තවත් මුස්ලිම් අන්තවාදී සංවිධාන 48ක් තහනම් කරන්න | දිනමිණ

තවත් මුස්ලිම් අන්තවාදී සංවිධාන 48ක් තහනම් කරන්න

චන්ද්‍රිකා පෙරේරා

තහනමට ලක්කළ අන්තවාදී මුස්ලිම් සංවිධාන තුනේ ලක්ෂණ ඇති තවත් සංවිධාන 48ක පමණ තොරතුරු හෙළිව තිබෙන අතර ජාතික ආරක්ෂාව සඳහා ඒවාද තහනම් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කෙළේ ය.

මෙරට ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ කහ සිවුර ආරක්ෂාකර ගැනීමෙන් බවද හෙතෙම අවධාරණය කෙළේය.

ප්‍රහාර සමඟ ඇති වූ අවිධිමත් තත්ත්වය හමුවේ රටම වෙසක් කලාපයක් ලෙස ක්‍රියාත්මක වූ අයුරින් පොසොන් මස දී රටම පොසොන් කලාපයක් කරන්න කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිති සමාව යටතේ කඩිනමින් නිදහස ලබාදීමට කටයුතු කරන ලෙසද පොසොන් පොහොයට පෙර එය ඉටුවනු ඇතැයි තම විශ්වාසය බවද හෙතෙම කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) ශ්‍රීලනිප තරුණ කණ්ඩායම පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ශාන්ත බණ්ඩාර මහතා එම අදහස් පළ කෙළේ ය.

එහිදී ඒ මහතා මෙසේ ද කීය. රටේ ආරක්ෂාව සහ සාමය ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය බුද්ධි අංශ හා ත්‍රිවිධ හමුදාව මසක කාලයේ දී සිදුකළ කඩිනම් ක්‍රියාදාමය අතිවිශිෂ්ටයි. ලොව ප්‍රබලතම ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ එල්ටීටීඊය පරාජය කළ මෙරට ආරක්ෂක අංශ වලට මෙරට ආරක්ෂාව ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ කිසිදු සැකයක් නැහැ. ඒ අනුව ඉකුත් මස 21 ප්‍රහාරයෙන් පසු ආරම්භ කළ විමර්ශන හා ආරක්ෂක කටයුතු දිගටම සිදු කළ යුතු අතර සාමාන්‍ය ජනතාවට ද අවධානයෙන් සිටිය යුතුයි.

ජාතික ආරක්ෂක කවුන්සිලය පිළිබඳ විවිධ අදහස් පසුගිය කාලයේ පළ වුනා. ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කළා ‘ජාතික ආරක්ෂක සමාලෝචන සභාවක්‘ පත් කිරීමට. ඒ සම්බන්ධ කටයුතු කඩිනමින් සිදු කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා සමාජයේ විවිධ අංශවල නියෝජනය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. එය කාලෝචිත අවශ්‍යතාවයක් බව අප සැමගේ පිළිගැනීම වන අතර ජාතික ආරක්ෂාව සඳහා එවැන්නක් වැදගත් වෙනවා. විද්වතුන්, ආගමික පූජක පක්ෂය, ආරක්ෂක අංශ ප්‍රධානීන් ආදී විවිධ අංශ නියෝජනයෙන් මෙම සභාව ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර එහිදී ජාතික ආරක්ෂාව සඳහා අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට ඒ අයට හැකියාව තිබෙනවා.

ඉදිරියේදී ජාතික වැදගත්කමින් යුතු යෝජනාවලියක් ඉදිරිපත්කර නීති සම්මත කර ගැනීමට ද මේ අනුව හැකියි.

එහිදී සමාජයේ සාකච්ඡාවට ලක්ව ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නීති සැකසීමට ශ්‍රීලනිපය විශේෂයෙන් යෝජනා කර තිබෙනවා. ඒ අනුව බුර්කාව තහනම් කිරීමට ද සාකච්ඡාවක් තිබෙන අතර මේ වන විට මුස්ලිම් සංවිධාන තුනක් තහනම් කිරිමේ ගැසට් නිවේදන නිකුත් කර අවසන්. එසේ තහනම් කළ මුස්ලිම් සංවිධාන තුනේ ලක්ෂණ ඇති තවත් සංවිධාන 48ක් පමණ ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව තිබෙන අතර ඒවායේ ක්‍රියාකාරීත්වය හදිසි නීතිය බල පැවැත්වෙන කාලයේ අක්‍රීය වුවත් හදිසි නීතිය නැති අවස්ථාවල ඒවාට ක්‍රියාකාරී වීමට නීතියෙන් බාධා නැහැ.

