පාසල් දරුවන් සමඟ දේශපාලනයක් නොකළ යුතුයි | දිනමිණ

පාසල් දරුවන් සමඟ දේශපාලනයක් නොකළ යුතුයි

චමීර ඇල්ලදෙණිය

පාසල් දරුවන් එක්ක දේශපාලනයක් නොකළ යුතු බවත් රැකවරණය දීමට පැමිණිය යුත්තේ ආරක්ෂාවක් නැති අවස්ථාවක බවත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවැසීය.

ආරක්ෂාව ගැන මවුපියන්ගේ බියක් පැවැති අවස්ථාවක තමන් පාසල් වෙත පැමිණ දරුවන් පාසල් එවීමට දිරියක් ලබා දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ බන්ධනාගාරගතව වැඩසිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැහැදැකීමට ඊයේ(22) පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ දී ය.  මෙහි දී අදහස් දැක්වූ ඇමැති රවී කරුණානායක මහතා .

අපි දන්නවා ඥානසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටලුව. එම ගැටලුව නිරාකරණය කළ යුතුයි. ඒ හිමියන්ට ලබා දී ඇති දඬුවම් සාධාරණ ද නැද්ද කියලා සිතා බැලිය යුතුයි. අසාධාරණ තත්ත්වයක් ඇති වුණොත්, මේ තිබෙන ගැටලුව තවත් බැරෑරුම් වෙනවා. අපි නිතරම සැබෑ තත්ත්වය තේරුම්ගෙන ක්‍රියාකළ යුතුයි. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නය ආසන්නයේම තිබෙන වෙනත් කාරණයක් ඉලක්ක කරගෙන, ඒ සාධකයට ප්‍රශ්නයක් ඇතිකරගෙන දඟලනවා. වැඩ කරන කෙනාට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා මේ රටේ. ඔවුන්ට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේකම තමයි මටත් ඇතිවෙලා තිබෙන ගැටලුව.

අපේ මූලික පරමාර්ථය ත්‍රස්තවාදය නැති කිරීමයි. ඒ වෙනුවෙන් තරාතිරමක් නොබලා දඬුවම් කරන්න, ඒ සම්බන්ධයෙන් නායකත්වයක් දෙන්න තමයි අපට අවශ්‍ය වන්නේ. එහෙම නැතිව එක් පුද්ගලයෙක්ගෙ නමක් ඉදිරියට අරන්, ඒක වටේ වැටිලා, අනෙක් දේවල් වසන් කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. මේ අවස්ථාවේ දී යම් අය එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ නම් ඉදිරිපත් කරලා, මේ ප්‍රශ්නය නැති කරන්න පුළුවන් එතනින් කියලා කියනවා. අප කළ යුත්තේ තිබෙන ප්‍රශ්න උග්‍ර කිරීම නෙමෙයි. සාමාකාමී තත්ත්වයක් ඇති කිරීමයි අප කළ යුත්තේ. මෙවැනි ගැටලු නිරාකරණය කිරීමට තමයි තේරීම් කාරක සභාවක් පත් කරලා තිබෙන්නේ. මේ අවස්ථාවේ දී අපි සැබෑ තත්ත්වය තේරුම් අරන් කටයුතු කිරීමයි. වැරදි කරන කිසිම කෙනෙක්ව අපි දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ කෲර ත්‍රස්තවාදය සහමුලින් ඉවත් කරලා දාන්නයි. 1971, 89 සිංහල ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ දෙමළ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. දැන් තවත් මොනවද මේ අහිංසක රටට ඇති කරන්න හදන්නේ. බහුතරයක සිත් අමනාපකම් ඇතිවෙලයි තිබෙන්නේ. මේ තත්ත්වය සුවපත් කරන්න ඕන. රට වැසියාට රට ගැන හැගීමක් ඇති කරන්නයි අවශ්‍ය වන්නේ.

පාසල් දරුවන් එක්ක දේශපාලනයක් කළයුතු නැහැ. රැකවරණයක් දියයුත්තේ ආරක්ෂාවක් නැති අවස්ථාවකයි. පාසල් විවෘත කරන්න කියලා උපදෙස් දුන්නේ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවයි. ඔවුන්ගේ උපදෙස් පරිදි කටයුතු කිරීමයි ආණ්ඩුවක් සතු කටයුත්ත. අද ජනතාව සිටින්නේ බයෙන්. අපි ඒ බය නැති කළ යුතුයි. සාමයක් ඇතිකළ යුතුයි. දේශපාලනඥයෝ හැටියට අපි ඒ බය නැතිනොකළොත් කව්ද ඒක කරන්නේ. ගිනිතියෙන එක නැති කරලා, ගිනි නිවන්න අපි කටයුතු කළ යුතුයි.

ලෝකයේ සැම රටකම මේ ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙනවා. අපි ඒ පිළිබදව අවදියෙන් සිටිය යුතුයි. අපි යම් දේවල් දැක දැක නොදැක්ක වගේ ඉන්නවා. ඒක තමයි අපි කරන අපරාධය. කිව්වම කිව්ව එකාට ගහනවා මිසක්, සිදුවූ දෙය හොයන්නේ නැහැ. ඒකතමයි අද තත්ත්වය. නමුත් ඒ දේවල් තමයි අපි හොයන්න බලන්න අවශ්‍ය වන්නේ. අන්තවාදය පරාජය කරලා, ත්‍රස්තවාදය නැති කරලා, එකමුතු භාවය ඇති කරමු. ජාතිවාදය, ආගම්වාදය, පක්ෂ දේශපාලනය පසෙක තබලා, ශ්‍රී ලාංකික අනන්‍යතාව ඇති කරමු 'යැයි පැවැසීය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සහ මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් ද එක්වූහ.


නව අදහස දක්වන්න