අපේ කණ්ඩායම ඉතා ඉහළින් ඉන්නවා | දිනමිණ

අපේ කණ්ඩායම ඉතා ඉහළින් ඉන්නවා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී වැඩියෙන්ම අවධානය යොමු කළ යුත්තේ පීඩනය හසුරුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මිසක් වෙනත් දේවල් පිළිබඳ නොවන බව පවසන ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ඒ සඳහා තමන් සතුව සමබර කණ්ඩායමක් සිටින බව අවධාරණය කර සිටියි.

ලබන 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට පෙර මුම්බායි නුවර දී පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායකයා ඉහත කරුණු අවධාරණය කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති කෝලි, සමබර තාවය අතින් මෙන්ම ශක්ති සම්පන්න භාවය අතින්ද තම කණ්ඩායම ඉතා ඉහළ තලයක පසුවන බවයි.

“සුදු පන්දුවෙන් එංගලන්තයේ ක්‍රීඩා කරන එක, එහෙමත් නැත්නම් අයි. සී. සී. තරගාවලියක් වැනි තරගාවලිදි පවතින තත්ත්වයන් වල එතරම් වෙනසක් මා දකින්නේ නෑ. නමුත් මෙවැනි තරගාවලියකදී පීඩනය හරියට හසුරුවා ගන්නවා කියන්නේ ඉතාම වැදගත් දෙයක්. එය කණ්ඩායමකට ඉතාමත් වැදගත් වෙනවා”.

“අපි ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යන්නේ ඉතාමත් සමබර සහ ශක්තිමත් කණ්ඩායමක් විදියට. ඔබ අයි. පී. එල්. තරගාවලිය බැලුව නම් ඒ ගැන හොඳටම පේනවා. කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්න හැම ක්‍රීඩකයම වගේ ඉතා හොඳ රිද්මයකට පැමිණිලා සිටිනවා” යැයි කෝලි පැවැසීය.

“ලෝක කුසලාන තරගාවලිවලදී තරගකාරීත්වයෙන් වැඩිම ලෝක කුසලාන තරගාවලිය මේ තරගාවලිය වෙන්න පුළුවන්. මොකද තරගාවලිය පවත්වන ස්වභාවය අනුව ක්‍රීඩා කරන රටවල් සියල්ලම ශක්තිමත් කණ්ඩායම් නිසා” යැයි පවසන කෝලි, “අපේ සුපුරුදු දක්ෂතා අතර සැරි සැරීමට සමත් වුවහොත්, අපි ලෝක කුසලානයේ හරි තැනට බොහෝ විට රැගෙන යාවි. එය තමයි මේ තරගාවලියේ ඉදිරියට යන්න තියෙන යතුර” යැයි වැඩිදුරටත් පවසයි.


නව අදහස දක්වන්න