මේ නිසා එම සංවිධාන තහනම් කිරිමට ද නීති සැකසිය යුතුයි. ඒ අනුව ජාති හා ආගම් අනුව පක්ෂ ක්‍රියාකාරීත්වය තහනම් කළ යුතුයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ද එක් ක්‍රමවේයදක් ක්‍රියාත්මක විය යුතු අතර ආගම් ජාතීන් අනුව විෂය වෙනස් වුණොත් කුඩා කාලයේ සිටම දරුවාගේ මනස සැකසෙන්නේ බෙදීමට. සියලු පාසල් අධ්‍යාපන අමාත්‍යංශය හා කොමිෂන් සභාවේ පාලනයට යටත් විය යුතු අතර එසේ යටත් නැති මද්‍රසා පාසල් නිසා මේ වන විටත් ගැටලු ඇති වී තිබෙනවා. විශ්වවිද්‍යාල මට්ටමේ ඇති අධ්‍යාපන ආයතන සියල්ල උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හරහා නියාමනය විය යුතුයි.

සමාජයට හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් ඇති ඇඳුම් පැළඳුම් තහනම් කළ යුතුයි. විවාහය සම්බන්ධයෙන් ද ආගම අනුව ඇති නීතිවලට ඉඩ නොතබා පොදු නීතියක් සැකසීම, ආගම් විකෘති කරමින් ජනතාව මුලා කරන විවිධ ප්‍රචාර සිදු කිරීමත් එවැනි කණ්ඩායම්වලට මෙරටට ඇතුල්වීමත් වැලකීමේ නීති අවශ්‍යයි. එසේ එන අය, මෙරටට අධ්‍යාපනය සඳහා පැමිණෙන අය, අධ්‍යාපනය සඳහා මෙරටට ඇතුල්වන හා පිටවන දේශීය හා විදේශීය පුද්ගලයන් ගැන ද නිසි විමර්ශන, විපරම් කිරීම් සිදු කළ යුතුයි. විදෙස් අධ්‍යාපනය ලැබීමට රටට එන අයද මෙරට නීතිය, සංස්කෘතිය හා ආචාරධර්ම පිළිබඳ දැනුවත් කළ යුතුයි. මේ කරුණු ක්‍රියාත්මක කෙරෙන නීති රාමුවක් සකසා එය නීතියක් බවට පත් කිරීමට අප යෝජනා කරනවා.

රටේ වූ ඛේදවාචකය ශක්තියක් බවට පත්කර ගනිමින් රටම වෙසක් කළාපයක් කළ ලෙස ලබන මසදී රටම පොසොන් කළාපයක් කිරීමට ද කටයුතු කරන්න කියා අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම කඩිනම් කරන ලෙස. උන්වහන්සේට සමාව ලබාදීම සාධාරණයි. මා දන්නා තරමින් ඥානසාර හිමියන් රට වෙනුවෙන් සත්‍ය වෙනුවෙන් කටයුතු කළ ස්වාමීන්වහන්සේ කෙනෙක්.

මේ රටේ කහ සිවුර ආරක්ෂා කරගත යුතුයි. කහ සිවුර ආරක්ෂාකර ගත්තොත් පමණයි එවිට රටේ ආරක්ෂාව තහවුරු වෙන්නෙ. ඒ අනුව ඥානසාර හිමි නිදහස් කළ යුතුයි. ඒ වෙනුවෙන් මේ වන විට කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ අනුව පොසොන් පොහොයට පෙර එය සිදුවේවි කියා මා විශ්වාස කරනවා.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශාන්ත බණ්ඩාර මහත මෙසේ ද කීය. පැහැදිලි විමර්ශනයක් කිරීමෙන් පමණයි ත්‍රස්තවාදය හා සම්බන්ධ අය අත්අඩංගුවට ගත හැකි වන්නේ. ඒ අනුවයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වුනෙත්. විමර්ශන වලදී හෙළිවුනොත් ඇමතිවරයෙකු වුවත් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා.

ජවිපය ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාස භංග යෝජනවා සම්බන්ධයෙන් නිසි ලෙස සොයා බලා පක්ෂය ගන්නා තීරණයකට අප එකඟ වෙනවා. ත්‍රස්වාදී කටයුතුවලට යොදා ගත් බව කියන තඹ කර්මාන ශාලාවට තඹ ලබාදීම සඳහා නිලධාරියෙක් ලෙස මා ප්‍රතිචාර දක්වා තිබෙන අතර එම ලිපිය අනුව තඹ කැබැල්ලක්වත් ලබා දී නැති බව මේ වන විට හෙළිව තිබෙනවා.

යාපහුව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක දොස්තර කීර්ති ෆොන්සේකා සහ බෙන්තර ඇල්පිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක අමිල කර්ශන කාරියවසම් මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - විමල් කරුණාතිලක

 


නව අදහස දක්වන්න