමුත් පවසයි.

මේ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත ඕවර 50 අවසනයේදී කඩුලු 8 කට ලකුණු 322 ක් රැස් කිරීමට සමත් විය. එම ඉනිම ගොඩ නැංවීමේදී 33 වැනි ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලකට ලකුණු 203ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වුවත් ඉන් පසු ක්‍රියාත්මක කරන ලද ඕවර 7 ඇතුළත කඩුලු 3ක්ම දැවී යෑම නිසා රැස් කරගත හැකි වූයේ ලකුණු 19ක් පමණි.

“අපේ සැලසුම වෙලා තිබුණේ ඕවර 50 ම ක්‍රීඩා කරන්න. නමුත් 33 වැනි ඕවරයෙන් පසු ඇන්ජලෝ (මැතිව්ස්) සහ තිසර (පෙරේරා) දැවී යෑම අපිට ලොකු පාඩුවක් වුණා. නමුත්, කුසල් (මෙන්ඩිස්) සහ තිරිමාන්න තරගය දිගටම අරගෙන ගියා. ඉනිම අවසානය දක්වා යන්න නම් කඩුලු අතේ තියෙන්න ඕනෑ. කඩුලු දැවී ගියත් අපිට අපේ ප්‍රහාරාත්මක වේගය හොඳින් පවත්වාගෙන යෑමේ හැකියාව ලැබුණා” යැයි දිමුත් පවසයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර 10 ට එළැඹෙත්ම ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 223ක් ලෙසින් සටහන් වූ නමුත් අවසන් පන්දු 60 දී ලකුණු 99ක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

ස්කොට්ලන්ත පිළිතුරු ඉනිමේ 27 වැනි ඕවරයේ දී වාර්ෂාවෙන් තරගයට බාධා ඇතිවිය. ඔවුන් ඒ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 132ක් රැස් කර තිබිණි. යළිත් තරග ආරම්භ වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ස්කොට්ලන්තයට ඕවර 34කදී ලකුණු 235ක ඉලක්කයක් සමගිනි. ඒ සඳහා ඔවුන්ට වර්ෂාවෙන් අනතුරුව යැවූ ඕවර 7 න් ලකුණු 103ක් ලබාගත යුතු විය. එහෙත් අවසන් කඩුලු 7 දැවී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 68ක් පමණි.


නව අදහස දක්වන්න