ආණ්ඩුවට තවත් විශ්වාසභංගවලට මුහුණ දීමට කිසිඳු බාධාවක් නැහැ | දිනමිණ

ආණ්ඩුවට තවත් විශ්වාසභංගවලට මුහුණ දීමට කිසිඳු බාධාවක් නැහැ

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ සන්ධ්‍යා කරුණාරත්න

අගමැතිවරයකු ලෙස තමන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවකට මුහුණ දී තිබියදී තවත් විශ්වාසභංගයන්ට මුහුණ දීමට ආණ්ඩුවට කිසිදු බාධාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනා දෙකටම මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවත් අවශ්‍ය නම් ඕනෑම මන්ත්‍රීවරයකු, ආණ්ඩුකාරවරයකු පිළිබඳව සොයා බැලීමට හැකි බවත් අගමැතිවරයා සඳහන් කළේය.

පක්ෂ දේශපාලනයට ඉඩ නොතබා ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට කැප වී සිටින ආණ්ඩුව කිසිදු ප්‍රශ්නයකින් පැන යාමට උත්සාහ නොදරන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ලබා දී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව හා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් අනාවරණය කර ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැක් වූ අදහස්වලට සිය අදහස් ද ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

මේක ප්‍රතික්ෂේප කරලා නැහැ. දින දාගන්න එක ඔබතුමාගේ කටයුත්තක්. පළමුවෙන්ම තේරීම් කාරක සභාව ගැන මම කතා කරන්නම්. ඊට පස්සේ මේ යෝජනා ගැනත් මම කතා කරන්නම්. විශේෂයෙන්ම තේරීම් කාරක සභාව පත් වන්නේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුව නියෝජනය කරලා වාර්තා කරන්න. අපි නම් කරලා තිබෙන තේරීම් කාරක සභාවට පුළුවන් විශේෂයෙන්ම රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා හරි ඕනෑම මන්ත්‍රීවරයෙක් ගැන හරි‍ ඕනෑ ආණ්ඩුකාරවරයෙක් ගැන හරි හොයලා බලන්න. පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙක් ගැන හොයලා බලන්න මේ තේරීම් කාරක සභාවට පුළුවන්. ඊට අමතරව ඕනෑ නම් ආණ්ඩුකාරවරු ගැනත් හොයලා බලන්න කිසිම ගැටලුවක් නැහැ. දෙවනුව මෙතුමා මේ යෝජනාවන් ප්‍රතික්ෂේප කර නැහැ. මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් වුණා නම් මොකද්ද ප්‍රශ්නේ අනෙක් කෙනකුට ගේන්න. මේ යෝජනා දෙකම අරගන්න පුළුවන්. මේකටත් දින දීලා ‍තේරීම් කාරක සභාවක් දාන්න. කිසිවක් වහන්නේ නැහැ. අපි කිසිවකින් පැනලා යන්නේ නැහැ. අතිරේක න්‍යාය පුස්ථකයේ ජවිපෙ යෝජනාව ඉදිරිපත් වෙලා නැහැ. පක්ෂ දේශපාලනයේ හිර වෙන්නේ නැතුව ඉදිරියට ගෙන යන්න.


නව අදහස දක්වන්න